ජර්මනිය දඩයම් කළ දඩයක්කාරයා! පැරගුවේ දිනෙව්වේ කොහොමද?

ප්‍රාතිහාර්ය පෑම අසීරු කටයුත්තක්. කොච්චර අමාරුද කිව්වොත් වෙලාවකට හිතෙනවා ප්‍රාතිහාර්ය පාන එක කරන්න බැරි දෙයක් කියලා. ඒත්, පුලුවන්. පැරගුවේ මේ පාර ප්‍රාතිහාර්ය පෑවා. ඒ මෙතෙක් ලෝක කුසලානයේ උණුසුම්ම තරග අවසානය එක්ක ජර්මනිය ගෙදර යවමින්.

මේ ප්‍රාතිහාර්ය පෑම පසුපස ඉන්නේ යෝගීවරයෙක්. පොතපත කියැවූ යෝගීවරයෙක්. ගුස්ටාවෝ ඇලෆාරෝ! එහෙම නැත්නම් පැරගුවේ අය කියන විදියට ‘දඩයක්කාරයා‘.

මේ මැච් එක කොහෙත්ම කෙටි දුර දිවීමක් වුණේ නෑ. මැච් එක තිබුණේත් බොස්ටන්වල. මේක ඇවිල්ලා මැරතන් එකක්. සම්පූර්ණ විනාඩි 120ක් ඉවරවෙලාත් තීන්දුවක් නොලැබිච්ච, අන්තිමේ පෙනල්ටිවලට ගිහින් පළවැනි පෙනල්ටි පහ ඇතුළේත් තීන්දුවක් නොලැබිච්ච මැරතන් එකක්. ඒ මැරතන් එක ඉවරවෙනතුරු පැරගුවේ අල්ලාගෙන හිටියේ අර කීව යෝගීවරයාගේ හයියෙන්.

අවසාන තප්පරයේදී! පැරගුවේ කණ්ඩායමේ විශ්වාසදායී මැදපෙල ආරක්ෂකයා වූ හොසේ කැනාලේ ඉවසීමෙන් දිවැවිත් පන්දුව ගෝලයට යැව්වා. ඒ ඊට ටික වෙලාවකට කලින් ජර්මනියේ ජොනතන් ටා පෙනල්ටිය ගෝල් එක වෙනුවට චන්ද්‍රයා වෙත යොමු කරන්න උත්සාහ කරලා, අසමත් වුණාට පස්සේ.

පැරගුවේ කණ්ඩායම මෙම ඓතිහාසික ජයග්‍රහණය කරා පැමිණි ගමන කිසිසේත්ම පහසු එකක් වුණේ නැහැ. 2010 වසරේ ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා ගොස් ස්පාඤ්ඤයට පරාජය වීමෙන් පස්සේ පැරගුවේ ෆුට්බෝල්වලට උදා වුණේ අවුල් කාලයක්. පාපන්දු ලෝක කුසලානවලට සුදුසුකම් ලැබුණේ නෑ.

ඒත්, 2022 ලෝක කුසලානයේ ඉක්වදෝර පුහුණුකරු වූ ගුස්ටාවෝ ඇල්ෆාරෝ 2024 දී පැරගුවේ කණ්ඩායමට පුහුණුකරු ලෙස ආවා. ඔවුන් ආජන්ටිනාව සහ බ්‍රසීලයත් පරාජය කළා. ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවා. පැරගුවේ සුදුසුකම් ලැබූ දිනයේ එරට ජනාධිපතිවරයා විසින් විශේෂ නිවාඩු දවසක් ප්‍රකාශයට පත් කළා.

ඔබට තේරෙනවා ඇති! මේ යෝගීවරයා! නැත්නම් දඩයක්කාරයා! දඩයම් කරන්නට ආස දැවැන්ත ගොදුරු. ජර්මනියත් ඒ විදියටම ගොදුරු වුණා. ජර්මනිය එකපාර බිම එලාගත්තේ නෑ. හෙමින් හෙමින් දුර්වල කරලා බිම එලාගත්තා.

මැච් එකේ මුල් අඩවියේදී ගෝල් එක ලබා ගත්තේ පැරගුවේ රන් මැණික හූලියෝ එන්සිසෝ.

22 හැවිරිදි එන්සිසෝ ස්ට්‍රාස්බර්ග් ක්ලබ් එකේ සෙල්ලම් කරන්නෙක්.

ඇත්තටම තරගයේ මුල් මිනිත්තු 40 පුරාවට ජර්මනියට පන්දුවේ වැඩි පාලනයක් තිබුණා. පැරගුවේ හිටියේ දිගටම ආරක්ෂක උපක්‍රමවලයි. පැරගුවේ පාපන්දු ඉතිහාසය පුරාවට ඔවුන් ආරක්ෂක ක්‍රීඩා විලාසයට ප්‍රකටයි.

එන්සිසෝ ගෝලය වාර්තා කළේ 42 වැනි මිනිත්තුවේයි. මගෙල් අල්මිරොන් විසින් ලබාගත් පන්දුව විශිෂ්ඨ හුවමාරුවකින් ගලර්සාටත්, ගලර්සාගේ ක්‍රොස් එක එන්සිසෝටත් යොමු වුණා. එන්සිසෝ හෙඩ් එකකින් ගෝල් එක ඇතුළටම බෝලය යොමු කළේ, නැවත වතාවක් ජර්මානු ස්වීපර් කීපර් නොයර්ට කිසිදු අවස්ථාවක් නොදෙමින්. වයස අවුරුදු 40ක නොයර් මීට කලින් දශකයේ ලොව හොදම ගෝල්කීපර් කෙනෙක් වුණා. විශ්‍රාම ජීවිතයෙනුත් ඔහු නැවත ආවේ, ලෝක කුසලානය වෙනුවෙනුයි. ගෝල්කීපර්ලා ගොඩක් අවධානය දිනාගත් මේ ලෝක කුසලානයේදී ඔහුගෙන් අපි දැක්කේ අසාර්ථකත්වය.

එන්සීසෝව ලා හොයා හෙවත් රන් මැණික කියන අන්වර්ථ නාමයෙන් පැරගුවේහි හදුන්වනවා. ඔහුගේ අම්මා ගෘහ සේවිකාවක්. තාත්තා වීදි වෙළෙන්දෙක්. අවුරුදු 12 දී එන්සීසෝව අසුන්සියොන් වෙත ගෙන්වාගැනීමට ලිබර්ටාඩ් ක්‍රීඩා සමාජය ලොකු උනන්දුවක් දැක්වුවාලු. කොටින්ම ඔහුගේ අම්මාට සහ තාත්තාට රැකියා පවා ලබා දුන්නාලු.

වයස අවුරුදු 17 දී ඔහු පැරගුවේ කණ්ඩායමට සෙල්ලම් කළා. එයින් පසු බ්‍රයිටන් කණ්ඩායමට ගියා. පසුකාලීනවයි ඔහු ප්‍රංශයට ගියේ. එහෙව් එන්සිසෝ පැරගුවේට වාසිය කල් තියා ලබා දුන්නා.

මේ මැච් එකේ සීයට 79ක් පන්දුව පාලනය කළේ ජර්මනිය. පැරගුවේ සම්පූර්ණයෙන්ම ආරක්ෂක උපක්‍රමයක හිටියා. ඔවුන් එක ගෝලයක් ලබාගත්තා. මේක කායි හැවර්ට්ස්ගේ ගෝලයකින් සම වුණා. ඇත්තටම කිව්වොත් ඒ සම කිරීමේ ගෝල් එක ගැහුවා හැරුණාම මේ තරගයේදී ජර්මානු ක්‍රීඩක කායි හැවර්ට්ස්ට කිසිදෙයක් කරගන්න බැරිවුණ තරගයක්. ඇත්තටම මීට කලින් ගෝල 7ක් එක්ක කියුරසාවෝ පරාජය කළ ජර්මනියයි මේ විදියට හිර වුණේ.

ඇත්තටම අතිරේක කාලයේදී ඩොනතන් ටාහ් හෙඩ් එකකින් ගෝල් එකක් ගැහුවා. ඒක සෙලිබ්‍රේට් කළාටත් පස්සේ ගෝල් කීපර්ව අවහිර කිරීමක් නිසා ජර්මනියට ගෝල් එක අහිමි කෙරුණා. ඇත්තටම පාපන්දු තරගයක ඉවසීම සහ කල්පනාව මොන තරම් දුරටත තියෙන්න ඕනෑද කියන එක ඒ සිද්ධියෙන් පැහැදිලි වුණා. බොහෝ දෙනෙක් ජර්මනියට ගෝලය අහිමි කිරීම අසාධාරණ ලෙස දකීවි. ඒත්, මේ ලෝක කුසලානයේදී අපි නිතර දකින්නේ විනිසුරුවරුන්ට දැඩිව සහ ඍජුව තීන්දු ගන්න සිද්ධවෙච්ච අවස්ථා.

ඇත්තටම මේ තරගයේ තරුව වුණේ පැරගුවේ ගෝල්කීපර් ඔර්ලැන්ඩෝ ගිල්. අඩි හයයි අඟල් හයක් උසැති මේ යෝධයා, තරගය පුරාවටම තම සීමාව තුළ ආධිපත්‍යය පැතිරවූයේ පැරගුවේ දේශයේ හිටපු ගෝල්කීපින් ලෙජන්ඩ් ‘චිලාවර්ට්’ ආපහු මතක් කරමින්. තරගයේදී වගේම පෙනල්ටිවලදීත් ඔහු පැහැදිලි ගෝල් කිහිපයක් වැළැක්වුවා. විශේෂයෙන් හැවර්ට්ස්ගේ පෙනල්ටිය සහ නික් වොල්ටමේඩ්ගේ පෙනල්ටිය නැවතුණේ ඔහුගේම විශිෂ්ඨත්වයෙන්.

කොහොම නමුත්, මේ දක්වා පැරගුවේ රැගෙන ආවේ ගුස්ටොවෝ ඇල්ෆාරෝ.

ආජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩකයෙක්ව සිට, අනු ගණන්වලදී වයස අවුරුදු 30 කදී ක්‍රීඩකයෙක් විදිහට සමුගත්තට පස්සේ ඔහු පූර්ණකාලීන පුහුණුකරුවෙක් විදිහට වැඩ පටන් ගත්තා. එයා විශේෂයෙන්ම ප්‍රසිද්ධ වෙලා ඉන්නේ කණ්ඩායමක ආරක්ෂක විනය හෙවත් ‘ඩිෆෙන්ස්’ එක උපරිමයටම හදන කෙනෙක් විදිහටයි.

ආර්ජන්ටිනාවේ ආර්සනල් ද සරන්ඩි වගේ සාමාන්‍ය කණ්ඩායමක් ආජන්ටිනාවේ ක්ලබ් චැම්පියන්ෂිප් එක දිනා දීලා තමයි එයා මුලින්ම තමන් කවුද කියලා ලෝකෙටම පෙන්නුවේ.

“මට ඇටෑකින් කණ්ඩායමක් හදන්න ඕන නම්, මම ඉස්සෙල්ලම කරන්නේ ඩිෆෙන්ස් එක හදන එක, නැත්නම් මට ගෙදර යන්නයි වෙන්නේ” කියන කතාව ඔහු කියා තියෙනවා.

ඇල්ෆාරෝ කියන්නේ පාපන්දු පුහුණුකරුවෙක් විතරක් නෙවෙයි. එයා ගොඩක් පොතපත කියවන, පත්තර සාකච්ඡාවලදී පවා හරිම දාර්ශනික විදිහට කතා කරන මනුස්සයෙක්. එයා එල් කැසඩෝර් නැත්නම් දඩයක්කාරයා කියලා හදුන්වන්නේ දිනන්න අමාරු තැන්වලට තමන්ගේ කණ්ඩායම අරන් යන නිසයි.

ඔහු 2022 ලෝක කුසලානයට ඉක්වදෝරය අරගෙන ගියාට පස්සේ එයා “Cazadores de Utopías Imposibles” එහෙමත් නැත්නම් ‘යුතෝපියාව දඩයම් කරන්නෝ’ කියලා පොතක් ලිව්වා.

ජර්මනියට එරෙහි මේ ජයග්‍රහණයත් එවැනි යුතෝපියානු ජයග්‍රහණයක් තමයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading