Saturday, December 2

සමුගනිද්දී නිලූක කී සංවේදී කතාව!

බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් වසර විස්සකට අධික කාලයක් ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

මේ වෙද්දී 38 හැවිරිදි නිලූක කරුණාරත්න මහාද්වීප පහකදී ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩකයෙක්.

අවස්ථා තුනකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ නිලූක, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලවල් 5කට සහභාගී වී තිබෙනවා.

නිලූක වයස අවුරුදු 15 සිට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන අතර, 2001 දී වයස අවුරුදු 16ක්ව සිටියදී ජාතික මට්ටමේ ශූරතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ජාත්‍යන්තර තරගාවලි 34කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනූ ඔහු, සමුගැනීමේදී මෙසේ සටහනක් තබා තිබුණා. ‘සමුගැනීම සම්බන්ධයෙන් කාලයක් තිස්සේ හිතුවා. ගොඩක් තරුණ ක්‍රීඩකයන් බිහිවෙමින් පවතිනවා. මගේ වෘත්තිය ක්‍රීඩා දිවියෙන් නික්ම යෑමට වෙලාව ඇවිත්ත තියෙනවා. අනාගතයේදී මට වඩා හොඳ ක්‍රීඩකයන් දකින අපේක්ෂාවෙන් මම සමුගන්නවා.‘

මව්බිම පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ කියා තිබුණා. ‘බැඩ්මින්ටන් ක්‍රීඩාවට පමණක් සීමා නොවුණු සියලුම ක්‍රීඩාවල ඊළඟ පරම්පරාවට මොනයම් හෝ ක්‍රමයකින් සහාය දෙන්න මම බලාගෙන ඉන්නවා. ක්‍රීඩා කරන්න මට තවමත් ආශාව සහ වුවමනාව තිබුණත් ඊළඟ පරම්රාවට මේ වගකීම පවරන්න ඕන කියලා මට හිතුණා. තරුණ ක්‍රීඩකයන් රාශියක් බිහිවෙමින් සිටින නිසා ඔවුන් සූදානම් කරනන මම යම් කිසි කැප කිරීමක් කරනන ඕන කියලත්, නික්ම යෑමට මේක තමයි හොඳම වෙලාව කියලත් මම තීරණයකට ආවා.

මට එක් දෙයක් කියන්න ඕන. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. අපිට මේ ක්‍රීඩාවේදී පරද්දන්න බැරි කෙනෙක් නැහැ. මට මතකයි මම මුලින්ම බැඩ්මින්ටන් සෙල්ලම් කරන මුල් අවදියේ එවකට හිටිය කෝච් කෙනෙක් මට කිව්වා අපිට හැමෝම පරද්දන්න පුළුවන් ඉන්දියාව පරද්දන්න බැහැ කියන එක. මට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. මොකද මට පොඩි කාලයේ ඉඳලම ලොකු විශ්වාසයක් තිබුණා මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නැහැ කියලා.‘

කියන විදියට මේ ඉන්දියාව පරද්දන්න බැහැ කියපු ප්‍රකාශය ගැන කළකිරීමෙන් නිලූක මානසිකව දුර්වල වී සිටියාලු. ‘මට දිනන්න බැරි නම් මේ සංචාරයට යන්නේ නැහැ.‘ කියා නිලූක කීවාලු. එහෙත් නිලූක එම තරගාවලියට සහභාගී වී රන් පදක්කම් 3ක් දිනාගැනීමට සමත් වුණාලු.

ඇතැම් අය පෙන්වාදෙන ආකාරයට නිලූක කියන්නේ පවුල් පසුබිමක් මත ක්‍රීඩාවේ යෙදුණු අයෙක්. ඔහුට තිබුණු පසුබිම සහ බලය ඔහුට දිගටම ක්‍රීඩාවේ රැඳී සිටීමට හේතු වෙන්නට ඇති. එහෙත් නිලූක ජාතික කණ්ඩායම තුළදී ලැබූ ජයග්‍රහණ ඔහුගේ කැපකිරීම් කිසිවෙකුට අවතක්සේරු කිරීමට නොහැකියි.

Author

%d bloggers like this: