සරණාගතයෙකු විදියට ඔසී ගිහින්! ලෝක කුසලාන වීරයෙක් වූ ඉරන්කුන්ඩා සහ එනව පේනවා තුර්කිය යනව පේනවා!

ඇල්බෙයා කැමූ (Albert Camus) ලියපු The Myth of Sisyphus දන්නවාද?

සිසිෆස් කියන්නේ කිසිම තේරුමක්, කිසිම ප්‍රයෝජනයක් නැතුව හැමදාම එකම දැවැන්ත ගලක් කන්ද උඩට රැගෙන යන, ඒ ගල ආයෙත් පල්ලමට පෙරළෙද්දී ආයෙත් ඒක උඩටම තල්ලු කරන සදාකාලික නිරර්ථක උත්සාහයක යෙදෙන කෙනෙක්. මේක දාර්ශනික කතාවක්. ඒත්, 2026 ලෝක කුසලානයේ ‘D’ කාණ්ඩයේ ඕස්ට්‍රේලියාව සහ තුර්කිය අතර පැවැත්වුණු තරගය බැලුවාම අපිට මතක් වෙන්නේ අන්න ඒ සිසිෆස්ව.

පාපන්දු මැච් එකක් දිනන්න ඕනේ නම් මොනවාද කරන්න ඕනේ? වැඩි වෙලාවක් බෝලය තමන් ළඟ තියාගන්න ඕනෙද? නැත්නම් එක දිගට පාසස් (Passes) කර කර ලස්සනට සෙල්ලම් කරන්න ඕනෙද?

ඒ මොනවා කරත් වැඩක් නැහැ, ‘ගෝල්’ ගහන්නේ නැත්නම්!

තුර්කිය, කැනඩාවේ වැන්කුවර් නුවර BC Place පිට්ටනිය මැද නිරර්ථක පාස් සහ ඕස්ට්‍රේලියාවේ විශිෂ්ඨ ගෝල රකින්නා වන බීච් අතටම බෝලය සැහැල්ලු ලෙස පාස් කළා විනා භයානක ගෝල උත්සාහයන් පෙන්වුවේ නෑ. තරගයේ සීයට 69ක් වගේ බෝලය තිබුණේ තුර්කිය අතේ. ගෝල ලබා ගැනීමේ උත්සාහයන් 30ක් තිබුණා. ඉලක්කයට පහරවල් අටක් එල්ල කළා. වසර ගණනාවකට පසු ලෝක කුසලානයට ආපු තුර්කියට මේ විදියට සිදු වන්නේ හිස් අතින්ම නැවත යන්නයි.

අනෙක් පැත්තෙන් ඕස්ට්‍රේලියාව ගත්තේ උත්සාහයන් 9ක් විතරයි! හැබැයි ඒ 9න් 4ක්ම ඉලක්කය එල්ල කරන්නත්, ඉන් 2ක්ම කෙලින්ම ගෝල් දැල ඇතුළට රිංගවන්නත් ඔවුන් සමත් වුණා.

තරගයේ අවසාන භාගය වෙද්දී තුර්කියේ ආඩා ගුලර් (Arda Guler) හෝ කෙනන් යිල්ඩිස් (Kenan Yildiz) ඕස්ට්‍රේලියානු සීමාවට බෝලය අරන් එන හැම වතාවකම ප්‍රේක්ෂකයන් කිසිම ගැම්මක් නැතිව බලා සිටියා. මොකද හැමෝම දැනන් සිටියා ඔවුන් කරන්න යන්නේ අර සිසිෆස්ගේ නිරර්ථක ගල් පෙරළීම වගේ වැඩක් කියලා. පැට්‍රික් බීච් (Patrick Beach) ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු ආරක්ෂක පවුර ඒ හැම පහරක්ම ඉතාම ලෙහෙසියෙන් මැඩපැවැත්වූවා.

කාහිල් ක්‍රමයට සැමරූ ඉරන්කුන්ඩා!

මේ මැච් එකේ ආකර්ෂණීය වයස අවුරුදු 20ක යෞවනයා, නෙස්ටෝරි ඉරන්කුන්ඩා.

තරගයේ 27 වැනි විනාඩිය වෙනකම්ම තුර්කිය බෝලය තියාගෙන හිමින් සීරුවේ ‘වෝකින් පේස්’ (Walking-pace) එකෙන් සෙල්ලම් කරමින් සිටියා.

නමුත් එකම එක කවුන්ටර් ඇටෑක් (Counter-attack) එකකින් මුළු මැච් එකම උඩුයටිකුරු වුණා. ඕස්ට්‍රේලියානු මැදපෙළ ක්‍රීඩක පෝල් ඔකොන්-එන්ග්ස්ට්ලර් වෙතින් ලැබුණු සුපිරි පාස් එක කෙලින්ම තමන්ගේ සන්තකයට ගත් ඉරන්කුන්ඩා, අසිරිමත් වේගයෙන් තුර්කි ඩිෆෙන්ඩර්ස්ලාව මඟහැරලා, ඉතාම දක්ෂ ලෙස බෝලය ඇතුළට කපාගෙන (Cut inside) ප්‍රතිවාදී ගෝල් රකින්නාට කිසිදු අවස්ථාවක් නොදී පන්දුව දැල ඇතුළට රිංගෙව්වා!

ගෝලය වැදුණු සැනින් මුළු ක්‍රීඩාංගණයම ප්‍රීති ඝෝෂාවෙන් ඇදිරී යද්දී, ඉරන්කුන්ඩා දිව ගියේ පිට්ටනියේ කෙළවරේ තිබුණු කෝනර් කොඩිය (Corner flag) වෙතටයි. එහිදී ඔහු කෝනර් කොඩියට බොක්සිංවල වාගේ පහරවල් එල්ල කරමින් තමන්ගේ ගෝලය සැමරුවා!

මේ සැමරීම ඕස්ට්‍රේලියානු පාපන්දු ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ විශිෂ්ටතම ලෝක කුසලාන වීරයකු වන ටිම් කාහිල් වෙනුවෙන් ඉරන්කුන්ඩා දක්වපු ගෞරවාචාරයක්. ටිම් කාහිල් ලෝක කුසලාන පිටියේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කරන වෙලාවලදී ඔහු සැමරුවේ එලෙසයි. වෙනදාට ඉරකුන්ඩා ගෝල සැමරුවේ ප්‍රකට බ්ලැක්ෆ්ලිප් එකක් සහ ඩාන්ස් එකක් එක්ක. මෙදා පාර ටිම් කාහිල්ට උපහාර පුදන්නට ඔහු අමතක කළේ නෑ. තරගය ඉවර වී ඔහු කීවේ මෙසී සහ කාහිල් ඔහුගේ වීරයන් බව.

තගයේ 75 වැනි විනාඩියේදී තුර්කියේ බෝල පාලනයේ තිබුණු දුර්වලතාවයකින් ප්‍රයෝජන ගත් කොනර් මෙට්කාෆ් (Connor Metcalfe), තුර්කි සීමාවේ ඩී (D) කලාපය අසලටම බෝලය රැගෙන විත්, කිසිවෙක් බලාපොරොත්තු නොවූ වෙලාවක තමන්ගේ වම් පයින් පන්දුවට පහර දුන්නා. තණතිල්ල දිගේ ඇදී ගිය ඒ පහර තුර්කි ගෝල් කීපර්ගේ දෑත් පරයා දැලේ කෙළවරකම වැදෙද්දී ඕස්ට්‍රේලියාව 2-0ක් ලෙස තරගයේ ජයග්‍රහණය ස්ථිර කරගත්තා.

නෙස්ටෝරි ඉරකුන්ඩාගේ කතාව මේ තරගයෙන් පස්සේ අපි අමතක නොකළ යුතුයි. ඔහු අතිවිශිෂ්ඨ ක්‍රීඩකයෙක්. දීප්තිමත් අනාගතයක් ඇති ක්‍රීඩකයෙක්.

ඔහුගේ දෙමාපියන් බුරුන්ඩි රාජ්‍යයේ පැවති සිවිල් යුද්ධයෙන් බේරීමට ටැන්සානියාවේ කීගෝමා (Kigoma) සරණාගත කඳවුරට පලා ගොස් සිටියා. ඉරන්කුන්ඩා උපත ලැබුවේ එම කඳවුරේදීයි. ඔහු ඉපදී මාස 3ක් වැනි ඉතාම කුඩා කාලයේදීම, ඕස්ට්‍රේලියානු රජය මඟින් ක්‍රියාත්මක කරන ලද නිල සරණාගත සහ මානුෂීය වීසා වැඩසටහනක් යටතේ ඔවුන්ට බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් (Perth) නුවර පදිංචියට ඒමට නීත්‍යානුකූල අවසරය හිමි වුණා. කුඩා කල සිට ඔහු පාපන්දු ලොව ජය ගැනීමට සිහින දැක්කා.

ඔහු සිය වෘත්තීය පාපන්දු ජීවිතය ආරම්භ කළේ ඕස්ට්‍රේලියාවේ ඒ-ලීග් (A-League) තරගාවලියේ ඇඩිලේඩ් යුනයිටඩ් (Adelaide United) කණ්ඩායමෙන්. ඔහු මේ වන විට වොට්ෆර්ඩ් (Watford FC) ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

2024-25 තරග වාරයට පෙර ඔහු ජර්මනියේ සුපිරි බයර්න් මියුනිච් (Bayern Munich) කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වුණත් ක්‍රීඩා කරන්න බැරි වුණා. පසුව ස්විට්සර්ලන්තයේ ග්‍රාස්හෝපර්ස් කණ්ඩායමට ඔහු ක්‍රීඩා කළා. ඉදිරියේදී ප්‍රබල යුරෝපීය ලීගයක ඔහු සෙල්ලම් කරනු ඇතැයි ටක්කෙටම අනුමාන කළ හැකියි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading