ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා එකවර වැටුප් ලබාගනිමින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් මෙන්ම නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන 23 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු අද දින කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.
එහිදී විමර්ශන නිලධාරීන් විසින් සිද්ධියට අදාළව මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය සහ වැඩිදුර කරුණු අධිකරණය හමුවේ වාර්තා කරනු ලැබුවා.
හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ධුරය දරන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ තවත් තනතුරක් සඳහා එකවර වැටුප් හා දීමනා ලබාගැනීම සම්බන්ධයෙන් වන මූල්‍ය සාක්ෂි හා විමර්ශන වාර්තා සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ රක්ෂිත බන්ධනාගාර කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළා.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනවලට අදාළව විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව කොළඹ කොටුවේ පැවති සත්‍යග්‍රහයට සහභාගි වෙමින් අධිකරණ ක්‍රියාවලිය විවේචනය කළ බවට සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයින් හයදෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ අභියාචනාධිකරණය හමුවේ නීතිමය පියවර ආරම්භ කර තිබුණා.
