ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීම සඳහා වන “2026 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත” අද (09) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එය සංශෝධන රහිතව සම්මත කරන ලදී.
ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත සකස් කර මෑතකදී රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම කෙටුම්පත, 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට විධිවිධාන සලසා තිබේ.
මේ අනුව 2026 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත ක්‍රියාත්මක වන දිනයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය දැරීම සහ ඊට අදාළ කාර්යාලයේ කටයුතු නිල වශයෙන් අවසන් වන අතර, අදාළ ධුරය දරන පුද්ගලයා ඇතුළු කාර්ය මණ්ඩලය ඔවුන් අයත් යුද, නාවික හෝ ගුවන් හමුදා සේවාවන් වෙත නැවත අනුයුක්ත කිරීමට පියවර ගනු ඇත.
එමෙන්ම, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය සතුව ඇති සියලුම චංචල සහ නිශ්චල දේපළ ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැවරීමට නියමිතය. යුද සමයේදී ඒකාබද්ධ මෙහෙයුම් සඳහා පිහිටුවන ලද මෙම තනතුර තවදුරටත් අවශ්‍ය නොවන බවට රජය තීරණය කර ඇති අතර, ආරක්ෂක වියදම් කළමනාකරණය කරමින් මින් ඉදිරියට ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ කටයුතු කෙලින්ම ආරක්ෂක අමාත්‍යාංශය හරහා සිදු කරනු ඇත.
