හාලන්ඩ් යක්ෂයා ගුරුකම් කරද්දී බ්‍රසීල දේව මණ්ඩලයේ පිහිටාරක්ෂාවෙන්, අන්තිම මොහොතේ ගෝලයක් ගසා, බ්‍රසීලය ඊළග වටයට ගියා!

මේ තරගය බලාගෙන හාලන්ඩ් යක්ෂයා ගුරුකම් කරනවා ඇති කියා විහිළුවට වාගේ ෆේස්බුක් එකේ ලිව්වේ, ජපානය පළමු අර්ධයේදී ගෝලයක් ලැබුවාට පසු.

බ්‍රසීලය 32 වටයෙන්ම ගෙදර යවනු ඇති බව විටෙක පෙනෙන්නට ගත්තා. ගෝලය වාර්තා කළ සැණින් ජපානය විශිෂ්ඨ ආරක්ෂිත රටාවකට මාරු වුණා. ඔවුන් හැමවිටම ක්‍රීඩකයන්ව මාක් කළා. බෝලය අත නොමැතිව, විශිෂ්ඨ ප්‍රතිවාදියෙකුට ෆෝකස් කරමින් ආරක්ෂාව තහවුරු කරගන්නා හැටි ජපානය මනාව පෙන්නුවා.

පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ඨම කොටසක් තමයි පන්දුව තමන් අත නැතිව සෙල්ලම් කරන්නේ කොහොමද කියන එක.

හාලන්ඩ් යක්ෂයා කෙතරම් ගුරුකම් කළත් පාපන්දු ක්‍රීඩාවේ ගාඩියන්ලා වන බ්‍රසීලය වෙනුවෙන් එදින ක්‍රීඩා පිටියට බ්‍රසීල දේව මණ්ඩලයක්ම පැමිණ බලා සිටියා. රොනාල්ඩිනෝලා, රොනාල්ඩෝලා බලා සිටියා. සමහරවිට හාලන්ඩ් යක්ෂයාගේ ගුරුකම් කපා දමන්නට ඒ දේව මණ්ඩලයට හැකි වන්නට ඇති.

හූස්ටන් පිටියේ තිබුණු ත්‍රාසජනක තරගයක් වූ මෙය, බ්‍රසීලය දිනන බව අන්තිම විනාඩිය දක්වා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අප දැන සිටියේ නෑ. විනී ජූනියර් හෝ රායන් දිගින් දිගටම ජපානයේ ආරක්ෂක වළල්ල ඇතුළට විශිෂ්ඨ පන්දු යොමු කිරීම් කළත් ප්‍රහාරය සාර්ථක වුණේම නෑ. ජපානයේ ගෝල රකින්නා වූ සුසුකි විශිෂ්ඨ ලෙස ගෝලයත් රැකගත්තේ ඇතැම් විටෙක විශිෂ්ඨ ප්‍රහාර ඇගිලි තුඩුවල වද්දාගෙන ගෝලයේ බාර් එකට යොමු කරමින්.

මේ තරගය බ්‍රසීල පුහුණුකරු කාර්ලෝ ඇන්චෙලොට්ටිගේ උපක්‍රම දකින්නට ලැබුණු එකක්ද වුණා. ඔහු නේමාර්ව තරගයට එකතු කළේම නැහැ. ස්කොට්ලන්ත තරගයට ක්‍රීඩා කළ මුල් 11 දෙනාම තරගයට යෙදවූ ඔහු අවශ්‍ය අවස්ථාවලදී වෙනස්කම්ද කළා.

ජපාන ගෝලය

ජපානය කල් තියාම බ්‍රසීලයේ ප්‍රහාරකයන්ගෙන් ආරක්ෂා වීමට සුදානම්ව පැමිණ සිටියා. ඒ අතරතුරේ 29 වැනි මිනිත්තුවේදී ජපානය ගෝලය වාර්තා කළා.

ජපානය කවදාවත් නොකවුට් තරගයක් ලෝක කුසලානයක ජයගෙන නෑ. ජපානයේම පුහුණුකරු කියා තිබුණේ ඔවුන්ට එය මානසිකවත් පසුබැමක් වූ බව. ඔවුන් දැඩි පීඩනයකින් සෙල්ලම් කළ බව. විශේෂයෙන් බ්‍රසීලය තමයි ලෝක කුසලාන ඉතිහාසයේ කවදාවත් පළවැනි වටයෙන් එළියට විසි වී නැති එකම කණ්ඩායම. අර්ධ අවසාන පුර්ව තරගයට ඔවුන් නොගිය ලෝක කුසලාන දෙකයි තිබෙන්නේ.

බ්‍රසීලය කියන්නේ පාපන්දු නම් වූ ක්‍රීඩාවේ උරුමක්කාරයන්!

ඒත්, මෙවර බ්‍රසීල කණ්ඩායම අඩු තරමේ ලෝක කුසලානයටවත් එන්නේ නැති වේවියැයි හිතෙන තරම් අවදානමකට ලක් වූ කණ්ඩායමක්. ජපානය මේ තරගයේදී හොද මානසික ස්ථාවරත්වයක් පෙන්වුවා. අන්තිම තප්පරය දක්වාම. එකම අඩුව වන්නේ ඔවුන්ගේ ප්‍රහාර ශක්තිමත් ‍ෙ

බ්‍රසීල ක්‍රීඩක ඩැනිලෝගේ දුර්වල පන්දු යොමුවක් ඩැහැගත් කයිෂු සානෝ බ්‍රසීල ආරක්ෂක කැසමීරෝව ලෙහෙසියෙන් මගහරිමින් යාර 40ක් විතර බෝලය රැගෙන ගියා. විශිෂ්ඨ මෙන්ම සුන්දර ගෝලයක් වාර්තා කළා.

කැසමීරෝ

පුහුණුකරුගේ උපක්‍රම ගැන කතාව මෙතැනට වැදගත්. දෙවැනි අර්ධය කතා කළේ ඒ වෙද්දී ආබාධයකට ලක් වූ ලූකස් පැකේටා වෙනුවට එන්ඩ්‍රික්ව පිටියට කැදවමින්.

තරගයේ දෙවැනි අර්ධය වෙද්දී රිදම් එක සම්පූර්ණයෙන් වෙනස් කරගන්නට බ්‍රසීලය සමත් වුණා. තමන් ගෝලයක් පසුපසින් ඇති. ඒත් මේ තරගය දිනන බව තමන්ටමත්, ප්‍රේක්ෂකාගාරයටත් ඒත්තු ගන්වන ලීලාවකට බ්‍රසීලය යොමු වුණා. විටෙක ප්‍රේක්ෂකාගාරය දිරිමත් කරවන්නට දෑත් ඔසවමින් ඔවුන් විනාඩි විස්සක පමණ කාලයක් වේගවත් රිද්මයකින් ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළා.

55 වැනි මිනිත්තුවේදී ගේබ්‍රියෙල් මාගල්හේස් යොමු කරපු පන්දුව හෙඩර් එකකින් ගෝලයට යොමු කළ කැසමීරෝ තමන්ගෙන්ම වුණ වැරැද්ද නිවැරදි කරගත්තා. තමන් අතින් මගහැරී ගිය පන්දුවෙන් අහිමි වූ අවස්ථාව යළි සම කරගත්තා.

එයින් පසු බ්‍රසීලය මාරාන්තික ප්‍රහාර කිහිපයක් එල්ල කළා. විශේෂයෙන්ම 60 වැනි මිනිත්තුවේදී ජපාන ක්‍රීඩක ටොමියාසු මගහරිමින්, විශිෂ්ඨ ලෙස ගෝලය දෙසට බෝලය එල්ල කළා. ඒත්, එය වැදුණේ කණුවේයි.

මාටිනෙල්ලිගේ 96

ජපානයේ ආරක්ෂක රටාව හොද වුණත් ඔවුන් ප්‍රහාරයකට කිසිම ප්‍රමාණත් උත්සාහයක් ගත්තේ නෑ.

ජපානයේ ආරක්ෂක ක්‍රීඩා රටාව ඇනකොන්ඩා ස්ටයිල් එකක විශිෂ්ඨ එකක්. ඒත්, බ්‍රසීලය වගේ කණ්ඩායමකට මේ ආරක්ෂාව විතරක් ප්‍රමාණවත් නෑ. ප්‍රහාරයන් එල්ල කරන්නට උත්සාහ කරන්න තිබුණා.

අනෙක් පැත්තෙත් බ්‍රසීලයේ මැනේජර් කියන්නේ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ සිටි පුහුණුකරුවෙක්. ඔහු රියාල් මැඩ්රිඩ් වෙනුවෙනුත් පාවිච්චි කරපු උපක්‍රමයක් තමයි දක්ෂ ආරක්ෂකයන් සිටින කණ්ඩායම්වලට එරෙහිව ඉවසිලිවන්ත ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් සිට ප්‍රතිවාදියා නොසිතූ මොහොතක විශිෂ්ඨ ප්‍රහාර එල්ල කිරීම. විශේෂයෙන් ප්‍රතිවාදියාගේ අත්වැරදීම්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම. ගෝල් එකට විනාඩියක් ඇති. එතකල් ඔහු ප්‍රතිවාදී ආරක්ෂක වළල්ල වටේට රැකවල් යොදා සිටියා.

අන්තිමට තරගය අතිරේක කාලයට යොමු වෙන මට්ටමක් පේන්න තිබුණා. විනාඩි 90 ඉවර වුණ පසු මිනිත්තු 6ක් තරගයට එකතු කළා. ඒත් 95 වැනි මිනිත්තුවේදී බෘනෝ ගිමාරෙස් යොමු කරපු පන්දුවක් හරියටම ප්ලේස් වී මාටිනෙල්ලි ගෝලයට යොමු කළා. ගෝලය සුන්දරම එකක්. ඒ වගේම බ්‍රසීලයේ ජයග්‍රහණය තහවුරු කළ එකක්.

තරගයට තවත් පොඩි කාලයක් එකතු කොට මිනිත්තු 99 දක්වා ඇදී ගියත්, ජපානයට ඒ හදිසියේ ගෝලයක් නිර්මාණය කරන්නට කිසිදු ඉඩක් තිබුණේ නෑ.

දැන් බ්‍රසීලය 16 වටයට ගියා. බ්‍රසීලය මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම 16 වටය පසු කළේ නෑ. බ්‍රසීලයට මෙවර හමුවන්නේ අයිවරි කෝස්ට් හෝ අර්ලින් හාලන්ඩ්ගේ නෝර්වේ කියන කණ්ඩායම් දෙකෙන් එකක්.

බ්‍රසීලය ක්‍රමානුකූලව විටින්හා සහ නෙයිමාර් නොමැතිව වුව තමන්ගේ 11 දෙනාගේ කණ්ඩායම පෙන්වමින් සිටිනවා. මේ තරගයේදී විනී ජූනියර් ගෝල් වාර්තා නොකළත් බොහෝ දුරට ඔහු තරගයේ රිද්මය පාලනය කළා. ඔහුගේ ස්ථානගතවීම් බැලුවාම ඉතා පැහැදිලිව ඔහු මෙවර තරගයේ රිද්මය පාලනය කරමින් සහායක භූමිකාවක් ඉටු කළා. කුන්යා රිද්මයෙන් දුර්වල වෙද්දීම ඔහුව එළියට ගත්තා. මාටිනෙල්ලි නිසි වෙලාවේ ඇතුළට ආවා.

අනෙක් පැත්තෙන් රායන් ඉතාම හොද පන්දු යොමු කිරීම් කළා.

මේ සියල්ල දෙස බැලූ කළ බ්‍රසීලය මෙවර විශිෂ්ඨම කණ්ඩායමක් විශිෂ්ඨ සැලසුම්කරුවෙකු යටතේ ක්‍රීඩා කරන අවස්ථාවක් විදියට සලකන්න පුලුවන්. ඒ නිසාම ඔවුන් පෙර ලෝක කුසලාන කිහිපයේදී වාගේ ලෙහෙසියෙන් මෙවර අත්හරින එකක් නෑ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading