ජාතික සංවර්ධන බැංකුව (NDB) විසින් සෙලාන් බැංකුව (Seylan Bank PLC) තුළ පවත්වාගෙන ගිය සියයට 8.72 ක කොටස් හිමිකාරිත්වයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට පියවර ගෙන තිබේ. බැංකුවේ උපායමාර්ගික නොවන ආයෝජනවලින් ඉවත් වීමේ ප්‍රතිපත්තිය මත පදනම්ව මෙම තීරණය ගත් බව NDB බැංකු ආරංචි මාර්ග තහවුරු කරයි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ හරහා සිදු කෙරුණු මෙම ගනුදෙනුවේදී, NDB බැංකුව සතුව තිබූ සෙලාන් බැංකුවේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 26,631,495 ක් අලෙවි කර ඇත. එහිදී එක් කොටසක් රුපියල් 104 බැගින් වූ මිලකට අලෙවි වී ඇති අතර, ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.77 ක් ලෙස සටහන් වේ.
NDB බැංකුව විසින් අලෙවි කරන ලද මෙම කොටස් අතරින් විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට ප්‍රකට ව්‍යාපාරික රෙනෝ සිල්වා කටයුතු කර තිබේ. ඒ මහතාට අයත් Phantom Investments Ltd ආයෝජන සමාගම හරහා සෙලාන් බැංකුවේ කොටස් මිලියන 12 ක් අලුතින් මිලදී ගෙන ඇත. රුපියල් බිලියන 1.2 කට අධික වටිනාකමකින් යුත් මෙම ආයෝජනය හරහා සෙලාන් බැංකුවේ තවත් 4% ක හිමිකාරීත්වයක් ඔහුට හිමි වේ.
මෙම මිලදී ගැනීමට පෙර Phantom Investments Ltd හරහා රෙනෝ සිල්වා මහතා සතුව සෙලාන් බැංකුවේ 5.45% ක (4.59% සහ 0.86% ලෙස) කොටස් ප්‍රමාණයක් පැවතුණි. නව මිලදී ගැනීමත් සමඟ සෙලාන් බැංකුව තුළ රෙනෝ සිල්වා මහතා සතු සමස්ත කොටස් හිමිකාරිත්වය සියයට 10 ක සීමාව දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ගනුදෙනුවත් සමඟ රෙනෝ සිල්වාට අයත් Phantom Investments Ltd සමාගම මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු රැසක සිය ආධිපත්‍යය තහවුරු කිරීමට සමත්ව සිටී. වර්තමානය වන විට එම සමාගම සතුව පවතින ප්‍රධාන බැංකු කොටස් හිමිකාරීත්වයන් පිරික්සීමේදී සම්පත් බැංකුව සහ සෙලාන් බැංකුව යන බැංකු ද්විත්වයේම සියයට 10 බැගින් වූ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් පවතින අතර, කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව (HNB) යන බැංකුවල සියයට 2 බැගින් වූ කොටස් හිමිකාරීත්වයක් පවතී.
NDB බැංකුව සඳහන් කරන්නේ සිය මූලික ව්‍යාපාරික අරමුණු සහ දිගුකාලීන උපායමාර්ගික සැලසුම්වලට අනුකූලව මෙම කොටස් අලෙවිය සිදු කළ බවයි. මෙරට කොටස් වෙළෙඳ පොළ තුළ මෑතකදී සිදුවූ විශාලතම ආයෝජන හුවමාරුවක් ලෙස සැලකෙන මෙම ගනුදෙනුව, බැංකු ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යුහය තුළ Phantom Investments සමාගම ප්‍රබල ස්ථානයකට ඔසවා තැබීමට සමත්ව ඇත.
