දැන් කදුළු පිසගනිමු! කේප්වර්ඩ් ලෝක කුසලානය දින්නා! ආජන්ටිනාවට තව දිනන්න තියෙනවා!

පාපන්දු තරගයක් බැලුවාට පස්සේ අඩන්න හිතෙනවාද? එහෙනම් ඔබේ පස්ස පැත්තේ ඉත්තෑවා දුවන බව නිසැකය. ඔබ සුවිශේෂී මනුෂ්‍යයෙකි.

කේප්වර්ඩ් සහ ආජන්ටිනාව අතර තරගය නැරඹුවාට පස්සේ අඩන්න හිතුණාද? ආහ්! එය ඔබ සුවිශේෂී පාපන්දු රසිකයෙක්දැයි සොයා බැලීමට හේතුක් නොවේ. සුපිරි පාපන්දු රසිකයන්ට නොව, ඕනෑ මනුස්සයෙක්ට ඒ තරගය බැලුවාට පස්සේ කදුළු උනනු ඇත.

මනුෂ්‍ය වර්ගයා බිහිකළ වටිනාම වස්තූන් වන්නේ සිනමාව සහ ක්‍රීඩාවය. ඒ ක්‍රීඩා අතරිනුත් ක්‍රීඩාව පාපන්දුය. පිටසක්වල උසස් ජීවී විශේෂයක් පෘථිවියට පැමිණ මනුෂ්‍ය වර්ගයාව සහමුලින් තුරන් නොකර සිටීමට නිදහසට කරුණු කියනන්නයැයි ඉල්ලුවොත් අපේ යහපත උදෙසා ඉදිරිපත් කළ යුත්තේ පාපන්දු සහ සිනමාවය. විශේෂයෙන්ම ලයනල් මෙසීව පිටසක්වලයන්ට පෙන්වනු ඇත. ඔහුව දැක්කාම පිටසක්වලයන් අපව විනාශ නොකරනු ඇත. අපට ගරු කරනු ඇත.

මේ මොන විකාරයක්ද? අද තරගයෙන් පසු කතා කළ යුත්තේ ලයනල් මෙසී ගැන නොවේ. අදත් කතා කළ යුත්තේ වොසීනා ගැනය. කේප්වර්ඩ් බ්ලූ ෂාර්ක්ලා ගැනය.

කණ්ඩායමකට ප්‍රසිද්ධියේ පක්ෂපාතීත්වය දක්වන විට, මිනිසුන් බොහෝ විට තෝරාගන්නේ ප්‍රධාන මාවත් දෙකකින් එකකි. එක් පිරිසක් සැමවිටම ජයග්‍රාහකයා සමඟ හිටගැනීමටත්, ජයග්‍රාහකයාට සහයෝගය දීමටත් කැමතිය. එහෙත් තවත් පිරිසක් සිටිති; ඔවුන් කැමති එළිපිටම දුර්වලයාට (Underdog) සහයෝගය දැක්වීමටය. සමහරවිට ඒ, ඔවුන් පරාජය වන බව ඉඳුරාම දැන දැනමය. පරාජයෙන් පසු තමන්ටද ලැජ්ජාවට පත් වීමට සිදුවනු ඇතැයි දැන දැනමය.

ඇමරිකාවේ මියාමි හිදී පැවැති ආජන්ටිනාව සහ කේප් වර්ඩ් (Cape Verde) අතර 2026 ලෝක කුසලාන තරගයේදී ද සිදුවූයේ එයයි. කේප් වර්ඩ් කණ්ඩායමට එළිපිට සහයෝගය දැක්වූ බොහෝ දෙනෙක් ආජන්ටිනාව යනු කවුදැයි මනාව දැන සිටියහ. ලයනල් මෙසී යනු කවුදැයි ඔවුන් දැන සිටියහ. මෙසී පමණක් නොව, ලොටාරෝ මාටිනස්ලා, නිකෝ ගොන්සාලෙස්ලා මෙන්ම එන්සෝ ෆර්නැන්ඩස්ලා යනු කෙතරම් භයානක ක්‍රීඩකයින්ද යන්න ඔවුන් දැන සිටියහ. ඒ සියල්ල දැන දැනත් ඔවුහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 64 වැනි ස්ථානයේ සිටින, ජනගහනය ලක්ෂ 5ක් පමණක් වන කේප් වර්ඩ් නම් කුඩා දූපත් රාජ්‍යයට ආදරය කළහ. රහසින් හෝ ඔවුන්ගේ ජයග්‍රහණය පැතූහ.

කේප් වර්ඩ් කොතරම් හොඳින් ක්‍රීඩා කළද, තවත් මිලියන ගණනාවකට අවශ්‍ය වූයේ ආජන්ටිනාව ජයගනු දැකීමටයි. පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතමයා සිය අවසන් ලෝක කුසලානයේ තවත් ඉදිරියට යනු දැකීමට ඔවුන්ට අවශ්‍ය විය. ආජන්ටිනාව ඉදිරියේදී බ්‍රසීලය හෝ එංගලන්තය වැනි දැවැන්තයෙකු සමඟ ගැටෙනු දැකීමට පාපන්දු ලෝලීන්ට අවශ්‍ය විය. සැබැවින්ම, කේප් වර්ඩ් ඒ වන විටත් ඔවුන්ගේ ලෝක කුසලානය දිනා හමාරය. ඔවුන් ස්පාඤ්ඤය, උරුගුවේ සහ සෞදි අරාබිය සම කරමින් අපරාජිතව පළමු වටය නිම කළේය. මුළු ලෝකයේම ආදරය ඔවුන්ට ලැබුණි.

මෙය ඔවුන් පැමිණිය යුතු උපරිම දුර වීමට ඉඩ තිබුණි. ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමම ඔවුන්ට දැවැන්ත ජයකි. අපරාජිතව නොකවුට් වටයට යෑම ජයග්‍රහණය තවත් ඔපවත් වීමකි. දැන් ඔවුන්ගේ කතාව ලස්සන එකක් කරන්නට ආජන්ටිනාවට එරෙහිව එක ගෝලයක් ලැබුවත් ඒ ඇතිය. ඒත් කේප්වර්ඩ් ලද දෙයින් සතුටු වෙන්නට දන්නේ නැත.

ආජන්ටිනාවට තව යා යුතු දුර බොහෝය. ඒ නිසාම මේ තරගය ආජන්ටිනාව ජයගත යුතුම යැයි සිතූ පිරිසද අතිමහත්ය. එසේ තිබියදී කේප්වර්ඩ් මේ කළේ කුමක්ද?

මෙසී සහ වොසීනා

මෙසීගේ ජයග්‍රහණය අපේ මොළය ප්‍රාර්ථනා කළත්, වොසීනාගේ ජයග්‍රහණය අපේ හදවත ප්‍රාර්ථනා කළ බව සැබෑ කතාවයි.

වොසීනා යනු කවුද? ඔහු සයිප්‍රසය, ස්ලෝවැකියාව වැනි රටවල කුඩා සමාජ ශාලාවල ක්‍රීඩා කළ අයෙකි. ස්පාඤ්ඤයට එරෙහිව ගෝල 0-0 ක සම තත්ත්වයක් ගෙන දෙමින් ලෝකයේම අවධානය දිනාගන්නා තුරු ඔහුව කිසිවෙකු දැන සිටියේ නැත. ඒ තරගයෙන් පසු ඔහු සතුටු කඳුළු සැලුවේ තමන්ව ඇති දැඩි කළ, එහෙත් අද ජීවතුන් අතර නැති සිය ආච්චී සහ සීයා සිහිපත් කරමිනි. වීසා ගැටලුවක් නිසා තමන්ගේ මවට තරගය බැලීමට ඇමරිකාවට පැමිණිය නොහැකි වූ බව ඔහු කීවේය. එහෙත් ඇමරිකානු දේශපාලඥයින් පවා මැදිහත් වී ඔහුගේ මවට මියාමි වෙත ඒමට වීසා සකස් කර දුන් අතර, අද ඇය සිටියේ තම පුතා ලෝක ශූරයින්ට එරෙහිව සටන් කරන අයුරු බලාගෙනය. තරගාවලියට පෙර 50,000 ක් වූ ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් සංඛ්‍යාව මේ වන විට මිලියන 17 ඉක්මවා ගොස් තිබුණි. ඔහු ඒ තරමටම ලෝකයේ ආදරය දිනාගෙන සිටියේය.

තරගයේ 29 වැනි මිනිත්තුවේදී ලයනල් මෙසී අතිවිශිෂ්ට ගෝලයක් ලබා ගත්තේය. ආරක්ෂක ක්‍රීඩකයින් මඟහරිමින්, පන්දුව මෘදුව පාලනය කරගත් ඔහු වොසීනාට සිතන්නටවත් කාලයක් නොදී එය දැල තුළට යැවීය. එය මෙසීගේ මෙවර 7 වැනි ගෝලය මෙන්ම ඔහුගේ ලෝක කුසලාන ඉතිහාසයේ 20 වැනි ගෝලය විය.

කේප් වර්ඩ් හි බලාපොරොත්තු එහිදී බොඳ වී යනු ඇතැයි බොහෝ දෙනා සිතූහ.

එහෙත් වොසීනා ඊට ඉඩ දුන්නේ නැත. ඉන්පසුව එල්ල වූ මෙසීගේ ප්‍රබල ප්‍රහාරයන් හමුවේ ඔහු යෝධයෙකු මෙන් නැඟී සිටියේය. 63 වැනි මිනිත්තුවේදී මෙසීට ලැබුණු ලෙහෙසිම ලෙහෙසි අවස්ථාවක් වොසීනා ඉදිරියට පැමිණ නැවැත්වීය. 72 වැනි මිනිත්තුවේදී මෙසීට ලැබුණු ෆ්‍රී කික් එක අනෙක් අවස්ථාවයි. කේප්වර්ඩ් වෝල් එක සකස් කර අවසන් වී තිබුණේ නැත. ඒත් විනිසුරු විසිල් නාදය නැංවීය. මෙසී දශමයක්වත් පරක්කු නොකර කික් එකට ගියේය. වොසීනා සිටියේ ගෝල් එකේ දකුණු කෙළවරේ බව දැන දැනම මෙසී වම් කෙළවරට බෝලය යොමු කළේය. ඒ වෙද්දීත් මෙසී එන බව දැනගත් වොසීනා අනෙක් ක්‍රීඩකයන්ටත් අනතුරු හැගවීය. මෙසීගේ වේගයටම වොසීනා ගෝල් එකේ වම් අන්තයට වහාම ළංව, තමන්ගේ උස ශරීරය පාවිච්චි කරමින් බෝලයට පැන ගෝලය ඉවතට තල්ලු කළේය.

වොසීනා මෙසීව මුහුණට මුහුණ පරාජය කළේ එලෙසය.

විනාඩි 90

තරගයේ 59 වැනි මිනිත්තුවේදී කේප්වර්ඩ් සිය ‘ෂටප් ඇන්ඩ් සිට්ඩවුන්‘ ප්‍රතිචාරය දුන්නේය. ස්ටීවන් මොහේරා දකුණු පැත්තේ හිදැසක් තුළින් රයන් මෙන්ඩෙස්ට පන්දුව යොමු කළේය. බෝලය රැගෙන වහා බොක්ස් එක ඇතුළට ගගිය මෙන්ඩෙස් ඩෙරෝයි ඩුවාර්ටේට බෝලය යොමු කළේය.

ඩුවාර්ටේ සිටියේ අසීරු කෝණයකය. තමන් ඉදිරියේ සිටියේ ආජන්ටිනාවේ ගෝල රකින්නා වූ එමිලියානෝ මාටිනස්ය. වොසීනා ගෝල රැකීමේ පිකාසෝ කෙනෙක් නම් මාටිනස් ගෝල රැකිමේ ඩාවින්චි කෙනෙකි. අනෙක් පැත්තෙන් ඔහු ඉදිරියේ ආජන්ටිනාවේ විශිෂ්ට පසුපෙළ ක්‍රීඩක ලිසැන්ඩ්‍රෝ මාටිනස්ද සිටියේය. එහෙත්, ඩුවාර්ටේ බෝලය ඒ දෙදෙනාම පසු කරමින් ගෝලය ඇතුළට තල්ලු කළේ හිතන්නත් බැරි ගෝලයක් ලබමිනි.

තරගය අයින් පසු 1 ට 1ක් විය. මිනිත්තු 90 අවසන් වනතුරුම එසේ විය. මිනිත්තු අනූව තුළදී ආජන්ටිනාවට තමන්ව පරාජය කරන්නට කේප්වර්ඩ් ඉඩ නොදුන්නේය. මෙය පළමු වටයේ තරගයක් වී නම් ජය පරාජයෙන් තොරය.

අතිරේක කාලයේ 93 වැනි මිනිත්තුවේදී ලිසැන්ඩ්‍රෝ මාටිනස් ආජන්ටිනාවට 2-1 ක පෙරමුණක් ගෙන දුන්නද, 103 වැනි මිනිත්තුවේදී සිඩ්නි කබ්රාල් එල්ල කළ අතිවිශිෂ්ට ‘කර්ලින්’ පහරින් තරගය යළිත් 2-2 ක් ලෙස සම විය. ආජන්ටිනා ප්‍රේක්ෂකාගාරය නිහඬ විය.

මේ තරගය කේප්වර්ඩ් දිනන්නට ඉඩ තිබුණි. එමීලියානෝ මාටිනස් නොසිටියේ නම් කේප්වර්ඩ් දිනන්නට ඉඩ තිබුණි. මේ මිනිහාට ලැබිය යුතු ගෞරවය දැන් ලැබෙනවාට වඩා ලොකුම ලොකු එකකි. 2022 ලෝක කුසලානය ගත්තේත් මාටිනස්ගේ විශිෂ්ට ගෝල රැකීම් නිසාය. මෙවරත් එය එසේමය.

111

තරගයේ 111 වැනි මිනිත්තුවේදී මෙසී යොමු කළ කෝනර් පහරක් ක්‍රිස්ටියන් රොමේරෝගේ හිසේ වැදී, ඉන්පසු කේප් වර්ඩ් ක්‍රීඩක ඩිනේ බෝර්ජස්ගේ ද වැදී දැල තුළට ගියේ එය ස්වයං ගෝලයක් ලෙස සටහන් කරමිනි. කේප් වර්ඩ් කණ්ඩායමේ ඉරණම එතැනින් ලියැවී තිබුණි. තරගය 3-2 ක් ලෙස ආජන්ටිනාව ජය ගත්තේය.

එපමණකි. කොච්චර කළත් කතාව එච්චරය. ආජන්ටිනාව ඊළග වටයට යනු ඇත. තව සුන්දර තරග කීපයක් අපට දක්නට ලැබෙනු ඇත. ඇතැම්විට නේමාර් සහ මෙසී දෛවෝපගත ලෙස හමුවනු ඇත. කවුද දන්නේ? වැරදිලා හෝ අර්ලින් හාලන්ඩ් සහ මෙසී හමුවනු ඇත. හැරී කේන් සහ මෙසී හමුවීමටත් ලොකු ඉඩක් තිබේ. කතාව ඉස්සරහට යා යුතුව තිබුණේ එලෙසය.

ඒත් මුළු ලෝකයම මින් ඉදිරියට කේප්වර්ඩ් යන වචනය ඇසුණොත් ‘වොසීනාගේ රට‘ යැයි කියනු ඇත. ‘උන්ට ෆුට්බෝල් පුලුවන්‘ කියා කියනු ඇත. ඒ නිසා කේප්වර්ඩ් පරාජයන් පසු හඩාවැටුණත්, ඔවුන් තමන්ගේ ලෝක කුසලානය දිනා හමාරය. ආජන්ටිනාවට තව දිනන්නට තිබේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading