IMF කියන ප්‍රකෘතිය ඇත්ත ප්‍රකෘතියක්ද? ඇත්තටම දැනෙනවාද?

2026 මැයි 27 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකමේ වන සහ 6 වන සමාලෝචන අනුමත කරමින් ඩොලර් මිලියන 695ක තවත් ණය මුදලක් මුදා හැරීමට තීරණය කළේය.

වොෂින්ටනයේ සිට මාධ්‍ය ඇමතූ IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පාපජෝර්ජියෝ (Evan Papageorgiou) මහතා, ශ්‍රී ලංකාවේ “සාර්ව ආර්ථික ස්ථාවරත්වය” සහ “ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය” පිළිබඳව මහත් උදම් ඇනුවේය. උද්ධමනය 5% දක්වා අඩුවීම සහ සංචිත ගොඩනැගීම ඔවුහු ජයග්‍රහණ ලෙස හුවා දැක්වූහ.

ඒ අනුව මෙවරත් සුපුරුදු ලෙස ආර්ථික ‘ප්‍රකෘතිය‘ ගැන එම වාර්තා මාධ්‍යවල පළවෙමින් තිබේ. ඒත්, සාමාන්‍ය ජනතාවට එදිනෙදා ජීවිතයේදී ආර්ථිකයේ ප්‍රකෘතියක් දැනෙන්නේ නැත. අප අත්දකින්නේ නම් දරාගන්නට බැරි තරම් අසීරු තත්වයකි.

IMF හි මෙම ඊනියා “ආර්ථික ප්‍රකෘතිය” යනු අන් කිසිවක් නොව, ගෝලීය මූල්‍ය ප්‍රාග්ධන හිමියන්ගේ සහ ජාත්‍යන්තර ණය හිමියන්ගේ පොහොසත් වීම වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ කම්කරු, ගොවි සහ සාමාන්‍ය පන්තියේ ලේ උරා බොන නව ලිබරල් ව්‍යුහාත්මක ගැලපුම් වැඩසටහනක (Structural Adjustment Program) තවත් එක් කෲර අවස්ථාවකි. අන් සියල්ලට වඩා අප තේරුම් ගත යුත්තේ එයයි.

1. “පිරිවැය පියවා ගැනීමේ” මායාව

මෙම ඩොලර් මිලියන 695 ලබා ගැනීම සඳහා IMF විසින් පනවා තිබූ ප්‍රධාන “පූර්ව කොන්දේසියක්” (Prior Action) වූයේ විදුලිය සහ ඉන්ධන සඳහා “පිරිවැය පියවා ගැනීමේ මිල නියම කිරීම” (Cost-recovery pricing) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමයි. එවන් පාපජෝර්ජියෝ ඉතා ආඩම්බරයෙන් ප්‍රකාශ කළේ මාර්තු මාසයේදී 10.9% කින් සහ මැයි මාසයේදී තවත් 11% කින් විදුලි බිල ඉහළ දැමීමත්, ඉන්ධන සහනාධාර කප්පාදු කිරීමත් මෙම කොන්දේසි සපුරාලීමක් බවයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදුලි බිල ඉහළ දැමීම මෙන්ම ඉන්ධන මිල වැඩි කිරීම හිස අතගා අගය කර ඇත.

ජලය, විදුලිය සහ බලශක්තිය යනු මූලික මානව අයිතිවාසිකම් මිස ලාභ ඉපයීමේ වෙළඳ භාණ්ඩ නොවන බව අප තේරුම් ගත යුතුය. ඒවා වෙළද ව්‍යාපාර නොවේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අකාර්යක්ෂමතාව, දූෂණය සහ අතීතයේ ලබාගත් ණයවල බර අද පැටවී ඇත්තේ කිසිදු වරදක් නොකළ සාමාන්‍ය පාරිභෝගිකයා මතය. බහුජාතික සමාගම් සහ දූෂිත දේශපාලඥයින් විසින් සිදුකළ වංචාවල පිරිවැය, “පිරිවැය පියවා ගැනීම” යන සුන්දර වචනය යටතේ ගෙවීමට සිදුවී ඇත්තේ දුප්පත් ජනතාවටය. මේ ණය යනු මහා හොරකම් මිස අපේ යහපතට ගත් ඒවා නොවේ. තාම ඒ බර දරන්නේ අප විසින්මය.

විදුලි බිල තෙවරක්, සිව්වරක් ඉහළ යාම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දහස් ගණනක් වැසී ගොස් ඇත. දරුවන්ට රාත්‍රියේ කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කිරීමට සිදුවී ඇත. IMF මෙය දකින්නේ “සාර්ථක ප්‍රතිසංස්කරණයක්” ලෙසයි.

නමුත් සැබැවින්ම එය සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය දශක ගණනාවකින් ආපස්සට ඇද දැමීමකි.

2. මූල්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය මූල්‍ය කප්පාදුව

IMF හි ප්‍රධානතම ජයග්‍රහණයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රජයේ බදු ආදායම දෙගුණ වීම සහ 2027 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක ප්‍රාථමික අතිරික්තයක් (Primary Surplus) පවත්වා ගැනීමට රජය එකඟ වීමයි. එමෙන්ම, මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කිරීම නැවැත්වීම (Monetary financing) ඔවුහු අගය කරති.

“ප්‍රාථමික අතිරික්තයක්” යනු කුමක්ද? ඉන් සරලව අදහස් වන්නේ රජය විසින් ජනතාවගෙන් එකතු කරන බදු ආදායම, ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යටිතල පහසුකම් සඳහා වැය කරන මුදලට වඩා 2.3% කින් වැඩි විය යුතු බවයි.

එහි බැලූ බැල්මට ගැටලුවක් නැත.

එහෙත් ගැටලුව මෙයයි.

අද රජය ජනතාවට සේවය කරනවාට වඩා වැඩි මුදලක් ඔවුන්ගෙන් උදුරා ගනී.

මෙම අතිරික්ත මුදල් යන්නේ කොහේටද? ඒවා යන්නේ විදේශීය බැඳුම්කර හිමියන්ට (සමහරවිට ගිජුලිහිණි අරමුදල් – Vulture Funds වලට) සහ බහුපාර්ශ්වික ආයතනවලට ණය පොළිය ගෙවීමටයි. මෙය පැහැදිලිවම දේශීය ආර්ථිකයෙන් ධනය සූරාගෙන ගෝලීය මූල්‍ය වෙළඳපොළවල් වෙත පොම්ප කිරීමේ ක්‍රියාවලියකි.

අනෙක් අතට, රජයේ බදු ආදායම දෙගුණ වූයේ සමාගම්වලට හෝ ධනවතුන්ට ඍජු බදු පැනවීමෙන් නොව, එකතු කළ අගය මත බද්ද (VAT) වැනි අතිශය පසුගාමී (Regressive) වක්‍ර බදු ඉහළ දැමීමෙනි.

කිරිපිටි පැකට්ටුවක් ගන්නා දුප්පතාත්, සුඛෝපභෝගී මෝටර් රථයක් ගන්නා ධනවතාත් එකම බදු ප්‍රතිශතයක් ගෙවන විට, එහි සමස්ත බර දරාගන්නේ සමාජයේ පහළම ස්ථරයයි. මෙය IMF ආකෘතියේ සම්භාව්‍ය ලක්ෂණයකි:

“දුප්පතුන්ගෙන් සූරා ධනවතුන්ගේ ණය ගෙවීම.” අපි දැන් කරමින් සිටින්නෙමු. වත්මන් ආණ්ඩුව යටතේත් එය වෙනස් වී ඇත.

අද රටේ ඇති ප්‍රශ්නය ආගම දහම හෝ ජාතිය පිළිබද ප්‍රශ්නයක් නොවේ. මෙන්න මේ කොල්ලකෑම පිළිබද ප්‍රශ්නයකි.

3. විනිමය අනුපාතය සහ ආනයන සීමා

රුපියල බාහිර කම්පන සඳහා “කම්පන අවශෝෂකයක්” (Shock absorber) ලෙස ක්‍රියා කළ යුතු බවත්, ආනයන සීමා පැනවීමෙන් වැළකී සිටිය යුතු බවත් IMF දූත මණ්ඩල ප්‍රධානියා අවධාරණය කළේය. රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරීමෙන් ආර්ථිකය ස්වයංක්‍රීයව ගැලපෙනු ඇති බව ඔහු පවසයි.

රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරීම යනු කුමක්ද? ශ්‍රී ලංකාව වැනි ඖෂධ, ආහාර, අමුද්‍රව්‍ය සහ ඉන්ධන මත දැඩිව යැපෙන ආනයනික ආර්ථිකයක, රුපියල බාල්දු වීම යනු එක රැයකින් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට නැගීමයි. රුපියලේ අගය කෘත්‍රිමව පාලනය කිරීමක් අපි යෝජනා නොකරන්නෙමු. එවැන්නක් කරන්නට ගොස් කබ්රාල් රටට කෙළවූ හැටි අමතක නොකළ යුතුය. එහෙත්, අප මතු කළ යුත්තේ හුදෙක් “නිදහස් වෙළඳපොළ” සහ “නම්‍යශීලී විනිමය අනුපාත” වැනි වාක්‍යවල සිර වී නව මානයකින් මේ දෙස බැලිය යුතු බවය.

ඇතැම් සංකල්පවලට ආගමික භක්තියෙන් වාගේ වහල් වීම මේ වෙලාවේ අපේ දුර්වල ආර්ථිකය තවත් විනාශ කරන මිත්‍යා විශ්වාසවලට ලඝු වීමක් පමණි.

IMF පවසන්නේ ආනයන තහනම් ඉවත් කළ යුතු බවයි (උදාහරණයක් ලෙස වාහන ආනයන). රටේ විදේශ විනිමය සංචිත හිඟව පවතින අවස්ථාවක, ධනවතුන්ගේ සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා එම ඩොලර් ටික වැය කිරීමට ඉඩ දීමෙන් සිදුවන්නේ ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර සඳහා පවතින ඩොලර් ප්‍රමාණය අහිමි වීමයි.

IMF ආනයන සීමාවලට විරුද්ධ වන්නේ, බටහිර රටවලට සහ බහුජාතික සමාගම්වලට තම නිෂ්පාදන ශ්‍රී ලංකාවට විකිණීමට ඇති වෙළඳපොළ බාධාවකින් තොරව විවෘතව තබා ගැනීමට මිස ජනතාවගේ යහපතට නොවේ. කම්පනය අවශෝෂණය කරන්නේ රුපියල නොව, දිනකට වේල් දෙකක් කමින් හාමතේ සිටින සාමාන්‍ය ජනතාවයි.

එමෙන්ම ඉතාම නිර්බාධවාදී සහ ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම තුළින් රටේ අපනයන ආදායම රට තුළට ගලා එන්නේ නැත. ව්‍යාපාරික පැළැන්තිය හිතුමතේට සහ අත්තනෝමතික ලෙස අපනයන ආදායම හිතුමතේ තමන් අත තබාගනී. රට ඇතුළට ගේන්නේ තමන්ට ඕනෑ වෙලාවටය. එය සූදු කෙළීමක් බවට පත්ව තිබේ.

4. ණය තිරසාරභාවය

IMF හි කාර්ය මණ්ඩල වාර්තාවම පිළිගන්නා පරිදි, 2025-2030 කාලය සඳහා ශ්‍රී ලංකාව යළිත් අර්බුදයකට (Missed crisis probability) යාමේ සම්භාවිතාව 54.5% කි. මධ්‍යම රජයේ ණය තවමත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 90% කට වඩා වැඩිය. 2028 දී ප්‍රතිව්‍යුහගත කරන ලද ණය ආපසු ගෙවීම ආරම්භ වූ විට රට නැවතත් බංකොලොත් විය හැකි බවට බියක් පවතී.

IMF වැඩසටහන් කිසිදිනෙක ණය අර්බුද විසඳන්නේ නැත; ඒවා කරන්නේ අර්බුදය කල් දැමීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රට සදාකාලික ණය උගුලක (Debt Trap) සිර කිරීම පමණි.

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බොහෝ විදේශ ණය “නීති විරෝධී සහ පිළිකුල් සහගත ණය” (Illegitimate and Odious Debt) ඝනයට වැටේ. ජනතාවගේ අනුමැතියකින් තොරව, දූෂිත දේශපාලන ප්‍රභූන් විසින් සුදු අලි ව්‍යාපෘති සඳහා ලබාගත් ණය ගෙවීමට ජනතාවට බල කිරීම යුක්ති සහගත නැත. දැන් මේ පිළිබද ආණ්ඩුවට මතකයක්වත් නැත.

නමුත් IMF කරන්නේ මෙම නීති විරෝධී ණය පවා “නීත්‍යානුකූල” කර, ඒවා කෙසේ හෝ ගෙවීමට ශ්‍රී ලංකාවට බල කිරීමයි. ඒ සඳහා ඩොලර් මිලියන 695ක ණයක් (EFF) ලබා දෙන්නේ, පැරණි ණය හිමියන්ට මුදල් ගෙවීම අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමටයි. එය හරියට රෝගියාගේ අවසන් රුධිර බිංදුව දක්වා උරා බීමට කූඩැල්ලෙකුට ශක්තිය දෙනවා හා සමානය.

5. උද්ධමනය පාලනය කිරීමේ බොරුව

“උද්ධමනය 70% සිට 5% දක්වා අඩුවී ඇත” යන්න IMF හි ප්‍රධාන තුරුම්පුවකි.

උද්ධමනය අඩු වී ඇත්තේ නිෂ්පාදනය වැඩි වීමෙන් හෝ ආර්ථිකය ප්‍රසාරණය වීමෙන් නොවේ. මහ බැංකුව විසින් පොලී අනුපාත අසාමාන්‍ය ලෙස ඉහළ දමා (පදනම් අංක 100 කින් යළිත් ඉහළ දැමීම ඊට උදාහරණයකි), ආර්ථිකය බලහත්කාරයෙන් හැකිලීම (Economic contraction) මගිනි. මිනිසුන්ගේ අතේ මුදල් නැති නිසා ඉල්ලුම පහත වැටී ඇත. උද්ධමන වේගය (මිල වැඩිවීමේ වේගය) 5% දක්වා අඩු වුවද, 70% කින් ඉහළ ගිය බඩු මිල කිසිදා ආපසු පහළ ගියේ නැත. ජනතාවගේ ක්‍රය ශක්තිය (Purchasing power) සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. මෙය ආර්ථික ඝාතනයක් මිස ආර්ථික ප්‍රකෘතියක් නොවේ.

IMF හි 5 වන සහ 6 වන සමාලෝචන අනුමත වීම සහ ඩොලර් මිලියන 695 ලැබීම යන ප්‍රවෘත්තිය පිටුපස ඇති නිරුවත් සත්‍යය නම්, ශ්‍රී ලංකාව නව ලිබරල් ධනවාදයේ දරුණුතම පරීක්ෂණාගාරයක් බවට පත්වී ඇති බවයි. එවන් පාපජෝර්ජියෝ ඇතුළු IMF නිලධාරීන් කඩදාසි මත “සාර්ව ආර්ථික ස්ථාවරත්වයක්” දකිද්දී, බිම් මට්ටමේ ජනතාව දකින්නේ මන්දපෝෂණය, රැකියා වියුක්තිය, වැසී යන කර්මාන්ත සහ ගෙවාගත නොහැකි විදුලි බිල්පත් ය.

මෙයට ඇති එකම විකල්පය IMF හි කප්පාදු ප්‍රතිපත්තිවලට කොන්දේසි විරහිතව යටත් වීම නොවේ. දේශපාලන ප්‍රභූන් විසින් ලබාගත් නීති විරෝධී ණය විගණනය කිරීම (Debt Audit), ඒවා ගෙවීම ප්‍රතික්ෂේප කිරීම සහ ණය හිමියන්ට වඩා පුරවැසියන්ගේ ජීවිතයට ප්‍රමුඛතාවය දෙන ස්වෛරී ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩනැගීමයි.

එසේ නොමැතිව, IMF පෙන්වන මේ මිරිඟුව පසුපස යාමෙන් සිදුවන්නේ 2028 වන විට ශ්‍රී ලංකාව මීට වඩා දරුණු, ලේ වැකි ආර්ථික සහ සමාජීය අගාධයකට ඇද වැටීම පමණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading