2026 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ’H’ කාණ්ඩය යටතේ අද පැවැති තරගයකින්, ලෝක පාපන්දු පිටියේ දැවැන්තයින් වන ස්පාඤ්ඤය ගෝල 0-0 ක් ලෙස සම තත්ත්වයකින් රඳවා ගැනීමට, සිය මංගල ලෝක කුසලානයට එක්වූ කුඩා දූපත් රාජ්‍යයක් වන කේප් වර්ඩ් (Cape Verde) සමත් විය.
ඇමරිකාවේ ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකු පුදුම කිරීමට සමත් විය.
ස්පාඤ්ඤය පිටියට පිවිසියේ ඔවුන්ගේ ප්‍රධානතම අවි දෙක වන යොවුන් තරුව ලැමීන් යමාල් සහ නිකෝ විලියම්ස් ආරම්භක ක්‍රීඩකයින් ලෙස නොමැතිවයි. 19 හැවිරිදි යමාල් මේ වෙද්දී ලොව බලාපොරොත්තු සහගතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සලකයි. මේ වෙද්දීත් ඔහු 19 හැවිරිදි ලයනල් මෙසීට සමාන කරමින් සිටී.
ඔහු වෙනුවට ගාවි, ෆෙරාන් ටොරෙස් සහ මයිකෙල් ඔයාර්සාබාල් ඉදිරිපෙළ මෙහෙයවීය.
ඔවුන්ද අතිවිශිෂ්ඨ ක්‍රීඩකයන් වුවත්, ඔවුන්ගේ සුපුරුදු වේගය සහ ප්‍රහාරක ජීවගුණය දක්නට නොලැබුණි. එමෙන්ම පන්දු හුවමාරු තිබුණත් ප්‍රහාරයන් ශක්තිමත් නොවන බව පෙනුණි. පන්දුව 70% පමණ තමන් අත තබා ගනිමින් ඔවුන් පිටිය පුරා සිය සුපුරුදු පන්දු හුවමාරු කිරීමේ ටිකි ටකාව කළත්, කේප් වර්ඩ් හි ගල් පවුර බිඳ දැමීමට තරම් නිර්මාණශීලීත්වයක් ඔවුන් සතු වූයේ නැත.
යමාල් 71 වැනි මිනිත්තුවේදීත්, විලියම්ස් 87 වැනි මිනිත්තුවේදීත් පිටියට පැමිණියද, ඒ වන විට කේප් වර්ඩ් කණ්ඩායම තම මානසික ජයග්‍රහණය තහවුරු කරගෙන අවසන්ය.
වයස අවුරුදු 40 ක් වන කේප් වර්ඩ් ගෝල රකින්නා වූ වොසීනා අද තරඟයේ අසහාය වීරයා බවට පත් විය. පිටියේ කොතරම් කලබලකාරී තත්ත්වයක් තිබුණත්, කිසිදු චකිතයකින් තොරව ස්පාඤ්ඤයේ ප්‍රබල පහරවල් සියල්ල ඔහු සාර්ථකව මැඩපැවැත්වීය. 45 වැනි මිනිත්තුවේදී ෆෙරාන් ටොරෙස්ගේ සහ ඉන්පසුව ඇමරික් ලපෝටේගේ (Aymeric Laporte) ප්‍රබල හිසෙන් එල්ල කළ පහරවල් ඔහු වළක්වා ගත්තේ දැඩි විශ්වාසයකිනි.
තරඟයේ අවසන් නළා හඬත් සමඟ ඔහුට සිය සතුට දරාගත නොහැකිව පිටිය මැද කඳුළු සැලූ දර්ශනය මෙවර ලෝක කුසලානයේ සංවේදීම අත්දැකීමක් වනු නොඅනුමානය.
ස්පාඤ්ඤයේ ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කළ සුපිරි තරු කීයක් මේ තරගයේ සිටියත්, තරගයේ වීරයා වූයේ වොසීනාය.
ස්පාඤ්ඤ ස්ට්‍රයිකර්ස්ලාට ඉඩක් විවෘත කර නොදුන් කේප් වර්ඩ් ආරක්ෂක පෙළේ විශිෂ්ටතම අවස්ථාව වාර්තා වූයේ 89 වැනි මිනිත්තුවේදීය. ඩැනී ඔල්මෝගේ සහයකින් ඔයාර්සාබාල් එල්ල කළ ප්‍රබල වොලි පහර නිසැක ගෝලයක් බවට පත්වීමට තිබියදී, අයර්ලන්තයේ උපන් කේප් වර්ඩ් ආරක්ෂක ක්‍රීඩක පිකෝ ලෝපෙස් තම සිරුර පන්දුව ඉදිරියට දමා එය හිසින් ඉවතට දැමූ අයුරු පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත. එය සුපිරි ආරක්ෂා කිරීමකි.
මේ තරගය තවත් විශිෂ්ඨ වන්නට ඉඩ තිබුණේ කේප් වර්ඩ්ලාගේ ආරක්ෂාවෙන් අඩකවත් ප්‍රමිතියක් ප්‍රහාරයට තිබුණා නම්ය.
කේප් වර්ඩ් ක්‍රීඩකයින් පන්දුව රැගෙන ප්‍රතිවාදීන්ගේ පෙනල්ටි බොක්ස් එක අසලට ගියේ කලාතුරකිනි. 94 වන මිනිත්තුවේදී රයන් මෙන්ඩෙස් ඉතා දුර සිට එල්ල කළ අසාර්ථක පහරින් පෙනී ගියේ ඔවුන්ට පෙනල්ටි බොක්ස් එක ආසන්නයට ගොස් නිර්භීතව සහ ආත්ම විශ්වාසයෙන් ගෝලයක් ලබා ගැනීමට උත්සාහ නොකළ බවයි.
ආරක්ෂාවේදී තමන් ස්ථානගත විය යුතු තැන ඔවුන් මනාව දැන සිටි නමුත්, අවස්ථාව ලද විගස ස්පාඤ්ඤ අන්තයට ගොස් ගෝලයක් වාර්තා කිරීමට ඔවුන් දැන සිටියේ නැති සෙයකි.
ස්පාඤ්ඤ ක්‍රීඩකයින් බොක්ස් එක තුළට එන සෑම විටම ක්‍රීඩකයින් දෙතුන් දෙනෙකු වට කරමින් දැක්වූ සටන්කාමීත්වය අපූරුය. විශේෂයෙන් යමාල් පිටියට පැමිණි පසුත් ඔහුගේ පැමිණීමෙන් ඔවුන් කලබල වුණේ නැත. ඔහුගෙන් ආරක්ෂා වන්නට හැමවිටම වගේ ආරක්ෂකයන් තුන්දෙනෙකු ගිය නමුත්, අනෙක් අන්තයේ ක්‍රීඩකයන්ට ඉඩක් විවෘත කෙරුණේ නැත.
කේප් වර්ඩ් යනු සංක්‍රමණිකයන් මත පදනම් වූ ඉතිහාසයක් ඇති ජාතියකි. එහි ජනගහනය ආසන්න වශයෙන් ලක්ෂ 5 ක් පමණ වන අතර, ඊට සමාන හෝ ඊටත් වඩා විශාල ජනගහනයක් (තවත් ලක්ෂ 5 කට වඩා) කේප් වර්ඩ් දූපත්වලින් පිටත ලොව පුරා ජීවත් වෙති.
විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ (නෙදර්ලන්තය, ප්‍රංශය, පෘතුගාලය වැනි රටවල) විශාල කේප් වර්ඩ් ප්‍රජාවක් වාසය කරයි. ඔවුන්ගේ සංස්කෘතිය සහ ‘මෝර්නා’ (Morna) වැනි සාම්ප්‍රදායික සංගීතය පවා බොහෝ විට ගොඩනැඟී ඇත්තේ තම මව්බිමෙන් පිටව යාම සහ විදෙස් රටවල සිට තම දේශය නියෝජනය කිරීම යන තේමාවන් මතය.
මෙවර ලෝක කුසලානය සඳහා කේප් වර්ඩ් නියෝජනය කරන ‘බ්ලූ ෂාක්ස්’ (Blue Sharks) කණ්ඩායම මෙම විදෙස්ගත ප්‍රජාවේ සෘජු ප්‍රතිඵලයකි. පුහුණුකරු බුබිස්ටාගේ 26 දෙනෙකුගෙන් යුත් සංචිතය, රටවල් 14 ක විවිධ පාපන්දු සමාජ 25 ක් නියෝජනය කරන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ.
මෙම සංචිතයේ ඇති වඩාත්ම පුදුම සහගත කරුණක් නම්, කේප් වර්ඩ් හි අගනුවර වන ‘ප්‍රයියා’ (Praia) හි උපන් ක්‍රීඩකයින්ට වඩා නෙදර්ලන්තයේ රොටර්ඩෑම් (Rotterdam) නුවර උපන් ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් වී සිටීමයි. කණ්ඩායමේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන ඩයිලන් ලිව්රමෙන්ටෝ ඇතුළු හයදෙනෙකු ඉපදුණේ රොටර්ඩෑම් හිදීය.
යුරෝපයේ එක් එක් රටවල තිබෙන්නේ විවිධ භාෂාවන්ය. මේ ක්‍රීඩකයන් එකිනෙකා එකම භාෂාව කතා කරන්නේත් නැතිලු. එහෙත්, ඔවුන් කණ්ඩායමක් ලෙස පුදුම සහගත ලෙස ක්‍රීඩා කිරීම විස්මිතය. ඔවුන් දීර්ඝ කාලයක් එක්ව පුහුණුවීම් කර ඇති බවත් වාර්තාවල සදහන් වෙයි.
පුහුණුවීම්වලදී ‘ක්‍රියෝල්’ නම් ඔවුන්ගේ දේශීය භාෂාව පමණක් භාවිතා කිරීමට පුහුණුකරු නියෝග කර ඇත්තේ ද මෙම විවිධත්වය මධ්‍යයේ ඔවුන්ගේ එකමුතුකම රැකගැනීමට බව කියයි.
තරඟය අවසානයේ ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේ සිටි කේප් වර්ඩ් රසිකයින් සැමරුවේ ලෝක කුසලානය දිනූ තරම් උද්යෝගයකිනි.
අසීමිත මුදල්, ප්‍රසිද්ධිය සහ ලොව වටිනාම ක්‍රීඩකයින් සිටි පමණින් තරඟයක් ජයගත නොහැකි බවත්, සමහර විටක විශිෂ්ටතම ජයග්‍රහණය වන්නේ පරාජය නොවී සිටීම බවත් “නිල් මෝරුන්” ලෝකයටම පෙන්වා දුන්නේ දවසකට කලින් ජර්මනියෙන් 7-1ක් ලෙස ලොව කුඩාම පාපන්දු කණ්ඩායම වූ කියුරසෝවා රාජ්‍යය පරාජය වූ පසුබිමක- කෙතරම් කුඩා වුවත් ලොකු දේවල් කළ හැකි බව පෙන්වමින්!
