චාමර ගුරුගේ
ලංකාවේ මගේ ආකර්ෂණීයම නළුවා කවුද කියලා ඇහුවොත් මට දෙන්න පුළුවන් ඉහළම උත්තරය තමයි ‘රොෂාන් රවින්ද්‍ර’. ඇත්තටම මම රොෂාන් චරිතයක් හොඳට රඟපානවාද කියලා බලන්නේ නැහැ. මම නිකං රොෂාන් දිහා බලා ඉන්නවා; රොෂාන් කොහොමත් ඒ චරිතය හොඳට රඟපානවා.
ඒ වගේ රොෂාන් කරපු ගොඩක් චරිත අතරින් මගේ වඩාත් සිත් ඇදබැඳගත් චරිතයක් තමයි “වීරයා ගෙදර ඇවිත්” නාට්‍යයේ දෑස් අන්ධ සොල්දාදුවාගේ චරිතය. ඒක ලේසි පහසු රැඟුමක් නෙවෙයි. මට රොෂාන්ව හමුවෙච්ච වෙලාවක ඔහු ඒ ගැන කීවේ, “මචං මං ඒ චරිතේ කරේ ඇස් දෙකක් තියෙනවා කියන එක අමතක කරලා” යන්නයි.
යම් නිහැඬියාවකින් පසු නව දක්ෂයන්ට තිරයේ කරණම් ගහන්න දීලා, රොෂාන්ව නැවත අපිට දකින්න ලැබෙන්නේ “නටත් අයෙක් සුරා මතින්” හරහායි. “නටත් අයෙක්” හි ප්‍රධාන නළුවා රොෂාන්. ඒ විතරක් නෙවෙයි, එහි අධ්‍යක්ෂවරයාත් ඔහුයි. රොෂාන්ගේ අධ්‍යක්ෂණ භූමිකාවත් නළුකමට නොදෙවෙනියි. අපිට තවමත් අමතක කළ නොහැකි මිහිරියාවක් ගෙන දෙන “තණමල්විල කොල්ලෙක්” රොෂාන්ගේ අධ්‍යක්ෂණයක්. මම ලියපු වෙළඳ දැන්වීමකුත් රොෂාන් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. වෙළඳ දැන්වීමක් වෙළඳ දැන්වීමක් නොවන ආකාරයට රූප රචනය කරන්නේ කොහොමද කියන එක එදා රොෂාන් මට කියා දුන්නා.
මේ ඔක්කොටමත් අමතරව රොෂාන්ගේ තව විශේෂත්වයක් තියෙනවා. ඔබ දැකලා තියෙනවාද රොෂාන් කවදාක හෝ වෙළඳ දැන්වීමක රඟපාලා බඩු විකුණන වැඩේ කරලා තියෙනවා? ඔබ දැකලා තියෙනවාද රොෂාන් මෙගා නාට්‍යයක රඟපානවා? තමන් විශ්වාස කරන, තමන් ආදරය කරන කලාව කොයිතරම් දුර්භාග්‍යයකට ඇද වැටුණත් එය අත් නොහැර සිටි මිනිහෙක් තමයි රොෂාන්.
නැවතත් රොෂාන්ගේ නවතම නිර්මාණය වන “නටත් අයෙක්” වෙතට හැරුණොත්, මෙහි රොෂාන් රඟපාන්නේ බේබද්දෙකුගේ චරිතයක් වන ‘ලද්දු’ගේ චරිතයයි. මේ ගැන ලියලා තිබ්බ බොහෝ අය කතා කරලා තිබ්බේ මිනිස්සුන්ගේ බේබදුකම කොයිතරම් පවුල් සංස්ථාව බිඳ දමන්න හේතු වෙනවාද කියන එක ගැනයි. ඒත් මම දැක්කේ ලද්දු නම් බේබද්දා නොබී ඉන්න දරන උත්සාහයයි.
ලද්දුගේ චරිතය තරමක් සංකීර්ණයි. ඔහු රාජ්‍ය සම්මානලාභී නාට්‍යකාරයෙක්; ඒ කියන්නේ දක්ෂයෙක්. ඒත් ඔහු ආර්ථික වශයෙන් ඒ තරම් සාර්ථක කෙනෙක් නෙවෙයි. විශේෂයෙන්ම ඔහුගේ පැරණි මිතුරන්ට සහ ඔහුගේ සහෝදරයාට සාපේක්ෂව. කොටින්ම ඔහුගේ බිරිඳට ඔහුට වඩා සුරක්ෂිත රස්සාවක් තියෙනවා. ඔහුගේ පැරණි පෙම්වතියට ඇසිල්ලකින් ඔහුගේ සියලු ප්‍රශ්න ඉවර කරන්න පුළුවන් ආර්ථික ශක්‍යතාවක් තියෙනවා. ඒ අය එක්ක ගත්තාම ලද්දු ෆේල්. හැබැයි ඒ කවුරුවත් ඉස්සරහා ඇඹරෙන්න අකමැති ලොකුකමකුත් ලද්දුට තියෙනවා. මේ සියලු ලොකුකම් මැද තමන් අසාර්ථකයි යන හීනමාන හැඟීම ලද්දුට අමතක කරන්න බැහැ. ලද්දු තමාගේ අසාර්ථකත්වයේ වාඩුව යවන්න හදන්නේ තමන්ගේ පුතාගේ පිටින්.
ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ තම පුතා කවදාහරි ‘සිලෝන් ටීම්’ යවන එක දැකීම තමයි ලද්දුගේ අපේක්ෂාව. පුතාටත් අන් කාටත් වඩා ඒ සිහිනයේ වැඩිපුරම එල්බී ඉන්නේ ලද්දු. එය එක්තරා ආකාරයක බලහත්කාරයක්; තමන්ට අහිමිවූ සමාජ ගෞරවය පුතා ලවා ලබා ගැනීමට සිදුකෙරෙන මෙහෙයවීමක්.
ඇත්තටම ලද්දුට ඕනේ යහපත් පවුල් ජීවිතයක් ගෙවන්න, බේබදුකමින් මිදෙන්න. එහෙත් හදවත වෙලාවකට බර වෙනවා නොබී ඉන්න බැරි ගානට. මේ බේබදු සංකීර්ණය පිරිමි කෝණයකින් තිරයට ගේන්නේ රසික සුරවීරආරච්චි. නිරන්තරයෙන් සමාජ ගර්හාවට ලක්වෙන පිරිමි බේබදුකමේ මනුෂ්‍ය පැතිකඩ ගෙනහැර දැක්වීම පිළිබඳව රසික අයියේ ඔයාට ස්තූතියි.
