හැටහුටහමාරක් ලෙඩ කියමින් ඇප ඉල්ලූ ශිරන්තිව අද අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත්තේ ඇයි?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන මේරි ලූඩ්ස් ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘සිරිලිය සවිය’ සංවිධානයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන ඒකාබද්ධ විමර්ශනයකට අදාළවය.

මෙම විමර්ශනයේ එක් ප්‍රධාන කරුණක් වන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට යැයි පවසමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ‘සිරිලිය සවිය’ වෙත ලබාගෙන තිබීමයි. එම මුදල නියමිත අරමුණ සඳහා යොදා අදාළ යන්ත්‍රය මිලදී නොගැනීම සම්බන්ධයෙන් ‘දූෂණය’ නමැති වරද සිදුකර තිබේදැයි අල්ලස් කොමිසම විමර්ශනය කරන අතර, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පොදු දේපළ අවභාවිතය ඇතුළු වෙනත් අපරාධ නීති ප්‍රතිපාදන යටතේ සිද්ධිය විමර්ශනය කරමින් සිටී.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක් ‘සිරිලිය සවිය’ වෙත ලබාදුන් බව සහ එය රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම සඳහා වූ මුදලක් බවට සඳහන් විය. එම මුදලින් එවැනි යන්ත්‍රයක් මිලදීගෙන ඇති බව මෙතෙක් විමර්ශනයෙන් තහවුරු වී නොමැති බවද වාර්තා වී තිබිණි. එවකට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ ප්‍රදීප් කාරියවසම්ගෙන්ද FCID නිලධාරීන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.

ශිරන්ති රාජපක්ෂ සැප්තැම්බර් 15 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, ඉන් පසු සැප්තැම්බර් 16 වැනිදා අලුයම වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබිණි. ඇය විදේශගත වීමට සූදානම්ව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිටියදී FCID නිලධාරීන් එහි පැමිණ සැප්තැම්බර් 24 වැනිදා ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දී තිබූ බව වාර්තා විය.

ඇය අධිකරණයට පසුව ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ, සැප්තැම්බර් 24 වැනිදා FCIDයට පැමිණෙන ලෙස දැනුම් දුන්නේ තමන් ගුවන්තොටුපොළේ සිටියදී බවත්, එම අවස්ථාවේ තම වෛද්‍ය ප්‍රතිකාර සඳහා වූ විදේශ ගමන අවලංගු කළ නොහැකි වූ බවත්ය. ඒ නිසා සැප්තැම්බර් 24 වැනිදා සිට සති දෙකක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවද ඇය සිය දිවුරුම් ප්‍රකාශයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

විදේශගතව සිටි ඇය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 11.20ට පමණ මැලේසියාවේ සිට පැමිණි ගුවන් යානයකින් යළි ශ්‍රී ලංකාවට පැමිණියාය. එදිනම ඇය වෙනුවෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර තිබූ අතර, ඇය මෙරටට පැමිණියේ එම අයදුම්පත ගොනු කිරීමෙන් පසුවය.

1997 අංක 30 දරන ඇප පනතේ 21 වැනි වගන්තිය යටතේ ඉදිරිපත් කළ එම අයදුම්පතෙන් ශිරන්ති රාජපක්ෂ කියා තිබුණේ, විදේශ ප්‍රතිකාර අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ ගුවන් තොටුපොළේදීම තමන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බැවින්, එසේ අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඕනෑම සුදුසු කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙසය. අපේක්ෂිත ඇප අයදුමේ වගඋත්තරකරු ලෙස FCID අධ්‍යක්ෂවරයා නම් කර තිබේ.

එම අයදුම ඔක්තෝබර් 6 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු දක්වා තිබිණි. ඉන් අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා, අයදුම පිළිබඳ කරුණු දැක්වීම සඳහා ඔක්තෝබර් 12 වැනිදා අධිකරණයට පෙනී සිටින ලෙස FCID අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කළාය.

විවෘත අධිකරණයේදී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කියා තිබුණේ විමර්ශනයට ලක්වන ‘සිරිලිය’ ගිණුමේ තවමත් රුපියල් මිලියන 48කට වැඩි මුදලක් පවතින බවත්, එම ගිණුමේ මෙහෙයුම් විමර්ශන අංශ විසින් අත්හිටුවා ඇති බැවින් සිය සේවාදායිකාවට එම මුදල් ලබාගැනීමට නොහැකි බවත්ය. තම සේවාදායිකාව විමර්ශනය මඟහැරීමට උත්සාහ නොකරන බවත්, වෛද්‍ය ප්‍රතිකාර අවසන් කර පැමිණ FCIDයට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් ඔහු අධිකරණයට කියා තිබිණි.

මේ අතර, ශිරන්ති රාජපක්ෂට ඔක්තෝබර් 13 වැනිදා FCID හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස පොලීසිය නව දිනක්ද ලබාදී තිබිණි. ඒ අනුව ඇයගේ අපේක්ෂිත ඇප අයදුම සම්බන්ධයෙන් FCID පාර්ශ්වය අධිකරණයේ කරුණු දැක්වීමට නියමිතව තිබුණේ 12 වැනිදා වන අතර, ඊට පසුදින ඇය FCIDයට පැමිණීමට නියමිතව සිටියාය.

අපේක්ෂිත ඇප ඉල්ලීමට සහාය වන කරුණු ලෙස ශිරන්ති රාජපක්ෂ සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා ගණනාවක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඇයගේ දිවුරුම් ප්‍රකාශය අනුව, 2019 සැප්තැම්බර් 7 වැනිදා නවලෝක රෝහලේ සිදුකර ඇති CT Coronary Angiogram පරීක්ෂණයකදී හෘදයට රුධිරය සපයන ප්‍රධාන කිරීටක ධමනි තුනේම plaque තැන්පත්වීම් හා සුළු පටුවීම් හඳුනාගෙන ඇති අතර එය “Triple Vessel Disease” ලෙස වාර්තා කර තිබේ. අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ඉහළ යාමද ඇය සඳහන් කර ඇති රෝගී තත්ත්ව අතර වේ.

2026 සැප්තැම්බර් 15 වැනිදා ඔක්කාරය, අධික වෙහෙස, කරකැවිල්ල සහ ශාරීරික අපහසුතාව හේතුවෙන් නවලෝක රෝහලට ඇතුළත් වූ බවත්, එහිදී මහාචාර්ය අර්ජුන ද සිල්වා යටතේ ප්‍රතිකාර ලබාගත් බවත් ඇය අධිකරණයට සඳහන් කර තිබේ. එම අවස්ථාවේ කරකැවිල්ල Vertigo ලෙස හඳුනාගෙන ඇති අතර, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් සහ දියවැඩියාවද පවතින බව වෛද්‍ය වාර්තාවල සටහන් කර ඇති බව ඇය ප්‍රකාශ කර ඇත. Aspirin, Crestor හා Nebivolol ඇතුළු ඖෂධ ලබාදී තිබූ බවද දිවුරුම් ප්‍රකාශයේ දැක්වේ.

සිංගප්පූරුවේදී සිදුකළ වැඩිදුර හෘද පරීක්ෂණවලදී සැප්තැම්බර් 21 වැනිදා Total Coronary Calcium Score අගය 1022ක් ලෙස වාර්තා වූ බවද ඇය අධිකරණයට කියා තිබේ. එමෙන්ම carotid artery ප්‍රදේශයේ කැල්සියම් සහිත plaque තැන්පත්වීමක් පවතින බවත්, හෘද රෝග විශේෂඥ වෛද්‍ය දිනේෂ් නායර් විසින් ඖෂධ නියම කර පපුවේ වේදනාවක් ඇතිවුවහොත් භාවිත කිරීමට Nitromint Spray ලබාදී ඇති බවත් ඇයගේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

තමන්ට දිගටම විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය සහ ප්‍රතිකාර අවශ්‍ය බවත්, ඒවා නොලැබුණහොත් ජීවිතයට අවදානමක් ඇතිවිය හැකි බවත් ශිරන්ති රාජපක්ෂ සිය දිවුරුම් ප්‍රකාශයෙන් ප්‍රකාශ කර තිබිණි. වසර දහයක පමණ කාලයක් විමර්ශනයට සහය දී ඇති බවත්, අධිකරණය පනවන ඕනෑම කොන්දේසියකට යටත් වීමට සූදානම් බවත් ඇය එම අයදුමේ වැඩිදුරටත් කියා තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading