පාපන්දු කියන්නේ අග්‍රගණ්‍ය කලාවක්. ලෝක කුසලාන මට්ටමේ ජයග්‍රාහී පාපන්දු තරගයක් යනු පුදුමාකාර නිර්මාණශීලීත්වයක් වගේම ඉංජිනේරුමය මනුෂ්‍ය බුද්ධි මහිමයක් මත ගොඩනැගෙන්නක්. මෙසී පාපන්දු තරගයක් රසවත් සහ ආකර්ෂණීය එකක් බවට පත් කිරීමට පැහැදිලි හැකියාවක් තිබෙන මහා පාපන්දු බුද්ධිමතා.
ඔහු මිනිසෙක් නෙවෙයි! දෙවියෙක්. තවත් එක් දෙවියෙක් නෙවෙයි. ඔහු තමයි සර්වබලධාරී දෙවියා.

ඔහු තමයි ශ්‍රේෂ්ඨතමයන් අතර ශ්‍රේෂ්ඨතමයා. ඔහු තමයි ලෝක පාපන්දු ඉතිහාසයේ දැවැන්තම පාපන්දු පෞරුෂය. ඔහු තරම් කෙනෙක් නැහැ.
ඔහු 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රියාවට එරෙහිව ඩලස් ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තරගයේදී නැවතත් ඔය ටික ඔප්පු කළා. නිල් සහ සුදු වර්ණයෙන් පිරීගිය ඩලස් ක්‍රීඩාංගණය තුළ මෙසීට තවදුරටත් ඔප්පු කරන්නට දෙයක් ඉතිරි වී නැතත්, බොහෝ දේවල් ඔප්පු කළා.
තරගයේ 10 වැනි මිනිත්තුවේදී ලයනල් මෙසීට ලැබුණු පෙනල්ටි අවස්ථාව ඉලක්කයෙන් බැහැරට යන විට මුළු ක්‍රීඩාංගණයම මොහොතකට නිශ්ශබ්ද වුණා.
මෙහෙම වැරදුණොත් ඕනෑම කෙනෙක් දැඩිව මානසිකව බිද වැටෙන්නට ඉඩ තිබෙනවා. විශේෂයෙන් ප්‍රේක්ෂකාගාරය සමාව දෙන්නේ නැහැ. එහෙත්, මෙසීට වැරදුණාට කටක් ඇර වචනයක් කියන්නේ කවුද? මුළු ආජන්ටිනා ප්‍රේක්ෂකාගාරයම මෙසී ගැන විශ්වාසයෙන් බලා සිටියා.
ශ්‍රේෂ්ඨතමයාගේ හිතේ යටි කෙළවරක පොඩි නොරුස්නා හැගීමක් ජනිත වෙන්නට ඇති. ඒත්, කොහෙත්ම ඔහු පීඩාවට ලක් නොවෙන්නට ඇති. පෙනල්ටිය වැරදුණාම ඔලුව පොඩ්ඩක් කැසුවේ ඒ නිසා වෙන්න ඇති.
අතපසුවීමෙන් දශමයක්වත් නොසැලුණු මෙසී, තමන්ගේ සුපුරුදු බුද්ධිමත් සහ නිර්මාණශීලී ක්‍රීඩා විලාසයෙන් තරගය පාලනය කිරීමට පටන් ගත්තා.

ඔස්ට්‍රියානු ආරක්ෂක පෙළ සහ ඩේවිඩ් අලබා වැනි ප්‍රබල ක්‍රීඩකයන් මෙසීව සීමා කිරීමට උපරිම වෙහෙසක් ගත්තා. ඒත් 38 වැනි මිනිත්තුවේදී තියාගෝ අල්මාඩාගේ දක්ෂ පන්දු හුවමාරුවකින් පසු, ඔස්ට්‍රියානු ආරක්ෂකයන් වටකර සිටි අසීරු කලාපයක සිට මෙසී ඉතා සියුම් ලෙස පන්දුව දැල වෙත යොමු කළා. ඒ සමඟම ඔහු මිරොස්ලාව් ක්ලෝස්ගේ වාර්තාව (ගෝල 16) බිඳ හෙළමින් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා බවට පත්වුණා. ඔහු ගෝල 17ක් ලබා ගත්තා. මතක තියාගන්න ඕනෑ, මෙසීට මේ වාර්තාව තැබීමට මේ ලෝක කුසලානයට සහභාගී වීමටවත් හරි නම් ඉඩක් තිබුණේ නෑ. හෙට මෙසීගේ 39 වැනි උපන්දිනය.
ඔහු ඉන්නේ වර්ල්ඩ්කප් ගහන වයසක නෙවෙයි. ගැහුවත් මේ මට්ටමෙන් වැඩ පෙන්වන වයසක නෙවෙයි.

ඒත් ඔහු අදත් තණතිල්ලට බහින්නේ ක්‍රීඩාවට ඇති අසීමිත ආදරයක් එක්ක. ඔහු යෙදෙන්නේ ඓතිහාසික රංගනයක. ඔහු ඉන්නේ විශ්‍රාම යන්න ඕනෑ වයසක. ඔහු මේ කරමින් සිටින්නේ ඔහුට පමණක් කළ හැකි දෙයක්.
මේ ලෝක කුසලානය තුළ මේ මිනිසා පෙන්වමින් සිටින්නේ, තමන්ගේ අසදෘශ්‍ය තාරකා ගුණය.
තරගයේ අතිරේක කාලයේදී ඔස්ට්‍රියානු ක්‍රීඩකයන් රැසක් ගෝල සීමාව අවහිර කරමින් සිටියදී පවා, ඔවුන් අතරින් පන්දුව දැල තුළට රිංගවීමට මෙසී සමත් වුණා. මේ ගෝලය ගැන ගොඩක් අය කතා කරන්නේ ක්‍රීඩකයන් පස්දෙනෙක් පසු කරමින් ගෝලය ලබාගත් නිසයි.
මෙසී ගෝල් එක වට කර පෙනල්ටි සීමාවේ හමුදාවක් හිටියත් ගෝල් එකට පාර හොයාගන්නට සමත්.
මෙසීගේ සුවිශේෂී වාර්තාව: මෙම ගෝල ද්විත්වයත් සමඟ මෙසී සිය ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව 18 දක්වා ඉහළ නංවා ගත්තා.

තරගය අවසානයේ ආර්ජන්ටිනාව 2-0ක් ලෙස ජයග්‍රහණය කරමින් පසුපෙළ වටයට සුදුසුකම් ලබන විට, මුළු ක්‍රීඩාංගණයම එකම හඬින් මෙසී වෙනුවෙන් ජයඝෝෂා පැවැත්වුවා.
බොහෝ දෙනෙකු නිතිපතා සිහිපත් කරන්නේ මේ ලෝක කුසලානය ඉවර වෙද්දී ම්බාප්පේ මෙසීගේ වාර්තාව පසු කර යනු ඇති බව. ඒත් ම්බාප්පේ සහ මෙසී වෙනස්. ඔවුන් ක්‍රීඩා කළ කන්ඩායම් වෙනස්. ස්ථාන වෙනස්. ඔවුන් වටා සහායට සිටි ක්‍රීඩකයන් වෙනස්. යුගයන් වෙනස්. ඒ වගේම මෙසී මේ ක්‍රීඩා කරන්නේ සාමාන්‍ය විශ්‍රාම වයස ඉක්මවූ ක්‍රීඩකයෙක් විදියට. ඒ නිසා වැදගත් වෙන්නේ ම්බාප්පේ අන්තිමේදී මෙසීව පසු කර යනවාද කියන එක නෙවෙයි.
ම්බාප්පේට මේ ලෝක කුසලානයේ හදිසියේවත් බැරි වුණොත් ඊළග ලෝක කුසලානයේදී එය කරාවි. ඒත් මෙසී ශ්‍රේෂ්ඨතමයා බව එයින් වෙනස් වෙන්නේ නෑ.
