ඉරානය “ගල් යුගයට ඇද දමන” බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා රාත්‍රියේ කළ තර්ජනය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල 15% කින් පමණ පහත වැටී ඇත. එසේම තම හමුදාවේ අධීක්ෂණය යටතේ ඉදිරි සති දෙකක කාලය තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනයට ඉඩ ලබා දෙන බව ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
තමා විසින්ම පනවා තිබූ අවසාන දින සීමාවට පැයකට මඳක් වැඩි කාලයක් තිබියදී, ඇමරිකානු ජනාධිපතිවරයා ‘ටෘත් සෝෂල්’ (Truth Social) හි සටහනක් තබමින් කියා සිටියේ, ඉරානය සති දෙකක සටන් විරාමයකට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එකඟ වන්නේ නම් එරට පාලම්, විදුලි බලාගාර සහ අනෙකුත් සිවිල් ඉලක්ක වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අත්හිටුවන බවයි.
ඉන් කෙටි කලකට පසු ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලය තහවුරු කළේ ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කරන්නේ නම් තමන් ද සති දෙකක සටන් විරාමයකට එකඟ වන බවයි. ඇමරිකාව සමඟ සාම සාකච්ඡා ලබන සිකුරාදා ඉස්ලාමාබාද්හිදී ආරම්භ කරන බව ද තෙහෙරානය ප්‍රකාශ කළේය.
අඟහරුවාදා ලැබුණු මෙම පුවත වෙළඳපොළ විසින් වහාම වැළඳ ගත්තද, ඇමරිකා-ඉරාන සාකච්ඡාවල ප්‍රතිඵලය තවමත් අවිනිශ්චිතය. එමෙන්ම මෙම සති දෙකක සහන කාලයෙන් පසුව සමුද්‍ර සන්ධිය විවෘතව තබන්නේ කෙසේද සහ එහි කළමනාකරණය සිදුවන්නේ කෙසේද යන්න මෙතෙක් තීරණය කර නොමැත.
ලෝක තෙල් මිල දර්ශකයක් වන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල 14.4% කින් පහත වැටී බැරලයක් ඩොලර් 93.48 ක් වූ අතර, ඇමරිකානු බොරතෙල් මිල 14.7% කින් පහත වැටී බැරලයක් ඩොලර් 96.27 ක් විය. කෙසේ වෙතත්, මෙම මිල ගණන් තවමත් යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මට්ටමට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතී.
මේ අතර ආසියානු කොටස් වෙළඳපොළවල් ආරම්භ වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ S&P/ASX 200 දර්ශකය 3% කින් ද, ජපානයේ Nikkei දර්ශකය 4% කින් ද සහ දකුණු කොරියාවේ Kospi දර්ශකය 6% කින් ද ඉහළ ගොස් ඇත. ඇමරිකානු කොටස් වෙළඳපොළ දර්ශක ද වර්ධනයක් පෙන්නුම් කළේය.
බැඳුම්කර වෙළඳපොළේ, විභව සටන් විරාමයක් පිළිබඳ පුවතත් සමඟ භාණ්ඩාගාර පලදායීතාවය (Treasury yields) ලිහිල් වූ අතර රන් මිල 2% කින් ඉහළ ගොස් අවුන්සයක් ඩොලර් 4,812 ක් විය.
සැක්සෝ (Saxo) හි ප්‍රධාන ආයෝජන මූලෝපායඥ චාරු චානානා රොයිටර් පුවත් සේවයට පැවසුවේ, ඉදිරි සති දෙක තුළ සාකච්ඡා කෙතරම් දුරට ප්‍රගතියක් ලබන්නේද යන්න සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට රක්ෂණකරුවන්ට සහ නෞකා ක්‍රියාකරුවන්ට ප්‍රමාණවත් විශ්වාසයක් ඇති වන්නේද යන්න මෙහි තීරණාත්මක සාධකය වනු ඇති බවයි.
මීට පෙර, “අද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇත” යනුවෙන් ට්‍රම්ප් කළ තර්ජනය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිතතාවය නිසා කොටස් වෙළඳපොළවල් දැඩි පසුබෑමකට ලක්ව තිබුණි. එහෙත් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී අවසාන දින සීමාව දීර්ඝ කරන ලෙස කළ ඉල්ලීමත් සමඟ වෙළඳපොළ යළි යථා තත්ත්වයට පත් විය.
පෙබරවාරි අග භාගයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ආරම්භ වූ මෙම සති පහක ගැටුම හේතුවෙන් ලෝක තෙල් මිල විශාල ලෙස ඉහළ ගියේය. ලෝක තෙල් සහ ද්‍රව ස්වභාවික වායු ප්‍රවාහනයෙන් පහෙන් එකක් සිදුවන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම ලෝක බලශක්ති අර්බුදයකට මග පාදා තිබුණි.
