පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තේරීම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ක්‍රීඩක ජුලියන් විජේසිංහ ගොනු කළ පෙත්සම දෙසැම්බර් 11 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත.
එක්සත් රාජධානියේ පැවැත්වීමට නියමිතව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා තමන් තෝරාගෙන සිටි බවත්, කිසිදු සාධාරණ හේතුවක් හෝ දැනුම්දීමකින් තොරව පසුව එම තේරීම් ලැයිස්තුවෙන් තමන් ඉවත් කළ බවත් පෙත්සම්කරු පවසා තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව සඳහන් කරන පෙත්සම්කරු, ඉදිරියේදී මෙවැනි තත්ත්වයන්ට ක්‍රීඩකයන් මුහුණ නොදීම සඳහා ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු ජාතික මාර්ගෝපදේශන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද ඉල්ලා සිටී.
මෙම පෙත්සම ජනක් සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
ක්‍රීඩා අමාත්‍යවරයා, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ වියංග රුද්‍රිගු මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා පෙනී සිට ඇත.
