ගුජරාටය පරදා බැංගලෝරයට පිට පිටම දෙවැනි වරටත් IPL කිරුළ! කෝලි අවසන් මහා තරගය සරසයි…

ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වූ 2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේ ශූරතාව පිට පිටම දෙවැනි වරටත් තමන් සතු කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම ඊයේ (31) රාත්‍රියේ සමත් විය.

අහමදාබාද් නුවර පිහිටි ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී ඔවුන් හමුවේ කඩුලු 5කින් පරාජයට පත්වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

මෙම ජයග්‍රහණයත් සමඟ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම්වලට පසුව, IPL ඉතිහාසයේ තම ශූරතාව සාර්ථකව ආරක්ෂා කරගත් තෙවැනි කණ්ඩායම බවට පත්වීමට ද රජත් පටිධර්ගේ නායකත්වයෙන් යුත් RCB කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝරු නායක රජත් පටිධර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, එම තීරණය නිවැරදි බව සනාථ කිරීමට ඔවුන්ගේ වේගපන්දු බලඇණිය සමත් විය. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, බැංගලෝරු පන්දු යවන්නන් එල්ල කළ කෙටි පන්දු (Short-ball ploy) හමුවේ ගුජරාට් පිතිකරුවෝ දැඩි අපහසුතාවයට පත්වූහ.

ආරම්භක පිතිකරුවන් වූ නායක ශුබ්මන් ගිල් (ලකුණු 22) සහ සායි සුදර්ශන් (ලකුණු 04) පිළිවෙළින් ජොෂ් හේසල්වුඩ් සහ බුවනේෂ්වර් කුමාර් හමුවේ මුල් ලකුණු 26 තුළ දවා ගැනීමට බැංගලෝරය සමත් විය. ඉන්පසු පිටියට පිවිසි නිෂාන් සින්දු ලකුණු 20ක් රැස් කළද, ගුජරාට් මැදපෙළ බිඳවැටීම නතර කිරීමට ඔහුට නොහැකි විය.

කෙසේ වෙතත්, එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ වොෂින්ටන් සුන්දර් පන්දු 37කදී නොදැවී ලකුණු 50ක් රැස් කරමින් ගුජරාට් කණ්ඩායම ගෞරවනීය තත්ත්වයකට පත් කළේය. නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 155ක් පමණි.

පන්දු යැවීමේදී විශිෂ්ට දක්ෂතාවක නිරත වූ රාසික් සලාම් ලකුණු 27කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, බුවනේෂ්වර් කුමාර් සහ ජොෂ් හේසල්වුඩ් කඩුලු 2 බැගින් දවා ගත්හ. බුවනේෂ්වර් කුමාර් මෙම තරගාවලිය පුරා කඩුලු 28ක් බිඳ හෙලමින් වැඩිම කඩුලු ලාභියාට හිමි දක්ෂතාව සම කිරීමටද සමත් විය.

කෝලිගේ ‘මාස්ටර් ක්ලාස්’ ඉනිම

ලකුණු 156ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි බැංගලෝරු කණ්ඩායමට වෙන්කටේෂ් අයියර් සහ විරාත් කෝලි එක්ව ප්‍රවේගකාරී ආරම්භයක් ලබා දුන්හ. ඔවුන් දෙදෙනා පන්දුවාර 3.3කදී කණ්ඩායමේ ලකුණු පුවරුව 50 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේ IPL අවසන් මහා තරගයක කණ්ඩායමක් රැස්කළ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාවද අලුත් කරමිනි. ‘ඉම්පැක්ට්’ ක්‍රීඩකයෙකු ලෙස පැමිණි වෙන්කටේෂ් අයියර් පන්දු 16කින් ලකුණු 32ක් රැස් කළේය.

මැදපෙළේදී රෂීඩ් ඛාන් පන්දුවාර එකකදී කඩුලු 2ක් දවා ගනිමින් ගුජරාටයට යම් බලාපොරොත්තුවක් ගෙන ආවද, ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි බැංගලෝරය ජයග්‍රහණය කරා මෙහෙයවීය. ඔහු පන්දු 25කින් තම අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර, එය ඔහුගේ IPL දිවියේ වේගවත්ම අර්ධ ශතකය ලෙස සටහන් විය.

අවසානයේදී පන්දුවාර 18කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 161ක් ලබා ගනිමින් බැංගලෝරු කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කරගත්තේය. පන්දු 42කදී හතරේ පහර සහ හයේ පහරින් ඉනිම සරසා නොදැවී ලකුණු 75ක් රැස් කළ විරාත් කෝලි තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading