බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන මස 03 වන දා ආරම්භ වන එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත පිරිනැමීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනු ලබනවා.
ඒ අනුව, පන්දුවාර 20 සහ එක්දින යන සීමිත පන්දුවාර ආකෘති දෙකම නව නායකයෙක් යටතට පත්කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා යෝජනා වූ නම් පහක් සලකා බැලීමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස් එකී නායකත්වය සඳහා තෝරාපත් කරගැනීමට යෝජනා වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරනු ලැබුවා.
කෙසේ නමුත් නායකත්වයේ සිදු වන මෙම වෙනස්කම් 2027 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය සහ 2028 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් සිදු වන බවයි වාර්තා වන්නේ.
මෙතෙක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ චරිත් අසලංක සහ 20 – 20 නායකත්වය දැරූ දසුන් ශානක එම තනතුරෙන් ඉවත්වන අතර, එම තරග ආකෘති ද්විත්වයෙහිම උප නායකයා ලෙස කමිදු මෙන්ඩිස් පත්වීමට නියමිත බවත්, ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය තවදුරටත් ධනංජය ද සිල්වා වෙත හිමිවනු ඇති බවත් පැවසෙනවා.
මෙම නායකත්වය සදහා හිටපු නායක චරිත් අසලංක, කමිදු මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක සහ දුනිත් වෙල්ලාලගේ යන නම් ද යෝජනා වී ඇති අතර, අත්දැකීම්, ආකෘති ද්විත්වයේ ම දක්ෂතා දැක්වීම, වයස ආදිය සැලකිල්ලට ගනිමින් කුසල් මෙන්ඩිස් ඒ සඳහා වඩාත් සුදුසු බවට නිර්දේශ වී ඇති බවයි සඳහන් වන්නේ.
2025 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලයේ දී කුසල් මෙන්ඩිස් එක්දින තරග 16 කට සහභාගි වෙමින් ශතක 2ක් හා අර්ධ ශතක 3ක් ඇතුළත් ව ලකුණු 639 ක් ලබා ඇති අතර, 2025 ජනවාරි මාසයේ සිට මේ දක්වා සහභාගි වූ 20 – 20 තරග 29 කදී අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 724ක් ලබා ගැනීමට සමත් ව තිබීම විශේෂත්වයක්.
අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේ, පසුගිය දිනක කුසල් මෙන්ඩිස් කැඳවා නව නායකත්ව වගකීම භාරගැනීමට සූදානම් වන ලෙස තේරීම් කමිටු සාමාජිකයන් විසින් දැනුම් දී ඇති බවත්, තම ආකාල්ප සහ හැසිරීම් නායකත්වයට සුදුසු ලෙස පවත්වාගත යුතු බව හා යම් ලෙසකින් එයට නොගැළපෙන හැසිරීමක් ප්‍රදර්ශනය වුවහොත් වහාම නායකත්වයෙන් ඉවත්කරන බව අවධාරණය කර ඇති බවත් ය.
