ඥානසාරට මෛත්‍රී දුන් ජනාධිපති සමාව රිවස්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේදී ලබාදුන් ජනාධිපති සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඥානසාර හිමියන්ට ලබාදුන් එම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇත. අදාළ පෙත්සම් ගොනුකර තිබුණේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසිනි.

මෙම සිද්ධියට පසුබිම් වී ඇත්තේ 2016 ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවූ සිදුවීමකි. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධ නඩුවක් විභාගයට ගනිමින් සිටියදී අධිකරණ පරිශ්‍රය තුළ කලහකාරී ලෙස හැසිරීම, අධිකරණ කටයුතුවලට බාධා කිරීම සහ නීතිඥවරුන්ට හා රජයේ නීතිඥවරයාට අගෞරව කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල විය.

එම චෝදනා 4කට වරදකරු බවට තීරණය කළ අභියාචනාධිකරණය 2018 අගෝස්තු 8 වැනිදා ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර, එම දඬුවම වසර 6න් එකවර ගෙවී යන ආකාරයට නියම කර තිබුණි. පසුව එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනාවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේ වෙතත්, 2019 මැයි 23 වැනිදා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමත් සමඟ උන්වහන්සේ බන්ධනාගාරයෙන් නිදහස් වූහ. එම අවස්ථාවේදී මෙම ජනාධිපති සමාව සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය මෙන්ම සිවිල් සංවිධානද දැඩි විවේචන එල්ල කළේය.

Author

Related Posts