විනීෂියස් ජූනියර් බ්‍රසීල කණ්ඩායමේ දැන් ප්‍රබලම ක්‍රීඩකයා බව ඇත්තකි. ඒත්, ආබාධයෙන් සුව ලැබූ නේමාර් බ්‍රසීලයේ අත්දැකීම් සහිත දැවැන්තයාය. අසාර්ථකතවයක් බොහොමයක් සහිත අසාර්ථක ක්‍රීඩා ඉතිහාසයක් ඇති නිසා, ඔප්පු කරන්නට බොහෝ දේ ඔහුට තියෙන්නට ඇත. එන්ඩ්‍රික් බ්‍රසීලයේ අනාගතයයි. 19 හැවිරිදි ඔහුත් පිටියේ ඉන්නට ඉඩ තිබුණි.
ඒත් බ්‍රසීල පුහුණුකරු ඉතාලි ජාතික කාලෝ ඇන්චෙලොට්ටි සුපිරි පුහුණුකරුවෙක් විය හැක. ඒත්, යුරෝපාකරණය වූ ක්‍රීඩකයන් පිරිසක් සහ යුරෝපීය පුහුණුකරුවෙක්ට ලොක කුසලානය ජයගත හැකිද?
අපි ෆුට්බෝල් රසිකයන් ලෙස කොතරම් හාලන්ඩ්ට කැමති වුවත්, අප සැමවිටම ලෝක කුසලානයකදීම ආසා කරන්නේ බ්‍රසීලය දිනනවා දකින්නටය. බ්‍රසීලයේ ඒ ආකර්ෂණීය අභිමානය දකින්නට අප නිරන්තරයෙන් පෙරුම් පිරුවද, අද බ්‍රසීලය පරාජය විය. මේ පරාජයත් සමඟ බ්‍රසීලය 1990 වසරෙන් පසු ලෝක කුසලානයක ලැබූ දරුණුතම සහ වේගවත්ම ඉවත්වීම සනිටුහන් කරමින් අවසන් 16 දෙනාගේ වටයෙන් ගෙදර ගියේය.
බ්‍රසීලය කියන්නේ පාපන්දුවල ග්‍රීක දේව මණ්ඩලයයි. ඔවුන්ට ක්‍රීඩකයන්ගේ අඩුවක් නැත. මේ තරගයේදී වුව මාටිනෙලලි, කුන්යා, රායන් මෙන්ම නැවත පුහුණුවීම් ඇරඹූ රපීන්යා පවා ඔවුන්ට සිටියේය.
රොනාල්ඩෝ නසාරියෝ නම් වූ පාපන්දු දෙවියා බලා සිටියදී මේ තරුණ දේව මණ්ඩලය පරාජය ලැබීය.
නෝර්වේ 2 – 1ක් ලෙස බ්‍රසීලය පරාජය කළේය.
ඒ පසුපස සිටින්නේ අර්ලින් හාලන්ඩ් නම් යක්ෂයාය.
මේ යක්ෂයාගේ යුගයයි.
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මෙන්ම සමස්ත පාපන්දු ඉතිහාසයේ කිසිදිනෙක බ්‍රසීලය නෝර්වේ පරාජය කර නොමැත. බ්‍රසීලයට නෝර්වේ හමු වී ඇත්තේ අවස්ථා කිහිපයකදී පමණි. එහෙත් නෝර්වේට අභිමානයෙන් බ්‍රසීලය කවදාවත් අපව පරාද කර නැහැ කියා කිව හැකිය.
තරගයේදී ගෝල් දෙකම ලැබුවේ අර්ලින් හාලන්ඩ්ය. ඔහුගේ ජීවිතයේ සුන්දරම දවස අද විය හැකිය!

මැන්චෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් ඔහු කොතරම් ජයග්‍රහණ ලැබුවත්, බ්‍රසීලයට එරෙහිව ලෝක කුසලාන තරගයක් ජයගැනීම තරම් විශාල ජයග්‍රහණයක් තවත් නොමැති තරම්ය. තරගයේ 79 වැනි මිනිත්තුවේදී ඇන්ඩ්‍රියාස් ෂෙල්ඩෙරුප් යොමු කළ පන්දුවකට සාර්ථකව හිසෙන් පහර දෙමින් ඔහු සිය පළමු ගෝලය වාර්තා කළේය. ඉන්පසු 89 වැනි මිනිත්තුවේදී අවසානය පෙනි පෙනී බ්‍රසීල ආරක්ෂක වළල්ල සහ ගෝල රකින ක්‍රීඩක ඇලිසන් මවිත කරමින් ඔහු සිය දෙවැනි ගෝලයද වාර්තා කළේය.

බ්‍රසීලය විනාශ කරමින් දෙවැනි ගෝලය ලබා ගත් පසු, ඔහු කිසිවක් නොවුණා සේ ඇවිද ගිය ආකාරය සැබවින්ම විස්මිතය. මෙම ද්විත්ව ගෝල සමඟින් ඔහු මෙවර තරගාවලියේ ලබාගත් ගෝල සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ නංවා ගත් අතර, කයිලියන් ම්බාප්පේ සහ ලියොනල් මෙසී ඉදිරියෙන් තරඟ වදින ‘රන් සපත්තුව’ සඳහා මේ වෙද්දී පවතින තරගයට ඔහුත් එකතු විය.
නෝර්වේ කණ්ඩායම මෙලෙස සිය පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, ජූලි 11 වැනිදා ඔවුන් එංගලන්තය හෝ මෙක්සිකෝව සමඟ තරග වැදීමට නියමිතය.

නෝර්වේ කණ්ඩායමේ මෙම ඓතිහාසික ජයග්‍රහණයේ තවත් ප්‍රධාන වීරයෙකු වූයේ ඔවුන්ගේ 35 හැවිරිදි ගෝල රකින ක්‍රීඩක ඕර්ජන් නීලන්ඩ් ය. 15 වැනි මිනිත්තුවේදී බෲනෝ ගිමාරෙස් එල්ල කළ දඬුවම් පහර විශිෂ්ට ලෙස වළක්වා ගත් ඔහු, විනීසියස් ජූනියර් සහ මාටිනෙල්ලිගේ ප්‍රබල ප්‍රහාරයන් ගණනාවක් සාර්ථකව මැඩපැවැත්වීය.

තරගයේ 90+10 වැනි මිනිත්තුවේදී බ්‍රසීලයට හිමි වූ දඬුවම් පහරකින් නේමාර් ගෝලයක් ලබා ගත්තේය. ගෝලය වාර්තා කිරීමෙන් පසු නීලන්ඩ් අසලට ගිය ඔහු, තද වචනයක් ගෝල්කීපර්ට පැවසීය. එයින් පසු මුවඟට සිනහවක් නඟාගෙන ප්‍රේක්ෂකාගාරයට ආදරණීය හාදුවක් පා කළේය. එහෙත්, අවසන් නළා හඬත් සමඟින් ඒ සිනහව කඳුළකට පෙරළුණි.
තරගයෙන් පසු බ්‍රසීලියානු රූපවාහිනියකට අදහස් දක්වමින් 34 හැවිරිදි නේමාර් සිය ජාත්‍යන්තර සමුගැනීම පිළිබඳව හැඟුම්බරව ඉඟි කළේය. “මම උත්සාහ කළා, මම උත්සාහ කළා… දැන් සියල්ල අවසන්. මම මෙතැනින් පටන් ගත්තා, මෙතැනින්ම අවසන් කරනවා,” යැයි ඔහු කීවේ 2010 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව තමන් බ්‍රසීල ජාතික කණ්ඩායම වෙනුවෙන් මංගල තරගයට පිවිසි නිව් ජර්සි හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණය සිහිපත් කරමිනි.
ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නේ බ්‍රසීලය වෙනුවෙන් තරග 130කදී ගෝල 80ක් සහ සහායක පන්දු යොමු කිරීම් 58ක් වාර්තා කරමින්, බ්‍රසීල පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙසිනි. එහෙත්, 2013 කොන්ෆෙඩරේෂන් කුසලානය හැරුණු විට ජාතික කණ්ඩායම සමඟ ප්‍රධාන පෙළේ කුසලානයක් දිනා ගැනීමට ඔහුට නොහැකි විය. නේමාර් යනු පාපන්දු ඉතිහාසයේ අසම්පූර්ණම පුරාවෘත්තයයි!.
නේමාර් යුගයේ අවසානය යනු පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ බ්‍රසීලය පසුකළ දුර්වලම යුගයක අවසානයයි. එය අසූව දශකයේ සිට අනූව දශකය දක්වා වූ කාලයටත් වඩා දුර්වලය.
මේ වන විට 2030 වසර දක්වා ඔවුන් බලා සිටින තැනට පත්ව ඇත. වසර 28ක් පුරාවට ලෝක කුසලානයක් නොමැතිව සිටීමේ ඛේදනීය ඉරණමකට බ්‍රසීලය මුහුණ දී සිටියි. බ්‍රසීලය නැති පාපන්දු කුමකටද? ජෝගෝ බොනීටෝ නැතිව පාපන්දු නරඹා වැඩක් නැත.
අනෙත් පැත්තට අප දකින බ්‍රසීලියානු පාපන්දුවට මෙවර බ්‍රසීල කණ්ඩායමවත් මුල් තැන දුන්නේ නැත. ඔවුන්ට යුරෝපීය පුහුණුකරුවෙක් ඕනෑ විය.
ඉතාලි ජාතික කාලෝ ඇන්චෙලොට්ටි යනු සුපිරි පුහුණුකරුවෙකි. ජපාන තරගයේදී පවා ඔහුගේ සැලසුම් වැඩ කළ අතර, බ්‍රසීලයේ ඇතැම් ජයග්‍රහණවලට ඔහු හේතු වූ බව සත්‍යයකි. එහෙත්, තමන්ගේ යුරෝපීය ආරක්ෂණාත්මක සැලසුම්වලට බ්‍රසීල කණ්ඩායම පෙළගැස්වීම සියයට සියයක් නිවැරදිද? මෙම තරගයේදී බ්‍රසීලයට පන්දුව පාලනය කරගත හැකි වූයේ 33.5% ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයකි. යුරෝපීය මැනේජර් කෙනෙකුට බ්‍රසීලයේ සහජ ක්‍රීඩා රිද්මය පාලනය කළ හැකිද? 58 වැනි මිනිත්තුවේදී පිටියට පිවිසී තත්පර 52ක් ඇතුළත අනගි අවස්ථාවක් මඟහැර ගත් 19 හැවිරිදි එන්ඩ්‍රික් මෙන්ම නේමාර් ද තරගයේ ආරම්භයේ සිටම ක්‍රීඩා කළේ නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි.
කොහොම වුණත්, බ්‍රසීලය නැතිව තවත් දශකයක් පාපන්දු ලෝකය ඉදිරියට යාවි!. අනාගතයේ දිනෙක බ්‍රසීලය නැවතත් මතුවී ලෝක කුසලානයක් ජයගනු ඇත. චිත්‍රපටවල මෙන් අතුරුදහන් වූ වීරයා එක්වරම සුපිරි බලයක් සමඟින් යළි මතුවනු ඇත. අපට බ්‍රසීලය අවශ්‍යයි! අපට වීදියේ උපන් ඒ සුන්දර ‘ජෝගෝ බොනීටෝ’ අවශ්‍යයි!. ඔවුන් නැතිව මොන පාපන්දුද?.
ආදරණීය බ්‍රසීලය, යළිත් ශක්තිමත්ව සහ වෛවර්ණව ආපසු එන්න!. යුරෝපීය පුහුණුකරුවන්ගේ රාමුවලින් මිදී ඔබේම අනන්‍යතාවයෙන් එන්න!. වීදියට ගොස් මීළඟ පේලේ, රොනාල්ඩෝ, රිවාල්ඩෝ, රොබර්ටෝ කාලෝස්, හෝ රොනාල්ඩීනියෝ කෙනෙකුව සොයාගන්න!
දේව මණ්ඩලය යළි සම්පූර්ණ කරන්න! බ්‍රසීලය ලෝක කුසලානය උස්සන්නේ නැතිව සිටි කාලය දැන් හොඳටම ඇති.
