රජයෙන් වැඩිපුරම හිගාකන ඇගලුම් හිමියන් ආයෙත් අනුර හමුවෙයි! ගොඩක් සහන ඉල්ලයි! මාසෙකට වතාවක් හමුවෙන්නත් ඕනෙ කියයි!

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගලා ඒම ශක්තිමත් කිරීම සහ අපනයන වර්ධනය හරහා ආර්ථික ප්‍රකෘතිය වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් අතර විශේෂ සාකච්ඡාවක් ජුනි 22 වැනිදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත පරිදි වේ:

“ඩොලර් ආදායම ඉහළ නංවන අපනයන ආර්ථිකයක් වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලු වලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් සමඟ සාකච්ඡාවකට අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි. ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව අපනයන සැලැස්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සහ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමෙන් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත්, ඒ වෙනුවෙන් එක්වන ලෙසත් ආයෝජකයින්ට ආරාධනා කළෙමි.

වැට් (VAT) බදු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කරමින්, එහිදී ලබා දිය හැකි වෙනත් සහන පිළිබඳ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ව්‍යාපාරිකයන්ට දැනුම් දුන්නෙමි. වෙළෙඳපොළ අවස්ථා ඉහළ නංවාගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කර ගැනීම සහ කෝටා ප්‍රමාණයන් ඉහළ නංවාගැනීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කළෙමි. අයථා ලෙස උපයන ධනය මෙරටින් පිටතට ගලා යාම වැළැක්වීම සඳහා නීතිමය සහ තාක්ෂණික ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන්නෙමි.”

මෙම ඉහළ පෙළේ සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධානයට ලක් වූ විශේෂ කරුණු පහත පරිදි වේ:

සාර්ව ආර්ථික ස්ථායිතාව

සාර්ව ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා ඩොලර් උත්පාදනය කරන කර්මාන්ත ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. රුපියල් වලින් සිදුකරන ආයෝජන ඉහළ ගොස් ඇතත්, බාහිර අංශයේ පීඩනය අවම කිරීම සඳහා විදේශ විනිමය ඉපැයීම් පුළුල් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. රුපියල් වියදම් පාලනය කරමින් අපනයන ආදායම් ඉහළ නැංවීම හරහා ආර්ථික ප්‍රකෘතිය තිරසාරව පවත්වා ගත හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ග්‍රාමීය කර්මාන්ත ව්‍යාප්ති

ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවලින් පිටත රැකියා අවස්ථා නිර්මාණය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමේ රජයේ යෝජනාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. මේ සඳහා, ව්‍යාපාර ආරම්භක පිරිවැය අඩු කරමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා ආයෝජකයින්ට කඩිනමින් ව්‍යාපාර ආරම්භ කළ හැකි පරිදි ඉදිකළ කර්මාන්තශාලා පරිශ්‍ර සහ යටිතල පහසුකම් සපයන “Plug and Play” (සවි කර-ක්‍රියාත්මක කිරීමේ) ආයෝජන ආකෘතියක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමු වී තිබේ.

ඉඩම් ගැටලු

ආයෝජකයන් මුහුණ දෙන ඉඩම් සම්බන්ධ ගැටලු සාකච්ඡාවට ලක් වූ අතර, ඉඩම් වත්කම්වල වටිනාකම සුරක්ෂිත කිරීමට සහ ප්‍රතිපත්තිමය අනුකූලතාවක් සහතික කිරීමට රජය පියවර ගන්නා බවට ජනාධිපතිවරයා සහතික විය. දීර්ඝ කාලීන ගැටලු විසඳීම අරමුණු කරගත් නීති ප්‍රතිසංස්කරණ මේ වන විටත් සකස් කරමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.

වැට් සහන

පවතින වැට් බදු රාමුව හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් මුහුණ දෙන දුෂ්කරතා හඳුනාගත් ජනාධිපතිවරයා, රජයේ මූල්‍ය අරමුණුවලට හානියක් නොවන පරිදි දේශීය සැපයුම්කරුවන්ට සහාය විය හැකි විකල්ප සහන ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස කර්මාන්ත නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීමේ පියවරක් ලෙස, වෙළඳාම සඳහා වන ජාතික තනි කවුළුව ජූලි මස අවසන් වන විටත්, ආයෝජන සඳහා වන ජාතික තනි කවුළුව මේ වසර අවසන් වීමට පෙරත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව නිලධාරීහු මෙහිදී දැනුම් දුන්හ. එමගින් වෙළඳාමට අදාළ ක්‍රියා පටිපාටි විධිමත් කිරීම සහ පරිපාලනමය බාධක අවම කිරීම අපේක්ෂා කෙරේ.

දූෂණ මර්දනය

නීතිවිරෝධී ලෙස උපයාගත් ධනය විදේශයන්ට මාරු කිරීම වැළැක්වීම සඳහා නීතිමය සහ තාක්ෂණික යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට අමතරව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට සිවිල් නිදහස සුරකිමින් සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා නව නීති හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

මාසෙකට වතාවක් හමුවෙන්න ඉල්ලයි

ජනාධිපතිවරයා සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට ලැබුණු මෙම අවස්ථාව ඇගයීමට ලක් කළ කර්මාන්ත නියෝජිතයෝ, මෙහෙයුම් ගැටලු සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව අදාළ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීම සඳහා මාසික සංසදයක් (Monthly Forum) ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටියහ. ඊට ධනාත්මකව ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා, ඒ සඳහා නිත්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආනයන හා අපනයන පාලක ජනරාල් උපුල්මාලි ප්‍රේමතිලක, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්ම මහත්මීන් ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව ඇතුළු අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් සහ ආයෝජකයින් රැසක් ද එක්ව සිටියහ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading