රාජ්‍ය බැංකු ඉතිහාසයේ දැවැන්තම ලාභය වාර්තා කරයි…

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකු ත්‍රිත්වය වන ලංකා බැංකුව (BOC), මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) සිය ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම ලාභය 2025 මූල්‍ය වර්ෂය සඳහා වාර්තා කර තිබේ.

අදාළ බැංකුවල 2025 වාර්ෂික වාර්තා ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූ අතර, එහිදී බැංකු සභාපතිවරුන් විසින් මෙම වාර්තාගත මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.

රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකු ත්‍රිත්වය 2025 වසරේදී වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති අතර, එහිදී ලංකා බැංකුව සිය වසර 87ක ඉතිහාසයේ ඉහළම ලාභය ලෙස රුපියල් බිලියන 120.8ක ලාභයක් වාර්තා කරමින් රුපියල් බිලියන 77ක මුදලක් බදු වශයෙන් රජයට ලබා දී ඇත.

මහජන බැංකුවද සිය ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරමින් රුපියල් බිලියන 64.4ක ලාභයක් සහ රුපියල් බිලියන 40ක බදු පසු ලාභයක් උපයා ඇති අතර, ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් බිලියන 59ක ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරමින් රුපියල් බිලියන 6ක මුදලක් ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට පිරිනමා තිබේ. මෙම බැංකු ත්‍රිත්වයම සිය ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරමින් මෙරට රාජ්‍ය බැංකු පද්ධතියේ ශක්තිමත්භාවය මැනවින් තහවුරු කර ඇත.

රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගේ අදහස්වලට අනුව, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ සිය බැංකුව රුපියල් බිලියන 64.4ක බදු පෙර ශුද්ධ ලාභයක් සහ රුපියල් බිලියන 40ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති බවයි. වසර 87ක දීර්ඝ ඉතිහාසයක් ඇති ලංකා බැංකුව මෙවැනි ඉහළ ලාභයක් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය බව පෙන්වා දුන් එහි සභාපති කාවින්ද ද සොයිසා මහතා, උපයාගත් රුපියල් බිලියන 120.8ක ලාභයෙන් රුපියල් බිලියන 77ක්ම බදු වශයෙන් රජයේ ආදායමට එක් කළ බව අවධාරණය කළේය.

මේ අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සඳහන් කළේ සිය බැංකුව රුපියල් බිලියන 59ක ඉහළම ලාභයක් ලබන අතරතුර රුපියල් බිලියන 6ක මුදලක් ලාභාංශ වශයෙන් මහා භාණ්ඩාගාරයට පිරිනැමූ බවයි.

බැංකු ප්‍රධානීන් පෙන්වා දෙන පරිදි මෙම සුවිශේෂී මූල්‍ය ජයග්‍රහණය සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති සමඟ සමගාමීව ඉතා සැලසුම් සහගතව කටයුතු කිරීමයි. ආයතන තුළ පවත්වාගෙන ගිය ඉහළ මූල්‍ය විනය සහ මනා මෙහෙයුම් කළමනාකරණය මෙම වාර්තාගත ලාභය ලැබීමට මනා පිටුවහලක් වී ඇති අතර, ඒ වෙනුවෙන් බැංකු කාර්ය මණ්ඩලය ලබා දුන් සුවිශේෂී සහාය සහ කැපවීමද මෙහිදී මහත් ඇගයීමට ලක් විය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading