‘භික්ෂූන් වහන්සේලා, නීතිය සහ සසුනේ අනාගතය’

(මේ ලිපිය 2026 මැයි 5 වනදා ‘The Island’ පුවත්පතේ ‘Alternate Space’ නම් තීරු ලිපිය වශයෙන් ‘Monks, the Law and the Future of the Buddhist Monastic Order’යන මැයෙන් සසංක පෙරේරා ලියූ ලිපියේ සිංහල අනුවාදයයි)

මුළු රටම පාහේ මේ වන විට දන්නා පරිදි, 2026 අප්‍රේල් 25 වන දින බෞද්ධ භික්ෂූන් වහන්සේලා 22 නමකගෙන් යුත් කණ්ඩායමක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ රුපියල් මිලියන 1,100 කට අධික වෙළඳපොල වටිනාකමකින් යුත්, ඉතා ප්‍රබල ගංජා විශේෂයක් වන ‘කුෂ්’ සහ හෂීස් කිලෝග්‍රෑම් 112 ක් පමණ සන්තකයේ තබාගෙන සිටියදීය. මෙය ගුවන් තොටුපොළකදී අත්අඩංගුවට ගත් මෙවැනි ආකාරයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස සැලකෙන අතර, එය ජාත්‍යන්තර පුවත් අතරට ද මේ වන විට එක වී ඇත.

දේශීය වශයෙන්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල තුළ, මෙම සිදුවීම ප්‍රධාන ප්‍රවාහ දෙකක් ඔස්සේ දැඩි විවාදයකට තුඩු දී ඇත. එක් පාර්ශවයක්, අන්තර්ජාලයේ සංසරණය වන තොරතුරු සහ කතා මත පමණක් පදනම්ව, එම භික්ෂූන් වහන්සේලා වරදකරුවන් ලෙස දැනටමත් තීන්දු කර හමාරය.

අනෙක් පාර්ශවය තර්ක කරන්නේ, මොවුන් සැබෑ භික්ෂූන් නොව, බුදුදහම අපකීර්තියට පත් කිරීම සඳහා රෝපණය කරන ලද ව්‍යාජ පුද්ගලයන් නැතිනම් අනුකාරකයන් බවයි. මේ පාර්ශ්වයේම ඇතැම් අදහස් දැක්වීම් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරමින්, මීට රජයේ මැදිහත්වීමක් පවතින බවට පවසන තරම් දුරදිග ගොස් ඇත.

කෙසේ වෙතත්, මෙම අදහස් දැක්වීම් අතරින් කිසිවක් හෝ, රටේ පවතින නීතිය බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අදාළ වන ආකාරය හෝ මෙවැනි මට්ටමේ අපරාධකාරීත්වයක් පූජ්‍ය පක්ෂය තුළින්ම මතු වූයේ ඇයිද යන්න පිළිබඳව ගැඹුරින් සාකච්ඡා නොකරයි. මෙම මත්ද්‍රව්‍ය තොගය හසු නොවී සමාජගත වූයේ නම්, ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල සලකා බලන විට, මෙවැනි කරුණු පිළිබඳව ගැඹුරින් ආවර්ජනය කිරීම මෙම අවාසනාවන්ත සිදුවීමෙන් අප උගත යුතු එකම බුද්ධිමත් පාඩම වේ.

අපේ රටේ නීතිය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී එය වෙනස් ආකාරයකට හෝ අවම වශයෙන් ඉතා මන්දගාමීව හෝ සිදුවන බවක් පෙනෙන්නට තිබේ. මෙයින් ගම්‍ය වන්නේ, උන්වහන්සේලා පුරවැසිභාවය සහ ඒ හා බැඳුණු වගකීම්වලින් ඔබ්බට ගිය, පැහැදිලිව නිර්වචනය නොකළ, එහෙත් වරප්‍රසාදිත තත්ත්වයක් භුක්ති විඳින බවයි. ජාතික ගීය ගායනා කරන අවස්ථාවන්හිදී, අපේ රටේ ඇතුළු ලොව පුරා සම්මත විනයානුකූල චාරිත්‍රය නැගී සිටීම වුවද, බෞද්ධ භික්ෂූන් වහන්සේලා එසේ නොකරන බව බොහෝ දෙනා දැක ඇති බව මා විශ්වාස කරමි. එහෙත් ප්‍රායෝගිකව පවතින මෙම සුවිශේෂී නිදහස අනෙකුත් ආගමික නායකයින්ට අදාළ වන බවක් පෙනෙන්නට නැත.

1980 දශකයේ පාසල් සිසුවෙකුව සිටියදී, මා අදටත් බෙහෙවින් ගරු කරන මගේ ගුරුවරයෙකු වූ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගෙන් මෙසේ වන්නේ ඇයිදැයි විමසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ, මෙය බුදුන් වහන්සේගේ කාලයේ සිට පැවත එන සම්ප්‍රදාය බවයි. බුදුන් වහන්සේගේ කාලයේ ජාතීන් හෝ ජාතික ගී නොතිබූ බවත්, එවැනි ප්‍රශ්නයක් එකල පැන නගින්නට හේතුවක් නොතිබුණු බවත් මා ඇතුළු පන්තියේ මිතුරෝ උන්වහන්සේට පෙන්වා දුන්නෙමු. එනමුත්, බෞද්ධ ඉතිහාසයේ සහ සාහිත්‍යයේ, භික්ෂූන් වහන්සේලා ලඟා කරගෙන තිබූ ආධ්‍යාත්මික දියුණුව හේතුවෙන් පාලකයන්ටත් වඩා ඉහළින් ඇතැම් විට සලකනු ලැබූ බව පෙන්වා දෙන කතා පවතින්නේය යන්න සැබෑවකි. නමුත් අද අප ගනුදෙනු කරමින් සිටින්නේ දුරාතීත ඉතිහාසයක ශේෂයන් හෝ විශ්වාස සමඟ නොව, බෙහෙවින් පරිවර්තනය වූ සමාජීය සහ නීතිමය තත්ත්වවලින් සැදුම් ලත් වර්තමානය සමඟයි.

පැහැදිලිවම, මෙය ගෞරවය සහ වන්දනීයත්වය වැරදි ලෙස සහ තෝරාගත් අයුරින් අර්ථකථනය කිරීමෙන් බිහි වූ සම්ප්‍රදායක් මිස, විධිමත් නීතිමය තත්ත්වයක් නොවේ. එම වන්දනීයත්වය යම් දුරකට වර්තමානයට පැමිණ ඇත්තේ බෞද්ධ සාහිත්‍යයේ එන කථා පුවත් මගිනි. නිදසුනක් වශයෙන්, අසෝක අධිරාජයා සහ සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ අතර සිදුවීම ගත හැකිය. එහිදී අසුන් ගන්නා ලෙස ආරාධනා කළ විට උන්වහන්සේ අධිරාජයාගේ සිංහාසනයේ අසුන් ගත් බව කියැවේ.

මෙම ගෞරවයේ සැබෑ මූලාශ්‍රය කුමක් වුවත්, වර්තමාන සමාජයේ එයින් සිදුවන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අනෙකුත් පුරවැසියන්ගෙන් සංකේතාත්මකව වෙන් කර තැබීමයි. ඒ හරහා රටේ නීතිය උන්වහන්සේලාට බලපාන්නේ වෙනස් සහ වාසිදායක ආකාරයකට බවට ඉඟියක් ද ලබා දෙයි. අවාසනාවකට මෙන්, ප්‍රායෝගිකව මෙයින් සිදුව ඇත්තේ වැරදි සිදුකරන පුද්ගලයන්ට නීතියේ රැහැනින් මෙන්ම අන් සියල්ලන්ටම අදාළ වන ව්‍යවහාරික බුද්ධියයේ සහ සදාචාරයේ වගකීම්වලින් සැඟවී සිටීමට හැකි ආවරණයක් සපයා දීමය.

මෙම ක්‍රියාමාර්ගය පිටුපස ඇති සංස්කෘතික සහ දේශපාලන තර්කය උපකල්පනය කරන්නේ, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගිහියන් සඳහා පනවා ඇති නීතියට වඩා ඔබ්බෙන් සහ ඉහළින් සිටින බවත්, එවැනි උතුම් පුද්ගලයන් විසින් කිසිදු වරදක් කිසිදා නොකරනු ඇති බවත්ය. නමුත් බෞද්ධ ඉතිහාසය මැනැවින් පැහැදිලි කරන පරිදි, බුදුන් වහන්සේගේ කාලයේ පවා මෙය සත්‍යයක් නොවීය. ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් භික්ෂූන් විසිදෙනම (22) සහ පසුව එම මත්ද්‍රව්‍ය ලබා දීමට නියම වී සිටි, අත්අඩංගුවට ගත් අනෙක් භික්ෂූන් වහන්සේ ද හැඳින්වීමට ඇතැම් විචාරකයන් උනන්දුසහගත වචන දෙකක් භාවිතා කිරීමට පෙලඹුණේ ද පැහැදිලිවම මෙම සංස්කෘතික තර්කය නිසාය.

ඉන් එක් වචනයක් වන්නේ ‘චීවරධාරීන්’ යන්නයි. අපි මැනැවින් දන්නා පරිදි, එහි අර්ථය වන්නේ ඔවුන් හුදෙක් සිවුරක් දරා සිටින පුද්ගලයන් යන්නයි. එමගින් ඔවුන් බෞද්ධ පූජ්‍ය පක්ෂයට අයත් දැයි හැඟවෙන්නේ නැත. වර්තමාන ව්‍යවහාරයේදී මෙය තරමක් නිගරු වචනයක් ද වේ. අනෙක් වචනය වන්නේ ‘භික්ෂු ප්‍රතිරූපකයින්’ යන්නයි. එහි සරල අර්ථය වන්නේ, භික්ෂූන් වහන්සේලා ලෙස වෙස්වලාගෙන, නැතහොත් පෙනී සිටින පුද්ගලයන් යන්නයි. මෙහි ඇති ප්‍රධාන අරමුණ වන්නේ, චෝදනා ලැබූ අපරාධය ඉතා බරපතළ බැවින්, මෙම වරදකාරී භික්ෂූන් වහන්සේලා භික්ෂූත්වය හා ඒ හරහා බුදුදහම සමඟ ඇති සම්බන්ධය ඉවත් කර දැක්වීමයි.

අත්අඩංගුවට ගැනීම සිදුවී දිනකට පසු, එනම් 2026 අප්‍රේල් 26 වන දින, සියම්, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන්හි මහානායක හිමිවරු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ. එහිදී අත්අඩංගුවට ගත් පිරිස සිවුර අවභාවිත කරන ‘භික්ෂු ප්‍රතිරූපකයින්’ ලෙස හඳුන්වා දුන් අතර, මෙම ක්‍රියාවන් බුදුදහමට පටහැනි බවත්, සැකකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කර නිසි දඬුවම් ලබා දිය යුතු බවත් සඳහන් කළහ. අප්‍රේල් 28 වන දින, ජනාධිපතිවරයා මහානායක හිමිවරුන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා හමුවී මෙම සිදුවීමේ ප්‍රතිවිපාක සහ ශාසනය තුළ භික්ෂූන් වහන්සේලා වඩාත් සමීපව අධීක්ෂණය කිරීම ඇතුළු අනාගත ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළේය.

කෙසේ වෙතත්, භික්ෂූන් වහන්සේලා රටේ නීතිය උල්ලංඝනය කරන විට සාමාන්‍ය පුරවැසියන් මෙන් නිරන්තරයෙන් සලකනු ලැබුවේ නම්, මෙම ප්‍රකාශය හෝ ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ රැස්වීම හෝ කෙසේවත් අවශ්‍ය නොවනු ඇත. පොලීසිය ගුවන් තොටුපොලේදී ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ ද එම මූලධර්මය මත පදනම්වය. එහෙත් ගුවන් තොටුපොළ ඇතුළු රටේ සෑම තැනකදීම ඔවුන්ට විශේෂ සැලකිල්ලක් ලැබෙන බවට සැකයක් නැත.

පැහැදිලිවම අවසන් විය යුත්තේ නීතිය හමුවේ පවතින මෙම වරප්‍රසාදිත හැඟීමයි. මා මෙසේ පවසන විට, මා ඇතුළු අන් බොහෝ දෙනා භික්ෂූන් වහන්සේලාගේ ධර්ම ඥානය පදනම් කරගෙන උන්වහන්සේලාට දක්වන පෞද්ගලික ගෞරවය මෙහිදී අදහස් නොකරමි. එය පුද්ගල රුචිකත්වය මත පදනම් වූ කරුණකි. එමෙන්ම, ආගමික සංවිධාන සතුව විධිමත් හා ප්‍රායෝගික පද්ධතියක් පවතී නම්, ඔවුන් විසින්ම සිදු කරනු ලබන විනය පරීක්ෂණ, ආයතනික අක්‍රමිකතා විමර්ශනය කිරීම් හෝ විනය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ දඬුවම් පිළිබඳව ද මම මෙයින් අදහස් නොකරමි.

නමුත්, වෙනත් ඕනෑම පුරවැසියෙකු මෙන් භික්ෂූන් වහන්සේලා ද මත්ද්‍රව්‍ය ජාවාරම, ස්ත්‍රී දූෂණය, ළමා අපචාරය, මූල්‍ය අක්‍රමිකතා, ප්‍රචණ්ඩ උසිගැන්වීම් වැනි රටේ ඕනෑම නීතියක් උල්ලංඝනය කරන්නේ නම්, ඔවුන්ට විශේෂ සැලකිල්ලක් හෝ ලිහිල් භාවයක් දැක්විය නොහැක. අප සැමට හිමි විය යුතු පරිදිම, ඔවුන් ද සාධාරණ ලෙස නීතියට වගකිව යුතු අතර, ඔවුන්ට එරෙහිව සාක්ෂි තිබේ නම්, නඩු පැවරිය යුතුය. එහිදී කිසිදු ව්‍යතිරේකයක් තිබිය නොහැක.

දේශීය වශයෙන් පවතින මෙම වාදවිවාද අතරතුර, මේ පසුබිමේ වැදගත් වන තවත් කේන්ද්‍රීය ප්‍රශ්නයක් බොහෝ දෙනා තවමත් මතු කර නැත. එනම්, තමන් නිහතමානීව සේවය කළ යුතු සමාජයට මෙතරම් දැවැන්ත හා අහිතකර ප්‍රතිඵල ගෙන දෙන, පැහැදිලි ලෙසම නීති විරෝධී වූ ක්‍රියාවල නිරත වීමට භික්ෂූන් වහන්සේලාට හැකියාව ලැබුණේ කෙසේද? ඒ සම්බන්ධයෙන් අපට වැරදුණේ කොතැනද, කවදාද සහ කුමක් නිසාද යන්න අපි විචක්ෂණශීලීව අසන්නේ නැත.

ගුරුගොඩ සිරිවිමල හිමියන් විසින් 2026 අප්‍රේල් 27 වන දින උන්වහන්සේගේ ෆේස්බුක් පිටුවේ තබන ලද සටහන ඔස්සේ දැනට පවතින තත්ත්වය ඉතා තාර්කිකව සහ පැහැදිලිව මෙසේ විග්‍රහ කර තිබුණි:

“ලංකාවෙ භික්ෂු ශාසනය කියන්නෙ රටේ පරිහානියෙම කොටසක්. රටක් පරිහානියට පත්වෙද්දි ඒ රටේම තියෙන එක් කොටසක් පරිහානියට පත්නොවී තියෙන්නෙ නැහැ. මේකෙ කණගාටු දායකම වැඩේ කියන්නෙ ලංකාව වගේ ආගමික පැත්තට බරව සංස්කෘතික දේහය ගොඩනැගුණ රටක පරමාදර්ශ විය යුතු පූජ්‍ය පූජක පක්ෂය මේ තරම් පරිහානියකට යන එක.

ලංකාවෙ භික්ෂු ශාසනය කියන්නෙ දේශපාලන පක්ෂවල සහ මීඩියාවල රූකඩ. පාරෙ බස් එකේ ගමන් යන, සමාන්‍ය මිනිස්සුන්ගෙ දානෙ ටික වළඳන අතිශය සාමාන්‍ය අපි වගේ භික්ෂූන්ට මූණ වහගෙන යන්න තරම් ලැජ්ජාවට පත්වෙලා ඉන්නෙ ලංකාවෙ දේශපාලන පක්ෂ සහ මීඩියා විසින් මේ සාසනේ අල්ලෙ තියල නටවන රූකඩ වලට පත්වෙලා තියෙන නිසා. පාරක බැහැල නොයන ප්‍රෙස් කන්ෆරන්ස් තියල මයික් පලන, දේශපාලන ස්ටේජ්වල ගොං කතා කියන භික්ෂූන්ට මේව ප්‍රශ්න නෙමේ.

ලංකාවේ දේශපාලන පක්ෂ භික්ෂූන්ව බෙදාගෙන ඉන්නෙ. ඒ පක්ෂවල ස්ථාවරයන්ට අනුව ක්‍රියාකරන ප්‍රභූ භික්ෂූන් පිරිසක් නඩත්තු කරමින්. ඒ අයව අල්ලෙ නටවපු විදිය මේ මොහොතෙත් අපි දකිනව. කිසිම වැඩකට නැති කිසිදු අධ්‍යාත්මික වටිනාකමක් නැති හරසුන් මුග්දයො ටිකක් උදේ හවස ප්‍රෙස් කන්ෆරස් තිය තිය රටට විහිළුවක් වෙනව. ඒ භික්ෂූන්ට අධ්‍යාපනයක් නැහැ. තමන් කතා කරන විෂය ගැන ජාතික තලයෙ, ජාත්‍යන්තර තලයෙ අවබෝධයක් නැහැ …..”

මෑත කාලයේ බෞද්ධ ශාසනය තුළ සිදුවෙමින් පවතින දේ පිළිබඳව මා කියවූ පැහැදිලිම විග්‍රහය වන්නේ ගුරුගොඩ සිරිවිමල හිමියන්ගේ මෙම ප්‍රකාශයයි. වඩාත් වැදගත් කරුණ වන්නේ, මෙය ශාසනය තුළින්ම මතු වූ ස්වයං-විවේචනාත්මක විග්‍රහයක් වීමයි. පොදුවේ රටේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් දෙස හෝ විවිධ අවස්ථාවලදී ඇතැම් භික්ෂූන් සම්බන්ධ වූ වෙනත් දූෂිත ක්‍රියා දෙස බලන විට, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෙම භික්ෂූ පිරිස සනිටුහන් කරන්නේ අසාමාන්‍ය සිදුවීමක් හෝ හුදෙකලා සිදුවීමක් හෝ නොවේ.

පොදු අවකාශයේ ඇති වාර්තා පෙන්වාදෙන පරිදි ඇතැම් භික්ෂූන් වහන්සේලා සුළුතර ආගමික වත්පිළිවෙත් සහ හැඟීම්වලට දිගින් දිගටම අපහාස කර ඇත. මීට එක උදාහරණයක් වන්නේ, වසර 12 කට පෙර වූ සිදුවීමකට අදාළව මේ වන විට අධිචෝදනා භාර දී ඇති එක්තරා හිමිනමකගේ නඩුවයි. එම හිමිනමගේ මෙන්ම තවත් එවන් පිරිසකගේ ප්‍රචණ්ඩකාරී දේශනා ප්‍රසිද්ධ වාර්තා ලෙස තවමත් පවතී.

ඇතැම් භික්ෂූන් හා සම්බන්ධ ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ළමා අපයෝජන සිදුවීම් ද විටින් විට කරළියට පැමිණ ඇත. ඒ අතර, 2021 වසරේදී ලන්ඩනයේ අයිල්වර්ත් අධිකරණය විසින් ලිංගික අතවර චෝදනා කිහිපයකට වරදකරු කරනු ලැබ, ජීවිතාන්තය දක්වා එක්සත් රාජධානියේ ලිංගික අපරාධකරුවන්ගේ ලේඛනයට ඇතුළත් කළ හිමිනමකගේ සිදුවීම ද ඇතුළත් වේ. එනමුදු, මෙම හිමිනම කොළඹට ආසන්න ප්‍රදේශයක පාසලක් පවත්වාගෙන යයි. මෙවැනි සිදුවීම් රාශියක් මහජන කතිකාව තුළ සංසරණය වුවද, ඒ බොහෝ දේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන නොමැත. මෙලෙසින් බොහෝ දේ නිහඬ කර ඇත්තේ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නොගැනීම මගිනි.

සිරිවිමල හිමියන් නිවැරදිව පෙන්වා දී ඇති පරිදි, බොහෝ භික්ෂූන් වහන්සේලා දේශපාලන පක්ෂවල සහ විවිධ දේශපාලන අවශ්‍යතාවල ගැටලුකාරී ප්‍රකාශකයන් බවට පත්ව ඇත. ඔවුන් ප්‍රසිද්ධියේ අදහස් දක්වන විලාසය සහ හැසිරීම් රටා මෙන්ම දේශපාලනයට සම්බන්ධ වන ස්වභාවය පවා ඉතා සරලව කිවහොත් අතිශයින් ලැජ්ජා සහගතය. එසේ වුවද, ආයතනික බුද්ධාගමේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලාට එරෙහිව විනයානුකූල පියවර ගෙන ඇත්නම්, ඒ ඉතාමත් අල්ප වශයෙනි.

මෙම සමස්ථ තත්ත්වය මගින් සිදු කර ඇත්තේ මුළු මහත් බෞද්ධ පූජ්‍ය පක්ෂයම අනවශ්‍ය අපකීර්තියකට ලක් කිරීමයි. මෙය බොහෝ දුරට සිදු වී ඇත්තේ මහානායක හිමිවරුන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායක හිමිවරුන් උන්වහන්සේලාගේ නිකායන් තුළ ප්‍රතිසංස්කරණ සඳහා හඬ නැගිය යුතු සහ නීතිය ක්‍රියාත්මක කිරීමට මග පෑදිය යුතු අවස්ථාවලදී අවාසනාවන්ත ලෙස නිහඬව සිටීම හේතුවෙනි. මෑතකදී මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධයෙන් උන්වහන්සේලා ක්‍රියා කළ ආකාරයෙන්ම අනෙකුත් වැරදි සම්බන්ධයෙන් ද ක්‍රියා කළ යුතුව තිබුණි. මේ අර්ථයෙන් බලන කල, වර්තමාන ගැටලුව අලුත් දෙයක් නොවේ. එය වඩාත් ගැඹුරු ව්‍යසනයක පැහැදිලිව පෙනෙන්නට තිබෙන එක් මෑතකාලීන උදාහරණයක් පමණි.

මෙවැනි ගැටලු පිළිබඳවත්, ශාසනය තුළින් ඒ සඳහා ලැබෙන සාපේක්ෂ නිහඬතාව පිළිබඳවත් අසන දකින සෑම විටකම, මට නිරන්තරයෙන්ම මතක් වන්නේ ‘අංගුත්තර නිකායේ’, විශේෂයෙන්ම ‘අනාගතභය සූත්‍රයේ’ සඳහන් බුදුන් වහන්සේගේම වචනයි. සංඝ ශාසනයේ බිඳ වැටීමට සහ සද්ධර්මයේ අතුරුදහන් වීමට මග පාදන ‘අනාගත බිය’ ලෙස බුදුන් වහන්සේ වදාළ කරුණු අතර පහත දැක්වෙන කරුණු ඇතුළත් වන අතර, ඒ සියල්ලම භික්ෂූන් වහන්සේලා හා සම්බන්ධ කරුණු වේ:

1. භික්ෂූන් වහන්සේලා තුළ පුහුණුව සහ විනය නොමැතිකම නිසා ඇතිවන අනිසි ප්‍රතිවිපාක.

2. භික්ෂූන් වහන්සේලා ධර්මයේ ගැඹුරු ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කිරීම නැවැත්වීම සහ ඒ ඔස්සේ ඇතිවිය හැකි තත්ත්ව.

3. භික්ෂූන් වහන්සේලා අධික භෞතිකවාදය සහ සැප සම්පත් කෙරෙහි අවධානය යොමු කරමින්, භාවනාව සහ විමුක්තිය සෙවීම වැනි පිළිවෙත්වලින් ඈත් වීම.

4. ගැටුම් සහ කල්ලිවාදය මතු වීමේ ප්‍රතිඵලයක් ලෙස භික්ෂූන් වහන්සේලා විමුක්තියේ මාවතක් ලෙස ධර්මය භාවිතා කරනවා වෙනුවට, එකිනෙකාට පහර දීම සඳහා ධර්මය ආයුධයක් කර ගනිමින් පුහු තර්ක විතර්කවල නිරත වීම.

5. මේ සියල්ල අවසානයේ සිදුවන්නේ බුදුන් දෙසූ ධර්මය දූෂණය වීමට මග පැදීම වන අතර, භික්ෂූන් වහන්සේලා ධර්මය නොවන දේ ධර්මය ලෙසත්, විනය නොවන දේ විනය ලෙසත් දේශනා කිරීමට පෙලඹීම.

අද සිදුවෙමින් පවතින්නේ මෙය නොවේද? මා ඉහතින් පෙන්වා දුන් ආකාරයේ දූෂිත ක්‍රියා, බුදුන් වහන්සේ උන් වහන්සේගේ ජීවිත කාලය තුළදීම අනාගතය පුරෝකතනය කිරමින් දැක්වූ තත්ත්වය පෙන්නුම් කරන නිදසුන් නොවේද? 2026 අප්‍රේල් මස සිදුවූ මෙම මත්ද්‍රව්‍ය වැටලීම අනාගතය සඳහා යම් අර්ථවත් අරමුණක් ඉටු කරන්නේ නම්, එය මට්ටම් දෙකකින් සිදු විය යුතුය:

1. භික්ෂූන් වහන්සේලා වැරදි ක්‍රියාවල නිරත වන විට සහ රටේ නීතිය උල්ලංඝනය කරන විට, රජය සහ ගිහියන් ඔවුන් වරප්‍රසාදිත පුද්ගලයන් ලෙස නොසැලකිය යුතුය. නීතිය බලාත්මක කරන ආයතන සහ අධිකරණ පද්ධතිය කිසිදු ව්‍යතිරේකයකින් තොරව නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පූර්ණ වශයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රජය නිල වශයෙන් පැහැදිලි කළ යුතුය.

2. මහානායක හිමිවරුන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායක හිමිවරුන් ඇතුළු බෞද්ධ පූජ්‍ය පක්ෂයේ නායකයින් මෙන්ම ඔවුන්ගේ ගිහි ආධාරකරුවන් ද, තමන්ගේ නිකායන් සහ සංවිධාන තුළ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් අභ්‍යන්තර පද්ධතියක් ස්ථාපිත කර, එය බලගැන්විය යුතුය. නිශ්චිත ශාසනික හෝ නීතිමය උල්ලංඝන මත පදනම්ව වැරදිකරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ව ශාසනයෙන් නෙරපා හැරීම ද මෙයට ඇතුළත් විය යුතුය. එහිදී ද කිසිදු ව්‍යතිරේකයක් නොතිබිය යුතුය.

අවම වශයනේ මෙම මූලික අවශ්‍යතා හෝ පමාවකින් තොරව සහ අවංකභාවයෙන් යුතුව ඉටු කරගත හැකිනම්, බුදුදහමට හිමි විය යුතු සැබෑ භූමිකාව ඉටු කළ හැකි වඩාත් යහපත් අනාගතයක් ගැන අපට බලාපොරොත්තු තබාගත හැකිය. එසේ කළ නොහැකි වුවහොත්, අනාගතය බුදුන් වහන්සේ දැනටමත් පුරෝකථනය කර ඇති අඳුරු තත්ත්වයටම පත්වනු ඇත.

සසංක පෙරේරා

Author

Related Posts