මොරොක්කෝ පෙනල්ටිවලින් නෙදර්ලන්තය පරාජය කළා! ඒක පුදුමයක් නෙවෙයි…!

ඉස්සර මොරොක්කෝව නෙදර්ලන්තයට එරෙහි ලෝක කුසලාන තරගයක් ජයගතහොත් ඒක ඩේවිඩ් ගොලායත් සටනක් විදියට හදුන්වන්න තිබුණා. ලෝක කුසලානයේ ලොකුම ලොකු පුදුමයක් කියා කියන්නට ඉඩ තිබුණා. ඒත්, අද පාපන්දු වෙනස්. ලෝකය වෙනස්. මොරොක්කෝ කණ්ඩායමේ 26 දෙනාගෙන් 19ක්ම යුරෝපීය රටවල හැදී වැඩුණු ඒ රටවල ජාතිකයන් බව ඇත්ත. මොරොක්කෝ කණ්ඩායමේ තුන්දෙනෙක්ම නෙදර්ලන්තයෙන් බවත් ඇත්ත. ඒත්, ලෝක පාපන්දු නීතිරීතිවලට අනුව ක්‍රීඩකයන්ට තමන්ගේ ලේ උරුමය ඇති රටක් තෝරාගෙන ක්‍රීඩා කරන්න නිදහස ලැබෙනවා.

මොරොක්කෝව ඒ විදියට ලෝකයේ ප්‍රබලම පාපන්දු කණ්ඩායමක් නිර්මාණය කොට ලෝකයේ පාපන්දුවල ප්‍රබලම රටක් බවට පත්ව සිටිනවා. මොරොක්කෝවෙන් කොච්චර දේවල් යුරෝපීයන් කොල්ලකන්න ඇතිද? අද නෙදර්ලන්තය යුරෝපීය පාපන්දු ක්‍රීඩා සමාජවල බිහි වුණ දක්ෂයන්ව තමන්ගේම රටට ගෙන්වාගැනීම කිසිසේත්ම වරදක් වෙන්නේ නෑ. ඒ දක්ෂතාවෙන් අද ඔවුන් ලෙහෙසියෙන් යුරෝපීයන්ට පරාජය අත් කර දෙනවා.

සයිබාරි මුහුණට මුහුණ

2026 ලෝක කුසලාන තරගාවලියේ අවසන් 32 දෙනාගේ වටයේදී මෙක්සිකෝවේ මොන්ටෙරේ ක්‍රීඩාංගණයේදී පැවති නෙදර්ලන්තය සහ මොරොක්කෝව අතර තරගය අවසන් වුණේ වඩා විශිෂ්ඨ මොරොක්කෝ කණ්ඩායම ජය ගනිමින්. මොරොක්කෝවට ඊළගට හමුවන්නේ කැනඩාව. සාධාරණ උපකල්පනයක් කළොත් ඔවුන් කැනඩාවේ අභියෝගය ජයගෙන, බොහෝදුරට අවසන් අටදෙනාගේ වටයේදී ප්‍රංශය මුණගැසේවි. මොරොක්කෝවට සැබෑ අභියෝගයක් වන්නේ එතැන සිට ඉතා අසීරු සහ අභියෝගාත්මක තරග තුනක් නොකඩවා ජය ගැනීම පමණයි.

මොරොක්කෝවට ලෝක කුසලානය වුව අසීරු නමුත් ජයගත හැකි හීනයක් බවට පත්වෙලා. තවමත් අප්‍රිකාවේ කිසිම රටක් ලෝක කුසලානය දිනා නැහැ.

ජය සමරන මොරොක්කෝව

විනාඩි 120ක තියුණු සටනකින් පසු 1-1 ක් ලෙස තරගය සමවී, අවසානයේ දඬුවම් පහර 3-2 ක් ලෙස ජයගත් මොරොක්කෝව මීට පෙර ලෝක කුසලානයේ සිව්වැනි ස්ථානය දක්වා ගමන් කළා.

පළමු අර්ධය පුරාවටම කණ්ඩායම් දෙකම දැඩි ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කළා. නෙදර්ලන්තයේ මිකී වැන් ඩි වෙන් මොරොක්කෝවේ ඇටෑක් ගොඩක් නැවැත්තුවා.

මේ තරගයේ පළවැනි ගෝලය වැදගත් වෙන්නේ පසුබිම් කතාව නිසයි.

මැච් එකට දවස් තුනකට කලින් ජුනි 27 වැනිදා නෙදර්ලන්ත ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩක කෝඩි ගැක්පෝ සහ ඔහුගේ පෙම්වතිය වන නෝවා වැන් ඩර් බිජ් තමන් ලඟදීම මෙලොවට බිහි කිරීමට සිටි දරුවා කුසේදීම මියගිය බව නිවේදනය කළා.

ඔවුන් පුද්ගලිකත්වය රැක දෙන ලෙස ඉල්ලා තිබුණා.

ලෝකයේ ලොකුම පාපන්දු තරගාවලිය අතරතුර මුහුණදුන් මේ ප්‍රවෘත්තිය ගැන අසද්දී ගැක්පෝට කෙතරම් වේදනාවක් වන්නට ඇතිද?

දරුවාගේ අහිමි වීමෙන් පසුව පුහුණුකරු රොනල්ඩ් කූමන් විසින් ගැට්පෝට අවශ්‍ය නම් කණ්ඩායමෙන් ඉවත්ව තම පවුලේ අය සමඟ සිටීමට පූර්ණ නිදහස ලබා දී තිබුණා. එහෙත් ගැට්පෝ තරගාවලියේ ඉන්නට තීන්දු කළා.

නෙදර්ලන්තය සහ මොරොක්කෝ අතර තරගයේ පාලනය තිබුණේ මොරොක්කෝව අතේ බව අහන්නට දෙයක් නැහැ. එසේ තිබියදි 72 වැනි මිනිත්තුවේදී ලැබුණු අවස්ථාවක් ලබාගනිමින් ගැක්පෝ ගෝලය වාර්තා කළා.

ක්‍රිසෙන්සියෝ සමර්විල් ලිස්සා ඇද වැටෙනවාත් එක්කම යොමු වූ පන්දුව වේගයෙන් පැමිණී ගැක්පෝ විසින් ගෝලයකට හැරෙව්වා.

මේ ගෝල් එක ගැක්පෝ බිම පෙරළෙමින් සහ අහස දෙස බලමින් විදගත්තේ පුද්ගලිකව මේ ගෝලයේ තේරුම කුමක්ද? යන්න තමන්ගේම විමසන ආකාරය අප හැමෝටම පෙන්වමින්.

සමහර ගෝල හුදෙක් ගෝල පමණක් නෙවෙයි. ඒවා ඊට වඩා වටිනවා. මේ ගෝලය ගැට්පෝට හැමදේටම වඩා වටිනවා ඇති.

නෙදර්ලන්තයේ සම්පූර්ණ කණ්ඩායම මෙන්ම අතිරේක ක්‍රීඩකයනුත් ගැක්පෝ සිටි තැනටම දුව ආවා. කෝනර් එක වෙත දිව යනවා වෙනුවට එතැනදීම සැමරුවා.

ඒ දර්ශනය මහා දැවැන්ත එකක්. සියල්ලන් ගැක්පෝව වැළදගත්තේ ඔහුගේ හිතට හයියක් වෙන්න හැමෝම ලෑස්ති බව පෙන්වමින්.

බිඳුණු හදවතකින් එක්ක ගැට්පෝ පුදුමාකාර මානසික හයියක් පෙන්නුවා.

එහෙත්, විනාඩි 90 පසු වුණාට පස්සේ මොරොක්කෝව එතෙක් වෙලා සොයමින් හිටපු ගෝලය ලබා ගත්තා. ඔවුන් ඕනෑම වෙලාවක තර්ජනයක් වෙන බව පැහැදිලිවම පෙන්නුවා.

මැච් එක වෙනස් කරපු චෙම්ස්ඩින් තල්බි පිටියට ආවේ 87 වැනි මිනිත්තුවේදීයි. තරගය අවසන් කරන්නට පෙර ලැබෙන අමතර මිනිත්තු කිහිපයේදී තල්බි වමෙන් යොමු කරපු පන්දුවට ඉතාම විශිෂ්ඨ හෙඩර් එකක් දෙමින් ඉසා ඩියෝප් ගෝලයක් වාර්තා කළා.

හිස් පහර එල්ල කළ ඉසා ඩියොප්

තරගය අතිරේක කාලයට ගියා. අතිරේක කාලය පුරාවට මොරොක්කෝව දෙවැනි ගෝලය ලබා ගන්නට ගත් උත්සාහයන් පමණක් දිස් වුණා. නෙදර්ලන්තය නැවත මන්දගාමී වුණා. කොහොම වුණත්, රහීමිට පැහැදිලි ගෝලයක් අතර ලැබුණත්, ඔහු පන්දුව යොමු කළ විදියත්, නෙදර්ලන්ත ගෝල්කීපර් බාර්ට් වර්බෘගන්ගේ විශිෂ්ඨත්වයත් නිසා කකුලේ වැදී ගෝලය නැවතුණා. තරගය පෙනල්ටිවලට ගියා.

කලින් තරගයේදී මෙන්ම මේ තරගයේදීත් පෙනල්ටි වටය පළවැනි උත්සාහයන් පහේදී 2ට 2ක් ලෙස සම වුණා.

නෙදර්ලන්තයේ කූප්මයින්ඩර්ස් පළමු පෙනල්ටිය සාර්ථක කරගත්තා. ඒත්, ජස්ටින් ක්ලයිවර්ට් සහ ක්වින්ටන් ටිම්බර් ගේ පහරවල් පෝස්ට් එකේ වැදිලා එළියට ගියා. ගිය ලෝක කුසලානයේදී වගේම මෙවරත් ඔවුන් මොරොක්කෝව වෙනුවෙන් රහීමි, වෙග්හෝස්ට් සහ තල්බි දඬුවම් පහර සාර්ථක කරගත්හ. හකීමිගේ පහර කණුවේ වැදී ඉවතට ගියද, පෙනල්ටිවලදී කඩා වැටුණා.

මොරොක්කෝව වෙනුවෙන් රහීමි, වෙග්හෝස්ට් සහ තල්බි දඬුවම් පහර සාර්ථක කරගත්තා. ඒත් හකීමිට මැච් එක දිනන්න තිබුණු අවස්ථාව ඔහුගේ අතින් මගහැරුණේ ඔහු මොන තරම් පීඩනයකින් හිටියාද කියලා පෙන්වමින්.

සමර්විල්ගේ උත්සාහය මොරොක්කෝ ගෝල්කීපර් යසීන් බෝනෝ විශිෂ්ඨ විදියට වැළැක්වුවා.

අන්තිමේදී ඉස්මායිල් සයිබාරිගේ පාදය මත මොරොක්කෝ ඉරණම රැදවුණා. පැහැදිලිව දැවැන්ත ආතතියකින් සිටි සයිබාරි, ගෝලය වරද්දාගත්තේ නෑ. ගෝල් එක ලැබුණා. මොරොක්කෝව පෙනල්ටි 3- 2ක් විදියට දින්නා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading