Wednesday, October 4

වනිඳු අයිසීසී මාසයේ ක්‍රීඩකයා වෙයි!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජුනි මාසයට අදාළව නම් කරන ලද ‘අයිසීසී මාසයේ ක්‍රීඩකයා’ ලෙස සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සමත් විය.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී වාර්තාගත පන්දු යැවීමක නරත වෙමින් තරග 7කදී කඩුලු 22ක් දවාගත් 25 හැවිරිදි වනිඳු තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට ද පත් විය. තරගාවලියේ පළමු තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කඩුලු 6ක්, ඕමානයට සහ අයර්ලන්තයට එරෙහිව කඩුලු 5 බැගින් දවා ගැනීමට හසරංග සමත් වූයේ පිට පිට තරග 5ක් දවාගත් ලොව දෙවැනි පන්දු යවන්නා සහ පළමු දඟ පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක් වෙමිනි. ඔහුට පෙර පාකිස්තානයේ හිටපු වේග පන්දු යවන්නකු වන වකාර් යුනුස් මේ දස්කම පෙන්වා තිබිණි.

සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් අනතුරුව අයිසීසීය විසින් නම් කළ තරගාවලියේ කණ්ඩායමට ද වනිඳු ඇතුළත් විය. ඔහු පසුගිය ජූනි මාසය පුරා කඩුලු 26ක් බිඳ දැමීමට සමත්ව ඇත්තේ 10.00ක සාමාන්‍යයක් සමඟිනි. මේ සම්මාන සම්බන්ධයෙන් අදහස් දැක්වමින් වනිඳු පවසන්නේ මේ ගැන සතුටට පත්වන අතර, මාසයේ ක්‍රීඩකයා බවට පත්වීමට හැකි වීම තමාට ගෞරවයක් බවත්ය. “මේ සම්මානය දිනාගැනීම ගැන මම අතිශයින් සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වැදගත් අවස්ථාවක් වන ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමෙන් පසු අයිසීසී මාසයේ ක්‍රීඩකයා ලෙස තේරී පත්වීම මට ලැබුණු භාග්‍යයක් සහ ගෞරවයක්” වනිඳු පවසයි.

මේ සම්මාන ශ්‍රී ලාංකිකයකු හිමි කර ගත්තේ වසරකට පසුවය. වනිඳුට පෙර අවසන් වරට පසුගිය වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මේ සම්මාන දිනා ගැනීමට සමත් විය. ජුනි මාසයේ සම්මාන සඳහා වනිඳු සමඟින් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වීරයා වූ සිම්බාබ්වේ ක්‍රීඩක ෂෝන් විලියම්ස් සහ අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ වීරයා වූ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද මේ සඳහා නිර්දේශ වී සිටියහ. මේ අතර මාසයේ ක්‍රීඩිකාව ලෙස ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලි ගාඩිනර් සමත් වූවාය. එංගලන්තය සමඟ පැවති කාන්තා අළු බඳුන ටෙස්ට් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ ද ඇයයි.

ගාඩිනර් ඇයගේ තෙවැනි මාසයේ ක්‍රීඩිකාව සම්මානය දිනා ගැනීම විශේෂත්වයක් විය. මින් පෙර 2022 දෙසැම්බර් සහ පසුගිය පෙබරවාරි මස ඇය මේ සම්මාන දිනාගත් අතර, අයිසීසී මාසයේ ක්‍රීඩිකාව ලෙස සම්මාන 3ක් දිනාගත් පළමු ක්‍රීඩිකාව බවට ද ඇය පත්වුවාය. ඇය සමඟ එංගලන්තයේ ටැමි බියුමන්ට් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිව්ස් ද මේ සඳහා නිර්දේශවී සිටියහ.

Author

%d bloggers like this: