ඉදිරි අය වැයෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම (GDP) 1%ක් වෙන් කිරීම ඇතුළු යෝජනා මාලාවක් අද (09) නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයට බාර දෙන ලදී.
මෙම අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා නිරෝෂා ගුරුගේ සඳහන් කළේ, ඉතිහාසය පුරාම කාන්තා හා ළමා කටයුතු වෙනුවෙන් වෙන් කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදනයෙන් ඉතාම අඩු ප්‍රතිශතයක් බවයි. පහුගිය වසරවලදී එය 0.047%, 0.051% හා 0.048% වැනි පහළ මට්ටමක පැවති බවත්, අවම වශයෙන් 0.1%ක්වත් වෙන් නොකර රටේ කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වගවීමක් ඉටු කළ නොහැකි බවත් ඇය පෙන්වා දුන්නාය.
අපි පහුගිය කාලයේ දැක්ක කාරණයක් තමයි කාන්තා කොමිසමට කාර්යාලයක් දෙන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒකට සේවක මණ්ඩලය දෙන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ළමා සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වගවෙන ළමාරක්ෂක අධිකාරියේ පුරප්පාඩු තවමත් පුරවන්න පුළුවන් වෙලා නැහැ. නඩු ටික තවම අහන්න පුළුවන් වෙලා නැහැ. ඒවා තවමත් තියෙන්නේ මන්දගාමීව, 40,000ක විතර නඩු ප්‍රමාණයක් තියෙනවා අඩුම පැමිණිල්ල විභාග කරපු නැති. එතකොට මේ සමස්තයට ප්‍රශ්නයක් විදිහට තියෙනවා මේවට අදාළ ප්‍රතිපාදන වෙන්වෙලා නැහැ.
ඒ වගේම රටේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෝ, බහුවිධ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෝ 42.2%ක් බවට පත්වෙලා තියෙනවා. එතකොට මේ සමස්තයට හේතුව වෙන්නේ ඔවුන් වෙනුවෙන් ප්‍රතිපාදනයක් වෙන්වෙලා නැති එක එක ප්‍රධාන කාරණයක්. ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ 1%ක් වෙන් කරන්න කියලා.
පහත සඳහන් යෝජනා රජයට ඉදිරිපත් කරන ලද බව නිරෝෂා ගුරුගේ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියාය.
- ළමා රක්ෂක අධිකාරියේ පවතින මානව හා භෞතික සම්පත් පුරප්පාඩු වහාම පියවීමට අදාළ ප්‍රතිපාදන වෙන් කිරීම.
- පාසල් වර්ගීකරණයකින් තොරව (වතුකර, පළාත් සභා, ජාතික) මන්දපෝෂණයෙන් පෙළෙන සියලුම පාසල් දරුවන් උදෙසා පෝෂණීය දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙලක් සැකසීම.
- අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විශේෂයෙන්ම කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා (Sanitary Pads) මත පනවා ඇති බදු වහාම ඉවත් කිරීම.
- දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව මුදාගැනීම සඳහා සියලුම ක්ෂුද්‍රමූල්‍ය ණය කපා හැරීම සහ රජය මැදිහත් වී සහනදායී ණය ක්‍රමවේදයක් හඳුන්වා දීම.
රජය ලබාදුන් පොරොන්දු ඉටු කරමින් මෙම ඉල්ලීම් මෙවර අයවැය හරහා ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවත්, මෙම යෝජනා යථාර්ථයක් බවට පත් කරගැනීම වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය වුවහොත් සටන් පෙරමුණකට යාමට සූදානම් බවත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය වැඩිදුරටත් අවධාරණය කළේය.
