ටිකිටකා නැටුම් වෙනුවට, ප්‍රහාරයන්ගෙන් පිරි තරගයක්! නවසීලන්තය 2- ඉරානය 2

2026 පාපන්දු ලෝක කුසලානයේ G කාණ්ඩය යටතේ ඉරානය සහ නවසීලන්තය අතර ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේ පැවති තරගය, උද්වේගකරම සහ තියුණුම තරගයක් විය.

ඇමරිකාව සහ ඉරානය අතර පැවති දේශපාලනික අර්බුද සහ මාස ගණනාවක් පුරා පැවති යුදමය වාතාවරණයන් නිමාවට පත් කරමින් සාම ගිවිසුමකට එළඹීමෙන් පැය කිහිපයකට පසු ආරම්භ වූ මෙම තරගය, පිටියෙන් පිටත තිබූ සියලු පීඩනයන් අමතක කර දමමින් පාපන්දුවේ සැබෑ චමත්කාරය පිරී ගිය එකකි.

ඉරානය සුදු පැහැයත්, නවසීලන්තය කළු පැහැයත් පැළද පිටියට පැමිණි අතර, තරගය පුරාවට දෙපාර්ශ්වයම උත්සාහ කළේ පේලේ- මැරඩෝනා කාලයේදී වාගේ දුවගෙන ගොස් ගෝල ලබන්නට මිස ටිකි ටකා නටන්නට නොවේ.

අතිශය වේගවත් ක්‍රීඩා විලාසයක් දක්නට ලැබුණු මෙම තරගය අවසන් වූයේ ගෝල 2-2 ක් ලෙස කණ්ඩායම් දෙකටම සම තත්ත්වයක් අත්කර දෙමිනි.

තරගයේ ආරම්භයේ සිටම ඉරානය දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් නවසීලන්තයට පීඩනයක් එල්ල කළද, කාගේත් මවිතයට පත් කරමින් තරගයේ 7 වැනි මිනිත්තුවේදීම ගෝලයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.

අත්දැකීම් බහුල නායක ක්‍රිස් වුඩ්ගේ (Chris Wood) විශිෂ්ට පන්දු යොමු කිරීමකින් ප්‍රයෝජන ගත් තරුණ ක්‍රීඩක එලයිජා ජස්ට් (Elijah Just) නවසීලන්තය වෙනුවෙන් එම පළමු ගෝලය වාර්තා කළේ තරගයේ ගලායාම සම්පූර්ණයෙන්ම වෙනස් කරමිනි.

ඉන් අනතුරුව දැඩි වෙහෙසක් ගත් ඉරාන ක්‍රීඩකයින් දිගින් දිගටම නවසීලන්ත ආරක්ෂක වළල්ලට පහර දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 32 වැනි මිනිත්තුවේදී රමින් රෙසායියන් (Ramin Rezaeian) ඉරානය වෙනුවෙන් ගෝලයක් ලබා ගනිමින් තරගය 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ආවේය. ඉරාන නායක මෙහ්දි තාරෙමිගේ (Mehdi Taremi) ප්‍රබල පහරක් ගෝල කණුවේ වැදී ඉවතට යාමත්, අලි නෙමාටි ලබාගත් අලංකාර හිසෙන් ගැසූ ගෝලයක් ‘ඕෆ්සයිඩ්’ (Offside) ලෙස විනිසුරු විසින් නිශ්ප්‍රභ කිරීමත් පළමු අර්ධයේ දක්නට ලැබුණු තවත් තීරණාත්මක සහ හදගැස්ම වැඩි කළ අවස්ථා විය.

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 10ක් ගතවෙද්දී, එනම් 55 වැනි මිනිත්තුවේදී නැවතත් ක්‍රියාත්මක වූ එලයිජා ජස්ට්, යළිත් වරක් ක්‍රිස් වුඩ්ගේම සහාය ඇතිව අලංකාර ලෙස පන්දුව දැල තුළට යොමු කරමින් සිය දෙවන ගෝලයත් වාර්තා කර නවසීලන්තය 2-1 ක් ලෙස පෙරමුණට ගෙන ආවේය.

එහෙත් කිසිසේත්ම පසුබෑමට ලක් නොවූ ඉරාන ක්‍රීඩකයෝ සිය සටන්කාමීත්වය මනාව ප්‍රදර්ශනය කරමින් 64 වැනි මිනිත්තුවේදී නැවතත් තරගයේ පාලනය සියතට ගත්හ. සමන් ගොඩොස් දඬුවම් පහර කලාපයට යොමු කළ අගනා පන්දුවක් හිසෙන් දැල තුළට යොමු කරමින් මොහොමඩ් මොහේබි (Mohammad Mohebi) ඉරානය වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළේ මුළු ක්‍රීඩාංගණයම උද්දාමයට පත් කරමිනි. තරගයේ අවසන් මිනිත්තු කිහිපය දක්වාම ජයග්‍රාහී ගෝලයක් ලබා ගැනීමට දෙපිලම උත්සාහ කළද නවසීලන්ත ගෝල රකින ක්‍රීඩක මැක්ස් ක්‍රොකොම්බ්ගේ (Max Crocombe) දක්ෂතා හමුවේ ඉරානයට සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නොහැකි විය.

විචාරකයින් පෙන්වා දෙන පරිදි මෙය කණ්ඩායම් දෙකම කරට කර සටන් කළ, කිසිදු මොහොතක කම්මැලි බවක් ඇති නොකළ අගනා තරගයකි.

එලයිජා ජස්ට්ගේ වේගවත් ක්‍රීඩා විලාසයත්, ආබාධයකින් පසු නැවත පැමිණි නායක ක්‍රිස් වුඩ් ලබා දුන් අත්දැකීම් බහුල මෙහෙයවීමත් මෙහිදී කැපී පෙනුණි. අනෙක් පසින්, පිටියෙන් පිටත තිබූ දැඩි දේශපාලනික හා මානසික පීඩනයන් මධ්‍යයේ වුවද ඉරාන කණ්ඩායම දැක්වූ නොපසුබට උත්සාහය සැබැවින්ම ප්‍රශංසනීය විය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading