කොළඹ මහාධිකරණයේ විභාග වන යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවක සාක්ෂි දීම සදහා මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාරට නිකුත් කර තිබූ සිතාසිය අත්හිටුවීමට අභියාචනාධිකරණය විසින් 2026 ජූනි මස 02 වැනි දින තීරණාත්මක අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
මෙම සුවිශේෂී සිදුවීම පිටුපස ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුකරයයි.
මෙම නඩුවේම විනිසුරු ලෙස මීට පෙර කටයුතු කර ඇති සහන් මාපා බණ්ඩාර මහතා මේ වන විට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරුවරයා ලෙසද කටයුතු කරයි. මෙම විනිසුරුවරයා මීට පෙර ගම්පහ මහාධිකරණ පරිශ්‍රයේ විභාග වූ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවක් වූ නිට්ටඹුවේ අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ විනිසුරුවරයා විය. එම නඩුවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාය. මේ වන විට සහන් මාපා බණ්ඩාර විනිසුරුවරයාට සිතාසි නිකුත් කළ යෝෂිත රාජපක්ෂ නඩුවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේද ජනක බණ්ඩාර මහතාමය.
පසුබිම
මෙහි පසුබිම 2016 වර්ෂයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද විමර්ශනයක් පදනම් කරගත් ඩේසි ෆොරස්ට් සහ යෝෂිත රාජපක්ෂට ගොනු කර ඇති නඩුවයි.
එනම්, 2009 මාර්තු 31 සහ 2013 දෙසැම්බර් 12 අතර කාලය තුළ අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා ගොනු කරන ලදී.
රුපියල් මිලියන 59කට අධික මුදලක් බැංකු ස්ථාවර තැන්පතු ගිණුම් තුනක ඩේසි ෆොරස්ට් මහත්මිය සමඟ හවුල් ගිණුම් ලෙස තැන්පත් කර තිබීම සම්බන්ධයෙන් ඔවුහු මෙලෙස චෝදනා ලැබූහ. ඩේසි ෆොරස්ට් යනු යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන අතර ඇය කලක් ගුරුවරියක ලෙසද, ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාවක ලෙසද කටයුතු කර තිබුණි.
නඩුව මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතරතුර, 2025 නොවැම්බර් මස 12 වැනි දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, ඩේසි ෆොරස්ට් මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ ඩේසි ෆොරස්ට්ට නඩුවට පෙනී සිටීමට නොහැකි බවයි.
ඒ වන විට වයස අවුරුදු 98ක් වූ සිය සේවාදායිකාව ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන බරපතල මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව දැනුම් දුන්නේය. ඇයට මෙම නඩු විභාගයට මුහුණ දීමේ හෝ අධිකරණ ක්‍රියාවලිය තේරුම් ගැනීමේ හැකියාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. තවද, 2017 වසරේ මාර්තු මාසයේදී නුගේගොඩ දිසා අධිකරණය මඟින් ඇයගේ දේපළවල භාරකාරීත්වය වෙනත් පුද්ගලයින් දෙදෙනෙකුට පවරා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ කියන 2017 මාර්තු මාසයේදී ලබා දුන් නියෝගය එවකට දිසා විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ලබා දී තිබේ.
මෙම කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණය, 2025 නොවැම්බර් 26 වන දින කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා හරහා විශේෂඥ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝග කළේය.
එම වෛද්‍ය වාර්තාව 2026 පෙබරවාරි 25 වැනි දින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර, විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට තරම් සුදුසු මානසික තත්ත්වයක් නොමැති බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය විය. ඒ අනුව, මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහි අධිචෝදනාවලින් ඇයව මුදාහැරීමට නියෝග කළ අතර, පළමු විත්තිකරු වන යෝෂිත රාජපක්ෂට එරෙහිව පමණක් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය විය.
එහිදී නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට්ගේ දේපළ භාරකරුවන් ලෙස නුගේගොඩ දිසා අධිකරණයෙන් පත් කළ පුද්ගලයින් දෙදෙනා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමට පියවර ගන්නා ලදී.
මහාධිකරණ විනිසුරු
පැමිණිල්ල විසින් 2026 මාර්තු 27 වැනි දින අතිරේක සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවක් අධිකරණයට ගොනු කරන ලදී.
එම අතිරේක ලැයිස්තුවේ 158 වන සාක්ෂිකරු ලෙස එවකට නුගේගොඩ දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කළ සහ වර්තමානයේ අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරන සහන් මාපා බණ්ඩාර මහතාගේ නම ඇතුළත් කර තිබුණි.
අප ඉහත සදහන් කළ, 2016 වසරේ නුගේගොඩ දිසා අධිකරණයේ ගොනු කළ අංක CG 65/2016 දරන නඩුවේදී ඩේසි ෆොරස්ට් මහත්මියගේ දේපළ භාරකාරීත්වය සම්බන්ධයෙන් සහන් මාපා බණ්ඩාර මහතා විසින් ලබා දුන් අප පෙර සදහන් කළ අධිකරණමය නියෝග සහ තීරණ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුට මෙලෙස සාක්ෂියට කැඳවීමට පැමිණිල්ල තීරණය කර තිබුණි.
ඒ අනුව, 2026 මැයි 22 වැනි දින කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා 1 වැනි වගඋත්තරකාර කොළඹ මහාධිකරණ විනිසුරුවරයා (උදේශ් රණතුංග මහතා) විසින් සහන් මාපා බණ්ඩාර මහතා වෙත සිතාසියක් නිකුත් කිරීමට කටයුතු කරන ලදී.
කෙසේ වෙතත්, රාජකාරිමය කාර්යබහුලත්වය සහ ප්‍රමාණවත් දැනුම්දීමක් නොමැතිකම හේතුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා මාර්ගයෙන් නියෝජනය වෙමින් අදාළ සිතාසිය සඳහා කල් ලබාගැනීමට විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා පියවර ගත් අතර, ඒ අනුව එම නියෝගය 2026 ජූනි 04 වන දින දක්වා කල් තබමින් සිතාසිය එදිනටද බලාත්මක වන පරිදි නියෝග කෙරිණි.
ඒ අනුව සහන් මාපා බණ්ඩාර අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරුවරයා හෙට දිනයේ එනම් ජුනි 04 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ සාක්ෂි දීම සදහා පෙනී සිටීමට නියමිත විය. විනිසුරුවරයෙක් විසින් තවත් මහාධිකරණය විනිසුරුවරයෙක් ඉදිරිපිට සාක්ෂි දීම අසාමාන්‍ය තත්වයක් නොවේ. එහෙත් මෙලෙස විනිසුරුවරුන් සාක්ෂි දීම සිදු කරන්නේ බොහෝ විට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ ලබාගෙන ඇති ප්‍රකාශ පිළිබද සාක්ෂි දීම වැනි අවස්ථා වලදීය. තමන් විසින් ලබාදුන් නියෝගයක් ගැන යම් විනිසුරුවරයෙකුට මහාධිකරණයේදී සාක්ෂි දීමට සිදුවීම අසාමාන්‍ය තත්වයකි.
විශේෂයෙන්ම සහන් මාපා බණ්ඩාර විනිසුරුවරයා මෙම නඩුවේම විනිසුරුවරයා ලෙස මීට පෙර කෙටි කාලයකට කටයුතු කර තිබුණි.
රිට් ආඥා පෙත්සම
මෙලෙස සේවයේ නියුතු මහාධිකරණ විනිසුරුවරයෙකුට සාක්ෂි දීම සඳහා සිතාසි නිකුත් කිරීම ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල කරන ලද බරපතල අභියෝගයක් ලෙස සලකමින්, එයට එරෙහිව 2026 ජූනි මස 01 වැනි දින අභියාචනාධිකරණය හමුවේ රිට් ආඥා පෙත්සමක් ගොනු කරන ලදී.
මෙම පෙත්සම පොදු යහපත පිළිබද කාරණයක් ලෙස පෙන්වාදෙමින් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් සහ නීතිඥ සුගත් කල්දේරා යන මහත්වරුන් විසින් ගොනු කරනු ලැබීය. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා, නීතිපතිවරයා සහ අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා යන අය නම් කර තිබුණි.
පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ ඉතා පැහැදිලිව අවධාරණය කර සිටියේ, අධිකරණ නිලධාරියෙකු සිය නීත්‍යානුකූල අධිකරණ කාර්යයන් ඉටු කිරීමේදී සිදු කළ ක්‍රියාවන්, ලබා දුන් නියෝග හෝ හේතු දැක්වීම් සම්බන්ධයෙන් වෙනත් මුල් අවස්ථා අධිකරණයක් හමුවේ සාක්ෂි ලබා දීමට හෝ සමගාමී ප්‍රශ්න කිරීම්වලට (collateral interrogation) ලක් කිරීමට බල කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි ලෙස පටහැනි බවයි.
අධිකරණමය තීරණ අභියෝගයට ලක් කළ හැක්කේ නීතියෙන් පිළිගත් අභියාචනා හෝ ප්‍රතිශෝධන ක්‍රියාවලීන් හරහා පමණක් බවත් ඔවුහු පෙන්වා දුන්හ.
විනිසුරුවරුන් සිය තීරණ පෞද්ගලිකව සාධාරණීකරණය කිරීමට බලකරන මෙවැනි බලහත්කාරී ක්‍රියාවලියක් මඟින් අධිකරණයේ ස්වාධීනත්වය අවදානමට ලක්වන බවත්, යුක්තිය පසිඳලීම කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු වන බවත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි. මෙම සියලු නීතිමය කරුණු පදනම් කරගනිමින්, අදාළ සිතාසිය බලරහිත කරමින් තහනම් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, පෙත්සම් විභාගය අවසන් වන තුරු සිතාසියට අදාළ ඉදිරි කටයුතු තහනම් කරමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.
අතුරු තහනම් නියෝගය
මෙම පෙත්සම සලකා බැලීම සඳහා 2026 ජූනි මස 02 වැනි දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහිත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත කේ. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන එන්. ආර්. සිවේන්ද්‍රන්, නිරන් ඇන්කඩල් සහ පසිඳු බණ්ඩාර යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, රොහාන් සහබන්දු, සංජීව ජයවර්ධන, ඉක්රම් මොහොමඩ්, මනෝහර ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඉදිරිපත් වූ සියලුම නීතිමය කරුණු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන දීර්ඝ ලෙස සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම පිළිගනිමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගත්තේය.
කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ සාක්ෂි දීම සඳහා අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතාට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබූ සිතාසිය මත කිසිදු ඉදිරි පියවරක් ගැනීම මෙම අතුරු තහනම් නියෝගය මඟින් අත්හිටුවන ලදී.
මීට අමතරව, අදාළ නඩුකරයේ ඉදිරි කටයුතු සලකා බැලීම සඳහා මෙම පෙත්සම යළිත් 2026 ජූනි මස 12 වන දින කැඳවීමටද අභියාචනාධිකරණය විසින් නියම කරනු ලැබීය.
