- ගියපාර වික්කේ හැරීට මෙදා පාර කාටද?
- ගියපාර හඩනැගූ නායකයනුත් අද සද්ද නෑ
- වෘත්තිය සමිති නිහඩතාවෙන් රක්ෂණේ විකිණෙයිද?
සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සහ ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ්හි කොටස් ගැනීමට උනන්දුව දක්වමින් ආයතන 5ක් ඉදිරිපත්ව තිබේ.
එහෙත්, රක්ෂණ සංස්ථාව පුද්ගලිකකරණයට එරෙහිව වෘත්තිය සමිති නායකයන් පාලනාධිකාරියට ඕනෑ ලෙස ඉතා නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව එම සංස්ථාවේ ඉහළ නිලධාරියෙකු අප වෙත අදහස් දක්වමින් පැවසීය. රක්ෂණ සංස්ථාවේ සේවකයන්, තමන් විසින් මෙන්ම තමන්ට පෙර එම සංස්ථාවේ සේවය කරන ලද සේවක පිරිස් විසින් ගොඩනැගූ ලාභ ලබන මෙම ආයතනය විකුණා දැමීමට එරෙහි නමුත්, වෘත්තිය සමිති නායකත්වය එම සේවකයන්ව පෙළගැස්වීමට කටයුතු නොකරන බව චෝදනාවය. එයට හේතුව, විවිධාකාර පොරොන්දු, සාද ලබා දීමෙන් සහ මර්දනය කිරීමෙන් එම නායකයන්ව නිහඩ කිරීම බව එම අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අන්තර්ජාතික සහ දේශීය මාධ්‍ය හරහා ශ්‍රී ලංකා රජය 2024 ජනවාරි 26 වැනි දින මීට අදාළව ආයෝජකයන්ගෙන් සුදුසුකම් සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස නිවේදනය කර තිබිණි.
යෝජනා ඉදිරිපත් කිරීමේ කාලය 2024 මාර්තු 06 වැනි බදාදා පස්වරු 2.00න් අවසන් විය.
එහිදී ලැබුණු ඉල්ලීම් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ සාකච්ඡා කමිටුව විසින් පත් කරන ලද ආරම්භක කමිටුව විසින් සළකා බලා තිබේ.
ඒ අනුව කොටස් ගැනීමට උනන්දුව දක්වා ඉදිරිපත්ව සිටින සමාගම් 5 මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජකයන් වන්නේ LIC (Lanka) Limited (සිද්ධාර්ථ මොහාන්ති සභාපතිත්වය දරණ ඉන්දියානු සමාගමක් වන ලයිෆ් ඉන්ෂුවරන්ස්හි උප සමාගමකි) , යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී (ජෝන් කීල්ස් සමූහය සතු සමාගමකි), ආසිරි හොස්පිට්ල් හෝල්ඩිංග්ස් පීඑල්සී (අශෝක් පතිරගේගේ සොෆ්ට්ලොජික් සමූහය සතු සමාගමකි.) යන සමාගම්ය.
සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මිලදී ගැනීම සඳහා සීමාසහිත යුරෝ එක්සිම් බැංකුව සහ ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් යන සමාගම් ඉදිරිපත්ව සිටියි.
ඒ අනුව මෙම ආයෝජකයන්ගේ ඉල්ලීම් 2023 ජූලි මාසයේදී ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලද රජය සතු ව්‍යවසායයන් බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශ අනුව ඇගයීමට ලක්කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි ශ්‍රී ලංකා රජය සතු කොටස් බෙදා හැරීමේ ගනුදෙනුවේ උපදේශක ලෙස කටයුතු කරන්නේ Alvarez & Marsal සමාගමයි.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ටකරම් වහළයක් සහිත කුඩා ගොඩනැගිල්ලක සිට මහල් ගණනාවක ගොඩනැගිල්ලක ඇති විශාලම රක්ෂණ සංස්ථාව දක්වා ගොඩනැගීමට රාජ්‍ය හිමිකාරීත්වය යටතේ හැකි වූ අතර, වාර්ෂිකව විශාල ලාභයක් රජයට උපයා දෙන, අනෙකුත් ආයෝජන ගණනාවකට පාවිච්චි කළ හැකි මූල්‍යමය සම්පතක් ලෙස රක්ෂණ සංස්ථාව සැලකේ. රක්ෂණ සංස්ථාවේ ආයෝජනයක් ලෙස ලිට්රෝ සංස්ථාව, ලංකා හොස්පිටිල්ස් සහ කැන්විල් හෝල්ඩින්ස් ආදී උප සමාගම්ද තිබේ. රක්ෂණ සංස්ථාව සතු සම්පත් සහ ධනස්කන්ධය පාවිච්චි කරමින් රජයට ඇති ආයෝජන හැකියාව අවභාවිත කිරීමට පසුගිය රජයන් කටයුතු කර ඇති බව විගණකාධිපති වාර්තා ගණනාවකින් හෙළි වී තිබේ.
මීට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව චන්ද්‍රිකා බණ්ඩාරණායක පාලන සමයේදී ඇගේ හිතමිතුරෙකු සහ ඇය බලයට පත්වීමේදී මුදල් ලබාදෙමින් දායකත්වය දැක්වූ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන වෙත විකිණීමට රජය කටයුතු කළ අතර, එය දූෂිත ගනුදෙනුවක් ලෙස චෝදනා කරමින් රක්ෂණ සංස්ථාවේ වෘත්තිය සමිති මීට පෙර අධිකරණය වෙත යොමු විය. ඒ අනුව රක්ෂණ සංස්ථාව නැවත රජයට පවරාගන්නා ලෙස අධිකරණය නියෝග කළේය.
කෙසේ වෙතත් මෙවර රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණයට එරෙහිව අධිකරණයේ ගොනු කර ඇති නඩුවට කරුණු දක්වමින් සහභාගී වී තිබෙන්නේ වෘත්තිය සමිති තුනක නායකයන් පමණක් බවත්, අනෙකුත් නායකයන් බහුතරයක් එම අධිකරණ කටයුතුවලට සහභාගී නොවී සිටින බවත් අප සමග අදහස් දැක්වූ ඉහළ නිලධාරියා වැඩිදුරටත් කීය.
‘වෘත්තිය සමිති සහ පාලනාධිකාරිය තුල්හිරියේ වැඩමුළුවකට සහභාගී වෙලා ඉන්නේ. මීට කලින් මෙවැනි වැඩමුළුවලට සහභාගී වෙලා තිබුණා. ක්‍රිකට් මැච් ගැහුවා. මේ වෙනකොට සේවකයන්ට තරු පහේ හෝටල්වල පුහුණුවිම් ආදිය ලබා දෙනවා.‘ එම නිලධාරියා වැඩිදුරටත් කීය.
