ඥාණසාර හිමිට ජම්පරය! නඩු තීන්දුවේ සම්පූර්ණ විස්තරය!


රටේ ඉහළම විධායක බලය ක්‍රියාත්මක කරමින් ලබා දුන් ජනාධිපති සමාවක්, රටේ ඉහළම අධිකරණය විසින් බලරහිත කරනු ලැබීය.

ඒ අනුව, 2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කර ඇත.

මෙම තීන්දුවත් සමඟ ඥාණසාර හිමියන්ට දැන් කුමක් සිදුවන්නේද යන්න බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති ප්‍රධාන ප්‍රවෘත්තියයි.

සරලවම කිවහොත්, උන්වහන්සේට මින් පෙර නියම වී තිබූ බරපතල වැඩ සහිත සිරදඬුවම යළිත් සක්‍රීය වේ. එනම්, වසර කිහිපයකට පෙර නිදහස ලබා පිටව ගිය වැලිකඩ බන්ධනාගාරයේ දොරටු උන්වහන්සේ වෙනුවෙන් යළිත් විවෘත වන අතර, ඉතිරි සිර දඬුවම් කාලය ගෙවා දැමීම සඳහා උන්වහන්සේට යළිත් බන්ධනාගාර ජම්පරය ඇඳීමට නෛතිකව සිදුවනු ඇත.

මෙම ඓතිහාසික නඩු තීන්දුව (S.C.F.R. 256/2019 සහ 257/2019) 2026 සැප්තැම්බර් 10 වන දින ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ගරු විනිසුරු ජනක් ද සිල්වා, ගරු විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා සහ ගරු විනිසුරු සම්පත් බී. අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

මෙම නඩුව සඳහා පෙත්සම්කරුවන් ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA), එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉදිරිපත් වී සිටියහ. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා, අස්තික දේවේන්ද්‍ර යන නීතිඥවරුන් පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වූ හිටපු ජනාධිපතිවරයා සහ ඥාණසාර හිමියන් ඇතුළු පිරිස වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, නීතිඥ තිෂ්‍ය වේරගොඩ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.

ප්‍රගීත් අතුරුදහන් වීම සහ හෝමාගම උසාවියේ කළබලය

මෙම සමස්ත නෛතික ක්‍රියාවලියටම පදනම් වන්නේ අදින් වසර ගණනාවකට පෙර සිදු වූ එක්තරා ආන්දෝලනාත්මක සිදුවීමකි.

දේශපාලන විශ්ලේෂකයෙකු සහ කාටූන් ශිල්පියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි 24 වන දින හෝ ඒ ආසන්නයේ දී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබීය. එතැන් පටන් ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ සිය ස්වාමිපුරුෂයාට යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් සිය මුළු ජීවිතයම කැප කරමින් සිටියාය.

මෙම අතුරුදහන් කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් යුද හමුදා බුද්ධි නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඒ සම්බන්ධ නඩුව (B7417/2010) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවතුණි.

2016 ජනවාරි 25 වන දින අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අතර, එහිදී සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. නඩු විභාගයෙන් පසුව, ඥාණසාර හිමියන් විවෘත අධිකරණයේදී කිසිදු අවසරයකින් තොරව කෑගසමින්, අධිකරණයට සහ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහතාට තර්ජනය කරමින් හා අපහාස කරමින් හැසිරුණි.

එහිදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය වෙත පැමිණි ඥාණසාර හිමියන් තර්ජනාත්මක ලෙස මෙලෙස පවසා තිබුණි:

“(…) තෝ දැනගනින් තොගේ මිනිහා කොටියෙක්, එල්. ටී. ටී. ඊ. කාරයෙක්, තෝ පල ගිහින් හිඟා කාපිය.”

එපමණක් නොව, විවෘත අධිකරණයේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහතාට පරිභවාත්මක ලෙස ආමන්ත්‍රණය කරමින් උන්වහන්සේ මෙසේද පැවසූහ:

“මේ නපුංසක රජයේ නිලධාරීන්, ආණ්ඩුව කරන්නේ මේ වගේ වැඩ තමයි. අපි පාර්ලිමේන්තුවේදී ඒ ගැන බලාගන්නම්.”

විමර්ශනය, දඬුවම සහ සිරගත වීම

හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් ඥාණසාර හිමියන්ගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් 2016 මාර්තු 18 වන දින අභියාචනාධිකරණයට වාර්තා කිරීමෙන් පසු (CA (CC) Application No. 04/2016) අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුතු ආරම්භ විය. එහිදී උන්වහන්සේට එරෙහිව ප්‍රධාන චෝදනා හතරක් ගොනු කෙරිණි. එනම්; නීත්‍යානුකූල අවසරයකින් තොරව අධිකරණය ඇමතීම, අධිකරණ නියෝග පිළිනොගන්නා බව පැවසීම, සැකකරුවන්ට ඇප දෙන ලෙස අධිකරණයට බලපෑම් කිරීම සහ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරයාට අපහාස කිරීමයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අභියාචනාධිකරණය විසින් ඥාණසාර හිමියන් මෙම සියලු චෝදනාවලට වරදකරු කරනු ලැබූ අතර පහත පරිදි දඬුවම් නියම කෙරිණි:

1 වන චෝදනාවට: වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
2 වන චෝදනාවට: වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
3 වන චෝදනාවට: වසර 6ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
4 වන චෝදනාවට: වසර 5ක බරපතල වැඩ සහිත සිරදඬුවම්


මෙම සියලු දඬුවම් එකවර (සමගාමීව) ගෙවී යන ලෙස නියම වූ අතර, ඒ අනුව උන්වහන්සේට වසර 6 ක සිරදඬුවමක් නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කරනු ලැබීය. මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කළද, 2018 ඔක්තෝබර් 05 වන දින (SC/SPL/LA. No. 320/2018) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම අභියාචනා අවසර අයදුම්පත ප්‍රතික්ෂේප කරන ලදී.

ජනාධිපති සමාවෙන් නිදහස් වීම


ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටියදී, මල්වතු, අස්ගිරි සහ කෝට්ටේ පාර්ශ්වවලමහානායක හිමිවරුන්, දියවඩන නිලමේතුමා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් උන්වහන්සේට ජනාධිපති සමාවක් ලබා දෙන ලෙස එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම් කර තිබුණි.

මේ අතර, 2019 මැයි 23 වන දින, වින්දිතයන්ට හෝ පැමිණිලි පාර්ශ්වයට කිසිදු දැනුම් දීමකින් තොරව ඥාණසාර හිමියන් හට හදිසියේම ජනාධිපති සමාව ප්‍රදානය කෙරුණු අතර, උන්වහන්සේ එදින සවස 5.00 ට පමණ වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් විය. ඉන් පසුදින, එනම් මැයි 24 වන දින, උන්වහන්සේ ජනාධිපති නිල නිවසේදී හිටපු ජනාධිපතිවරයාව මුණගැසී තේ පානය කළ බවද මාධ්‍යවල වාර්තා විය.

තීන්දුව හැරවුණේ ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන් නෛතික කරුණු


විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් මෙම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල ප්‍රතිඵලයක් ලෙස දැන් මෙම තීන්දුව සම්පූර්ණයෙන්ම හැරී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම සමාව “බලරහිත සහ ශූන්‍ය” (null and void) බවට නිගමනය කර ඇත්තේ ඉතා වැදගත් නෛතික කරුණු කිහිපයක් මත පදනම්වය.

  1. අභිමත බලය සහ මහජන විශ්වාසය: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට සමාව දීමේ අභිමත බලයක් පවතින බව සත්‍යයකි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන්නේ විධායක බලය ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා මහජන විශ්වාසය මත ක්‍රියාත්මක කරන බවයි. එය පෞද්ගලික වරප්‍රසාදයක් නොවන අතර, පොදු යහපත වෙනුවෙන් යෙදවිය යුතු බලයකි.
  2. තීරණ සඳහා හේතු නොදැක්වීම : අධිකරණය ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිගොනු පරීක්ෂා කිරීමේදී අතිශය තීරණාත්මක කරුණක් අනාවරණය විය. එනම්, 2019 මැයි 21 දින ජනාධිපති අතිරේක ලේකම් (නීති) විසින් ඥාණසාර හිමියන්ට සමාව ලබා දීම නිර්දේශ කරමින් සටහනක් ඉදිරිපත් කර ඇති අතර, හිටපු ජනාධිපතිවරයා එහි යටින් හුදෙක් “අනුමත කරමි” යනුවෙන් අත්සන් කර තිබීමයි. මෙම සමාව ලබා දීමට හේතුව කුමක්දැයි ජනාධිපතිවරයා විසින් කිසිදු ස්ථානයක සටහන් කර හෝ පෙන්වා දී නොතිබුණි. පරිපාලන තීරණයක් සඳහා හේතු දැක්වීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, එසේ හේතු සටහන් කර නොමැති විට එය අත්තනෝමතික තීරණයක් බවට පත්වන බවත් අධිකරණය පැහැදිලි කළේය.
  3. බලය පැහැර හැරීම : අධිකාරියකට පවරා ඇති බලයක් වෙනත් අයෙකුගේ උපදෙස් හෝ අනුමැතිය මත පමණක් ක්‍රියාත්මක කිරීමෙන් මුල් අධිකාරිය සිය බලය අත්හැරීමක් සිදු කරයි. මෙම නඩුවේදී හිටපු ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ නිසි ලෙස කරුණු සලකා බැලීමකින් තොරව, අතිරේක ලේකම්වරියගේ නීතිමය වශයෙන් දෝෂ සහිත උපදෙස් වලට යටත් වී හුදෙක් අනුමැතිය ලබා දීම පමණි. මෙය බලය ඉක්මවා යාමක් බව තීන්දුවේ දැක්වේ.
  4. අධිකරණයට අපහාස කිරීමේ බරපතලකම: අධිකරණයට අපහාස කිරීම යනු හුදෙක් විනිසුරුවරයෙකුට කරන අපහාසයක් නොව සමස්ත යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියටම සහ ජනතාවගේ අයිතිවාසිකම්වලට කරන තර්ජනයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය. එවැනි වරදකට අත්තනෝමතික ලෙස ජනාධිපති සමාවක් ලබා දීම නීතියේ ආධිපත්‍යයට එල්ල කරන ප්‍රහාරයකි.

මෙම සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය වී ඇති බව තීරණය කරමින්, ජනාධිපති සමාව නීතියෙන් බලාත්මක නොවන බව ප්‍රකාශයට පත් කළේය.

එකී තීන්දුවත් සමග, අපරාධකරුවෙකුට “ජනාධිපති සමාව” ලබා දීම යනු හුදෙක් දේශපාලන හිතවත්කම් හෝ බාහිර බලපෑම් මත කඩදාසියක අත්සන් කිරීමෙන් ඔබ්බට ගිය, මහජන සුබසිද්ධිය සහ නීතියේ ආධිපත්‍යය මූලික කරගත් බරපතල වගකීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමස්ත රටටම යළිත් වරක් සිහිපත් කර දී තිබේ. ඒ අනුව, ඥාණසාර හිමියන්ට සිය ඉතිරි දඬුවම් කාලය ගෙවා දැමීම සඳහා යළිත් බන්ධනාගාරගත වීමට නීතියෙන් නියම වී ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading