සහරාන් හෂිම් ඇතුළු මුස්ලිම් ආගමික අන්තවාදීන් සමග එක්ව 2018 වසරේදී පුත්තලම, වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ නීතිවිරෝධී ලෙස ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය රැස්කර තැබීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 10 බැගින් වූ බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණය අද (07) නියෝග කර තිබේ.
ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී ඉදිරිපත් වූ චෝදනාවලට වරදපිළිගැනීම හේතුවෙන් මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ අබු හනීෆා මොහොමඩ් මුසිෆ් සහ අමීර් හම්සා මොහොමඩ් හමාස් යන චූදිතයන් දෙදෙනාටයි.
මීට අමතරව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම චූදිතයන් දෙදෙනා මෙතෙක් රැඳවුම් භාරයේ සහ බන්ධනාගාරගතව සිටි කාලසීමාවන් අය කරගනිමින් අවශේෂ සිරදඬුවම් කාලය ගෙවා දැමීමටද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කර තිබේ.
2018 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ සිදුකළ වැටලීමකදී සඟවා තිබූ නයිට්රේට් තොගයක්, ජීව උණ්ඩ 12ක්, ගිනි අවියක් මෙන්ම පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා නයිට්‍රික් ඇසිඩ් සහ යූරියා තොගයක් අත්අඩංගුවට ගත් අතර, ඊට අදාළව අබු හනීෂා මොහොමඩ් මුසීත් හෙවත් අබු දහිදා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.
