දශක හයකට අධික කාලයක් මුළුල්ලේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 68 වැනි වියේ පසුවූවාය.
දිගු කලක් පුරා පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් තහවුරු කරයි.
1960 දශකයේදී කුඩා අවදියේදීම බටහිර සංගීත ක්ෂේත්‍රය ඔස්සේ සිය ගමන ආරම්භ කළ මරියසෙල් මහත්මිය, පසුව සිංහල පොප් සහ වේග රිද්ම ගීත කලාවේ ප්‍රමුඛතම සලකුණක් බවට පත්වූවාය. වේදිකාව මත ඇය දැක්වූ සුවිශේෂී ජවය සහ සිංහල, ඉංග්‍රීසි, දෙමළ මෙන්ම හින්දි යන භාෂා කිහිපයකින්ම ගීත ගායනා කිරීමට තිබූ සුවිශේෂී හැකියාව නිසාම ඇය දේශීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂකයන් අතරද අතිශය ජනප්‍රියත්වයට පත්වූවාය.
1977 වසරේදී ඇය ගායනා කළ “කැන්ඩි ළමිස්සි” ගීතය මෙරට සංගීත ඉතිහාසයේ දැවැන්ත පෙරළියක් සිදුකළ අතර, එය ඇයව දිවයිනේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රසිද්ධියට පත් කිරීමට සමත් විය.
1977 වසරේදී ඇය ගායනා කළ “කැන්ඩි ළමිස්සි” ගීතය මෙරට සංගීත ඉතිහාසයේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් ඇයව දිවයිනේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රසිද්ධියට පත් කිරීමට සමත් විය. සිය සංගීත දිවිය තුළ ගීත 700කට ආසන්න සංඛ්‍යාවක් ගායනා කර ඇති මරියසෙල් ගුණතිලක මහත්මිය, ‘මේ යෞවන සීන ලෝකේ’, ‘පහන් නොවන රැයක’, ‘රහසයි සොඳුරු ජීවේ’, ‘රෝස මල් පියල්ලේ’, ‘මා හැඬූ හැඬුම්’ සහ ‘නෙළුම් මලේ පෙති කඩලා’ වැනි අතිශය ජනප්‍රිය තනි ගීත රැසක් දේශීය සංගීත ක්ෂේත්‍රයට දායාද කළාය.
මීට අමතරව ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න මහතා සමඟ ඇය ගැයූ “සඳ තරු නිසංසලා” සහ “මුහුදේ රැළ බිඳී” වැනි සුභාවිත යුග ගීත මෙන්ම, මෑතකදී ඇය ගායනා කළ “සිහින නෙළුම් මල්” ගීතයද මෙරට මව්වරුන් වෙනුවෙන් උපහාර පිදෙන අතිශය හැඟීම්බර නිර්මාණයක් ලෙස රසික හදවත් වැළඳගත්තේය.
මරියසෙල් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේදී පවුලේ සාමාජිකයන් විසින් නිවේදනය කිරීමට නියමිතය.
