මෙවර ලෝක කුසලානයේ කණ්ඩායම් වටයේ අවසාන තරග දෙක වූයේ ආජන්ටිනාව සහ ජෝර්දානය අතර තරගයත්, ඇල්ජීරියාව සහ ඔස්ට්‍රියාව අතර තරගයත්ය.
එකම වෙලාවේ ලොව විශාලතම පාපන්දු තරුව වූ ලයනල් මෙසී ක්‍රීඩා කළත් ප්‍රේක්ෂකයන් බහුතරය කතා කළේ අනෙක් තරගය ගැනය. මුළු ලෝකයම බලා සිටියේ ඇල්ජීරියාව සහ ඔස්ට්‍රියාව අතර තරගය ගැනය. එයට දීර්ඝ ඉතිහාස කතාවක් ඇත. මේ තරගයේ ප්‍රතිඵලය මත ඉරානයට ලෝක කුසලානයෙන් එළියට යෑමට සිදු වීම කතාවේ එක් කොටසක් පමණක් විය. ඉරානයේ ඉරණමටත් එහා ගොස් ඇල්ජීරියාවට මේ තරගයේදී කියන්නට කතාවක් තිබුණි. දෙන්නට පිළිතුරක් තිබුණි.
කතාව වසර 44ක් පැරණි එකකි.
සමහරවිට මෙවර ඇල්ජීරියාව සිතාමතා නොවුණත්, ලෝක පාපන්දු ඉතිහාසයේ දැවැන්තම දෛවයේ සරදමට සහභාගී වූවා විය හැක. කර්මය විසින් ඔවුන්ට කැන්සාස්හිදී පුදුම මොහොතක් ළගා කර දී තිබුණි.
දේශපාලනික අර්බුද, යුදමය තත්වයන්, ක්‍රීඩාවේ ජීවගුණය සහ කුමන්ත්‍රණ න්‍යායන්ගෙන් පිරුණු මෙම සංකීර්ණ කතාන්දරය පිළිවෙලට කිව යුතුය.
කයිය ගසා පැරදුණු ජර්මනිය
මෙම කතාවේ මූලාරම්භය 1982 ස්පාඤ්ඤයේ පැවති ලෝක කුසලානය දක්වා දිව යයි. එවර තරගාවලියේදී ලෝක කුසලානයට ආධුනිකයන් වූ ඇල්ජීරියාවට මුණගැසුණේ එවකට යුරෝපීය ශූරයන් වූ ප්‍රබල බටහිර ජර්මනියයි.
ඔය කාලයේ අප්‍රිකානු රටවලට ලෝක කුසලානය සදහා තිබුණේ අවස්ථා දෙකකි. එක් අවස්ථාවක් ලබා ගැනීම පුදුමාකාර අසීරුවක් විය. එවකට ප්‍රබල නයිජීරියාවත් පරදමින් ඇල්ජීරියාව ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තේ රටේ ජනතාවට ලෝකය වෙත කියන්නට ලොකු පණිවිඩයක් තිබුණු කාලයකය.
එහෙත්, අප්‍රිකානු රටවල් අද වාගේ නොව, එදා දැඩිව අවතක්සේරු කෙරුණි.
තරගයට පෙර ජර්මානු කඳවුරේ පැවතියේ දැඩි අධිමානයකි. ජර්මානු පුහුණුකරු ජුප් ඩර්වෝල් තරගයට පෙර ප්‍රකාශ කර තිබුණේ ඇල්ජීරියාවට පැරදුණහොත් තමා ඊළඟ කෝච්චියෙන්ම ගෙදර යන බවයි. තවත් සමහර ජර්මානු ක්‍රීඩකයින් පවසා තිබුණේ ඔවුන් ලබාගන්නා හත්වැනි ගෝලය තම බිරින්දෑවරුන්ටත්, අටවැනි ගෝලය තම සුරතල් බල්ලන්ටත් උපහාර ලෙස පුදන බවයි. තරගයට කලින් ප්‍රතිවාදීන්ගේ වීඩියෝ දර්ශන නැරඹීම පවා ඔවුහු ප්‍රතික්ෂේප කළහ.
එහෙත් ක්‍රීඩාපිටිය තුළ සිදුවූයේ කිසිවෙකු නොසිතූ දෙයකි. ජර්මානු ප්රහාරයන් සාර්ථකව මැඩපැවැත්වූ ඇල්ජීරියාව, තරගයේ 54 වැනි මිනිත්තුවේදී රබා මාජර් මගින් ඓතිහාසික ගෝලයක් ලබා ගත්තේය. ජර්මානු නායක කාල්-හයින්ස් රුමෙනිගේ 67 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් තරගය සම කළද, ඊට මිනිත්තුවකට පසු ඇල්ජීරියාවේ ලක්දාර් බෙලූමි තවත් ගෝලයක් ලබා ගනිමින් ඇල්ජීරියාවට 2-1 ක ඓතිහාසික ජයග්‍රහණයක් හිමි කර දුන්නේය. අප්‍රිකානු හෝ අරාබි රටක් ලෝක කුසලානයකදී යුරෝපීය ශූරයන් පරාජය කළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත විය.
කෝර්ඩෝබා සිට හිහොන් ආ කතාව
ඇල්ජීරියාව ජර්මනිය පරාජය කළත්, ඔස්ට්‍රියාව ඇල්ජීරියාවට එරෙහි තරගය ජයගැනීමට සමත් විය. කතාව ඇත්තේ ඔස්ට්‍රියාව සහ ඇල්ජීරියාව අතර තරගයේ නොවේ. ජර්මනියත් පරාජය කළ ඇල්ජීරියාව ගැන කල් තියා අධ්‍යනය කොට පැමිණි ඔස්ට්‍රියාව විසින් ඇල්ජීරියානු අභියෝගය ජය ගත් නමුත්, කතාව තිබුණේ ඔස්ට්‍රියාව සහ ජර්මනිය අතර තරගයේය.
ඇල්ජීරියාවේ ලෝක කුසලාන ඉදිරි ගමන තීරණය වූයේ බටහිර ජර්මනිය සහ ඔස්ට්‍රියාව අතර පැවති අවසන් කාණ්ඩ තරගයෙනි.
මෙම රටවල් දෙක අතර තරගය තේරුම් ගැනීමට 1978 ලෝක කුසලානයටත් මොහොතකට යා යුතුය. 1978 ආර්ජන්ටිනාවේ කෝර්ඩෝබා නුවරදී මෙම රටවල් දෙක මුණගැසෙන විට ඔස්ට්‍රියාව තරගාවලියෙන් ඉවත්වී සිටි අතර ජර්මනියට ජයග්‍රහණය අත්‍යවශ්‍ය විය. එහෙත් තම අසල්වැසියාට කිසිදු අනුකම්පාවක් නොපෙන්වූ ඔස්ට්‍රියාව, එදා ජර්මනිය 3-2 ක් ලෙස පරාජය කළේය. එය ඔස්ට්‍රියානුවන්ට ‘කෝර්ඩෝබාහි හාස්කම’ ලෙස හැදින් වූ අතර ජර්මානුවන්ට විශාල අවමානයක් විය.
ජර්මනිය 1982 ලෝක කුසලානයේදී ස්පාඤ්ඤයේ හිහොන් නුවර පැවති ඔස්ට්‍රියානු තරගයට ආවේ ඒ පසුබිම් කතාවත් එක්කය.
ඒ වන විට ඇල්ජීරියාව සියලු තරග අවසන් කර කාණ්ඩයේ පෙරමුණේ සිටියේය. ජර්මනිය ඔස්ට්‍රියාව ගෝල 1කින් හෝ 2කින් පරාජය කළහොත්, කණ්ඩායම් දෙකම ඊළඟ වටයට යන බවත් ඇල්ජීරියාව ඉවතට විසිවන බවත් ඔවුන් හොඳින් දැන සිටියහ. ජර්මනිය ගෝල් 2ක් ගතහොත් ඔස්ට්‍රියාව සහ ඇල්ජීරියාව අතර සුදුස්සා තෝරන තරගයක් පැවැත්වීමට නියමිත විය. ගෝල් තුනට වඩා ගතහොත් ඔස්ට්‍රියාව කැපී ඇල්ජීරියාව සුදුසුකම් ලැබීමට නියමිත විය.
තරගය ආරම්භ වී 10 වැනි මිනිත්තුවේදී ජර්මනියේ හෝස්ට් රුබෙෂ් ගෝලයක් ලබා ගත්තේය. පැහැදිලිවම ජර්මනිය තව ගෝල කිහිපයක් ලැබීමට හැකියාවත් තිබුණි.

එහෙත් තරගයේ ඉතිරි මිනිත්තු 80ම කණ්ඩායම් දෙකම කළේ කිසිදු තරගකාරීත්වයකින් තොරව පන්දුව හුවමාරු කරගැනීම පමණි. කිසිදු කණ්ඩායමක් ගෝලයක් ලබාගැනීමට කිසිදු උත්සාහයක් ගත්තේ නැත. රටවල් දෙකම 1982 දී ඇල්ජීරියාව පාවා දෙමින් ගොඩනගා ගත් මෙම නිහඬ එකඟතාවය ‘හිහොන් ඛේදවාචකය’ ලෙස පාපන්දු ඉතිහාසයේ කළු පැල්ලමක් බවට පත් විය. ඇතැම් මාධ්‍ය එදා මේ තරගය ගැන සිය පුවත්පතේ ‘අපරාධ පිටුවේ‘ වාර්තා පළ කර තිබුණි.


ෆිෆා නීති වෙනස
මෙම ඛේදවාචකයෙන් පසු, තරග පාවාදීම් වැළැක්වීම සඳහා ෆිෆා සංවිධානය 1986 සිට සෑම ලෝක කුසලානයකදීම කාණ්ඩයක අවසන් තරග දෙක එකම වේලාවක පැවැත්වීමට නීති සම්පාදනය කළේය.
එහෙත් 2026 ලෝක කුසලානයේදී කණ්ඩායම් 48ක් දක්වා තරගාවලිය පුළුල් වීමත් සමඟ මෙම නීතියේ විශාල සිදුරක් නිර්මාණය විය. කාණ්ඩයේ පළමු සහ දෙවන ස්ථානවලට අමතරව, හොඳම තුන්වැනි ස්ථාන ලබන කණ්ඩායම් 8 ද ඊළඟ වටයට සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය මීට හේතු විය.
දෛවයේ සරදමක් මෙන් ඇල්ජීරියාවට සහ ඔස්ට්‍රියාවට තවත් රටක ඉරණම තීරණය කරන විදියේ තරගයකට මුහුණදීමට සිදු විය.
මේ හේතුවෙන්, 2026 තරගාවලියේ J කාණ්ඩයේ අවසන් තරගයට ඇල්ජීරියාව සහ ඔස්ට්‍රියාව මුහුණ දෙන විට, අනෙකුත් සියලුම කාණ්ඩවල තරග අවසන් වී තිබුණි. ඒ වන විටත් G කාණ්ඩයෙන් තුන්වැනි ස්ථානයේ පසුවූ ඉරානයට ඊළඟ වටයට යෑමට නම් ඇල්ජීරියානු – ඔස්ට්‍රියා තරගයෙන් කවර හෝ කණ්ඩායමක් ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය විය. එහෙත් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වුවහොත්, ඇල්ජීරියාව සහ ඔස්ට්‍රියාව යන දෙගොල්ලන්ටම ඊළඟ වටයට යා හැකි බවත් ඉරානය ඉවතට විසිවන බවත් තරගයට පෙර සිටම තහවුරු වී තිබුණි. නීති වෙනස් කළද, 1982 තත්වය යළිත් වෙනත් මුහුණුවරකින් නිර්මාණය වී තිබුණේ ඉරානයේ ඉරණම වෙනත් කණ්ඩායම් දෙකක අතට පත් කරමිනි.
ඉරානය පව්!
ඉරානය මෙම ලෝක කුසලානයට සහභාගී වූයේ හුදෙක් ක්‍රීඩා කණ්ඩායමක් ලෙස පමණක් නොවේ. ඔවුන් ක්‍රීඩා කළේ දැවැන්ත භූ දේශපාලනික අර්බුදයක් සහ යුදමය තත්වයක් මධ්‍යයේය. 2026 පෙබරවාරි මස අගභාගයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුදමය ප්‍රහාර ආරම්භ කළ අතර, ඉරානය ද ඊට ප්‍රතිචාර දක්වමින් හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සියතට ගැනීමට උත්සාහ කළේය. මෙවැනි වාතාවරණයක් තුළ සත්කාරක ඇමෙරිකාව තුළ ක්‍රීඩා කිරීම ඉරාන කණ්ඩායමට අතිශය දුෂ්කර කාර්යයක් විය.
ඇමෙරිකාව විසින් පනවන ලද දැඩි සංචාරක සීමා හේතුවෙන් ඉරානයට තම කඳවුර මෙක්සිකෝවේ ටියුවානා (Tijuana) නගරයට ගෙන යාමට සිදුවිය. සහායක කාර්ය මණ්ඩලයට වීසා ප්‍රතික්ෂේප වීම, තරගයට පෙර දින පමණක් ගමන් කිරීමට අවසර ලැබීම සහ තරගය අවසන් වූ වහාම යළි මෙක්සිකෝවට පිටත්ව යාමට සිදුවීම වැනි පීඩාකාරී තත්වයන් රැසකට ඔවුන් මුහුණ දුන්හ.
ඉරාන පුහුණුකරු අමීර් ගැලෙනෝයි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ සත්කාරක රට තමන්ට සැලකුවේ දරුණුතම ආකාරයෙන් බවත්, තම ක්‍රීඩකයන් මෙම පීඩනය මැද දැක්වූ දක්ෂතා ඉතිහාසගත විය යුතු බවත්ය.
කැන්සාස් කරුමය
මෙවන් සංකීර්ණ පසුබිමක් තුළ ඇල්ජීරියාව සහ ඔස්ට්‍රියාව කැන්සාස් සිටිහිදී එකිනෙකා මුණගැසුණි. මෙය කර්මය විසින් දශක හතරකට පසු කළ මුණගැස්වීමකි.
බොහෝ දෙනා බිය වූ පරිදි 1982 දී මෙන් කම්මැලි සමවීමක් වෙනුවට, කණ්ඩායම් දෙකම දැඩි සටන්කාමී ක්‍රීඩා රටාවක නිරත විය. ඔස්ට්‍රියාවේ මාකෝ අර්නවුටොවික් සහ මාසෙල් සැබිට්සර් ගෝල වාර්තා කරන විට, ඇල්ජීරියාවේ රෆීක් බෙල්ගාලි සහ රියාඩ් මාහ්රෙස් ගෝල වාර්තා කරමින් තරගය 2-2 ක් ලෙස සම තත්වයේ පවත්වා ගත්හ.
තරගයේ උච්චතම අවස්ථාව වාර්තා වූයේ අතිරේක කාලයේදීය. 90+4 වන මිනිත්තුවේදී ඇල්ජීරියානු නායක රියාඩ් මාහ්රෙස් ඓතිහාසික ගෝලයක් ලබා ගනිමින් ඇල්ජීරියාව 3-2ක් ලෙස පෙරමුණට ගෙන ආවේය. එම තත්පරයේදී ඉරානය ඊළඟ වටයට යාමේ බලාපොරොත්තු දැල්වුණි.
එහෙත් තවත් තත්පර කිහිපයක් යාමටත් මත්තෙන් 90+5 මිනිත්තුවේදී ඔස්ට්‍රියාවේ සාසා කලාජ්සික් (Sasa Kalajdzic) තීරණාත්මක ගෝලයක් ලබා ගනිමින් තරගය 3-3ක් ලෙස අවසන් කළේය. ඒ සමඟම ඉරානයේ ලෝක කුසලාන සිහිනය සදහටම බොඳ වී ගියේය.
කුමන්ත්‍රණ න්‍යාය
මෙම අතිශය නාට්‍යමය අවසානයත් සමඟ ‘Reddit’ වැනි සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි ආන්දෝලනයක් හටගත්තේය. ඇතැම් පාපන්දු රසිකයන් චෝදනා කළේ මෙම තරගය පෙර සැලසුම් කළ තිර පිටපතකට අනුව ක්‍රියාත්මක වූවක් බවයි. එක් කණ්ඩායමක් ගෝලයක් ගැසූ වහාම අනෙක් කණ්ඩායමට ගෝලයක් ගැසීමට ඉඩ ලබා දීමේ සූක්ෂ්ම පාවාදීමක් මෙහි ක්‍රියාත්මක වූ බවට ඔවුහු සැක පළ කළහ. විස්තර විචාරකයන් පවා තරගය සමවීමක් දෙසට යොමු කිරීමට උත්සාහ කළ බවටත්, ඇමෙරිකාවට සහ ෆිෆා සංවිධානයට ඉරානය තරගාවලියෙන් ඉවත් කිරීමේ දේශපාලනික වුවමනාවක් තිබූ බවටත් දැඩි චෝදනා එල්ල විය.
එහෙත් බහුතරයක් පාපන්දු ප්‍රේක්ෂකයින් මෙම කුමන්ත්‍රණ න්‍යාය තරයේ ප්‍රතික්ෂේප කළහ. ඔවුන් පෙන්වා දුන්නේ තත්පර 30ක් වැනි සුළු කාලයක් ඉතිරිව තිබියදී ගෝලයක් ලබා ගැනීමට ප්‍රතිවාදීන්ට ඉඩ දීම කිසිදු කණ්ඩායමක් නොකරන අතිශය අවදානම් සහගත ක්‍රියාවක් බවයි. එකම එක අතපසුවීමකින් ඔස්ට්‍රියාව ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමට ඉඩ තිබූ පසුබිමක එවැනි අවදානමක් ගනු ඇතැයි සිතිය නොහැක. ඇල්ජීරියාව යනු මීට පෙරද තරග වල අවසන් තත්පර වලදී අවධානය ගිලිහී ගොස් තරග පරාජය වූ ඉතිහාසයක් ඇති කණ්ඩායමක් බවද රසිකයෝ පෙන්වා දුන්හ.
අවසානයේදී, 1982 දී තමන්ට අත් වූ අසාධාරණයට ඔස්ට්‍රියාවෙන් පළිගැනීම වෙනුවට, අහම්බෙන් හෝ සිදු වූයේ ඇල්ජීරියාවට ද එදා තමන්ට අත් වූ ඉරණමම ඉරානයට උරුම කර දීමට දායක වීමට සිදුවීමයි. 2026 කැන්සාස් සිටිහිදී අප දුටුවේ කුමන්ත්‍රණයක් නොව, ක්‍රීඩාවේ පවතින අතිශය අවිනිශ්චිතභාවයයි. ක්‍රීඩාව විසින් කෙතරම් තීරණාත්මක අවස්ථා නිර්මාණය කරනවාද යන්න මේ තරගයේදී ඔප්පු විය.
1982 දී ඇල්ජීරියාව පළමු වටයෙන්ම ගෙදර ගිය නමුත් ඔවුන් ගෙදර ගියේ හිස කෙළින් තබාගෙනය. පරාජිතව නොවේ. ඉරානය මෙවර ගෙදර යන්නේද තමන් සහභාගී වූ තරග තුනම පරාජයට පත් නොවී සිටීමෙන් තමන්ගේම අභිමානයක් සමගය.
