ම්බාප්පෙ 18දී ආපු හපනා! ම්බායේ තාම 18ක හපනා! ප්‍රංශය 3 – සෙනගල් 1 තරගයේ කතාව!

2026 ලෝක කුසලානයේ I කාණ්ඩයේ සමාරම්භක තරගය මුලින් මන්දගාමී වූ, අවසාන මිනිත්තුව ළං වෙන තරමට උණුසුම වැඩි වූ තරගයක් වුණා.

මුළු තරගය පුරාම මන්දගාමී ස්වභාවයක් ගත් මෙම ගැටුම, අතිරේක කාලයේදී සිතාගත නොහැකි වේගවත් සහ උද්යෝගිමත් මුහුණුවරක් ගනිමින් අවසන් වූයේ 3-1 ක් ලෙස ප්‍රංශයට සුවිශේෂී ජයක් හිමිකර දෙමින්. මිනිත්තු 90 අවසන් වූ පසු තරගයේ අවසානයට ලබා දුන් මිනිත්තු 8ක අතිරේක කාලයේදී ගෝල දෙකක් මෙන්ම ගෝලයකට ආසන්නම තත්වයක් ළගා කර දුන් උණුසුම් තරගයක් බවට පත් වුණා.

තරගයේ පළමු අර්ධය පුරාම ප්‍රංශ කණ්ඩායම ඉතාමත් අලස සහ මන්දගාමී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළා. එහි උපරිම ප්‍රයෝජන ගත් සෙනගාලය ප්‍රංශයට දැඩි පීඩනයක් එල්ල කළා. නිකලස් ජැක්සන්ගේ ප්‍රහාරයක් ගෝල කණුවේ වැදී විසි වීමත්, ඉස්මයිලා සාර් හිස් ගෝල කඩ ඉම අසල තිබූ අවස්ථාවක් අහසට මුදා හැරීමත් නිසා පළමු අර්ධය ගෝල රහිතව නිමා වුණා.

ඇත්තටම සාර් ඒ ගෝලය ලබා ගත්තා නම් කතාන්දරය සම්පූර්ණයෙන් වෙනස් වෙන්නට තිබුණා. ඒ නිසා ඔහු මියැදෙනතුරු ඔහුට මගහැරුණු ලෙහෙසි ගෝලයේ කතාව හීනෙන් ඇවිත් හොල්මන් කරනු ඇති.

බොහෝ දෙනෙකු කතා කළේ ප්‍රංශ පුහුණුකරු ඩෙෂැම්ප්ස්ගේ ආරක්ෂාකාරී උපක්‍රම ප්‍රංශ කණ්ඩායමේ සංයුතිය එක්ක නොගැලපෙන බවයි. විශිෂ්ඨ ප්‍රහාරකයන් කිහිපදෙනෙකු සිටි කණ්ඩායමක්, ප්‍රහාරයක් සදහා ප්‍රමාණවත් උත්සාහයක් නොගැනීම ක්‍රීඩකයන්ගේ නොහැකියාවකට වඩා සැලසුම්වල අවුලක් ලෙස පෙනුණා.

දෙවැනි අර්ධයේදී සැලසුම් වෙනස් වූ බව පෙනුණා. මයිකල් ඔලිසේ පිටිය මැද පාලනය තමන් සතු කරගත්තා.

ඔලිසේගේ සහයෝගයෙන් 66 වැනි මිනිත්තුවේදී ප්‍රංශ නායක කිලියන් එම්බාපේ පළමු ගෝලය වාර්තා කරමින් ප්‍රංශයට 1-0 ක පෙරමුණක් ලබා දුන්නා. ඉන්පසු 82 වැනි මිනිත්තුවේදී අතිරේක (80 මිනිත්තුවේදී පිටියට ආ) ක්‍රීඩක බ්‍රැඩ්ලි බාර්කෝලා (Bradley Barcola) ඉතාමත් සූක්ෂ්ම ගෝලයකින් ප්‍රංශය 2-0 ක් ලෙස ඉදිරියට ගෙන ගියා.අ

තරගයේ නියමිත කාලය අවසන් වී විනිසුරු විසින් අතිරේක කාලය ලෙස මිනිත්තු 8 ක් ලබා දෙන විට තරගය දෙකට බිංදුවක් ලෙස ප්‍රංශයේ ජයෙන් අවසන් වනු ඇතැයි බොහෝ දෙනා සිතුවා. නමුත් තරගය උඩුයටිකුරු වූයේ 90+6 වැනි මිනිත්තුවේදියි.

සෙනගල් කණ්ඩායම වෙනුවෙන්‍ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි 18 හැවිරිදි ඉබ්‍රාහිම් එම්බායේ එතරම් ලේසියෙන් ප්‍රංශයට යන්න දුන්නේ නෑ.

ප්‍රංශයේ සුපිරි පීඑස්ජී සමාජයට ක්‍රීඩා කරන මෙම නව යොවුන් ප්‍රහාරක මැදපෙළ ක්‍රීඩකයා, ප්‍රංශ ආරක්ෂකයින් මවිත කරමින් පන්දුව ඉතා අලංකාර ලෙස පාලනය කර දැල තුළටම එල්ල කළේ සෙනගල් බලාපොරොත්තු දල්වමින්!

කිලියන් ම්බාප්පේ කියන්නේ වයස අවුරුදු 18 දී ප්‍රංශයට ලෝක කුසලානය ගෙනත් දුන් කණ්ඩායමෙන් බිහි වූ වීරයායි. ඉතින්, එම්බායේට කිලියන් ම්බාප්පේ උත්තරයක් දෙන්න හිතන්න ඇති.

එම්බායේගේ ගෝලයේ සතුට සමරන්නත් මත්තෙන් වහාම කිලියන් ම්බාප්පේ දෙවැනි ගෝලය වාර්තා කළා.

දඬුවම් කලාපයෙන් බොහෝ ඈත සිට එම්බාපේ එල්ල කළ එම දරුණු ප්‍රහාරය, සෙනගල් ගෝල රකින ක්‍රීඩක මෙන්ඩි උපරිම ශක්තියෙන් පැන වැළැක්වීමට උත්සාහ කළද පන්දුව ගෝල රාමුවේ ඉහළ වම් කෙළවරේ දැඩිව වැදී දැල තුළ සිර වුණා!

මේ තරගයේදී කිලියන් එම්බාපේ ඔලිවියර් ජිරූඩ් (Olivier Giroud) පසුකර යමින් ප්‍රංශ පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා (France’s top all-time goalscorer) බවට නිල වශයෙන් පත් වුණා! එසේම ලෝක කුසලාන ඉතිහාසයේ ඔහුගේ ගෝල සංඛ්‍යාව 14 දක්වා ඉහළ නංවා ගත්තා. තව ගෝල් එකක් ගැහුවොත් ඔහු ලොව පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි වැඩිම ගෝල ලාභියා වන රොනාල්ඩෝව සමාන කරනවා. (ගෝල් 15) එනික්බිති තව ගෝලයක් ගැහුවාම ඔහු මිරැස්ලොව් ක්ලොසෙගේ පාපන්දු ලෝක කුසලානවල වැඩිම ගෝල් සංඛ්‍යාවට හිමි වාර්තාව සමාන කරනවා. මේ පාර ගෝල් 17 දක්වා ගියොත් ඔහු පාපන්දු ලෝක කුසලානවල වැඩිම ගෝල් ගැසු ක්‍රීඩකයා බවට පත් වෙනවා.

වැඩේ කියන්නේ ම්බාප්පෙට තව ලෝක කුසලාන දෙකක්වත් (සමහරවිට තුනක්) ගහන්න වයස තියෙනවා. ආබාධ නොආවොත් තව මොනවා නොවේවිද?

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading