තමන්ගේම විනය නැතිකමින් ප්‍රංශයට පෙනල්ටි පුදා පරාජය වූ පැරගුවේ! ප්‍රංශය කප් එක ඉස්සීම දක්වා ඉදිරිය..!

තරගය අවසන් විය. කිලියන් ම්බාප්පේ පැරගුවේ ගෝල රකින්නාට අතට අත නොදී, ඔහුව ගණනකට නොගෙන ප්‍රේ‍ක්ෂකාගාරයට ආචාර කරමින් ගියේය. තරගය අවසන්ව කණ්ඩායම් දෙක එකිනෙකාට ආචාර පුදකිරීමක් හරිහැටි කළේ නැත. පරාජිත පැරගුවේ පැත්තක සිටගෙන සිටියත්, බොහෝ ප්‍රේක්ෂකයන් පැරගුවේ පරාජය වීම ගැන කනගාටු නොවුණා විය හැක.

පැරගුවේ පරදවමින් ප්‍රංශය දින්නේ එකට බිංදුවක් ලෙසය. ඒ ගෝලය ලැබුවේත් පැරගුවේ ආරක්ෂක වළල්ල බිඳ දමමින් නොවේ. පෙනල්ටියකිනි. ඒ පෙනල්ටිය ලබාදීම ගැන වගකිව යුත්තේ පැරගුවේ කණ්ඩායමමය. පැරගුවේ වැරැද්දෙන් පරාජය වූ තරගයකි මෙය.

පැරගුවේ මේ තරම් මෝඩ ලෙස පෙනල්ටියක් ලබා දී පරාජය පුදදීම කණගාටුවකි.

ෆුට්බෝල් ගහනවා නම් හැමවෙලාවෙම ඩිසිප්ලීන් තියාගන්න!

මේ කියන්නේ අපි 13න් පහළ මුලින්ම පාපන්දු සෙල්ලම් කරන්න පටන්ගනිද්දී සුගත් මාස්ටර් කී වචනයකි. පොඩි කාලේ හරියට ඉංග්‍රීසිත් බැරිකමට මට ඒක ඇසුණේ ‘ඩිස්ප්‍රීන්‘ තියාගන්න කියාය. ඩිස්ප්‍රීන් නොතිබුණු නිසා ඊළඟ දවසේ ප්‍රැක්ටිස් එද්දී මම පැනඩෝල් කාඩ් එකක් බූට් කුට්ටම රැගත් බෑගයේ දමාගෙන ප්‍රැක්ටිස් ගියෙමි.

ඒත්, පසුව ඔහු ෆුට්බෝල්වල ඩිසිප්ලීන් වර්ග දෙකක් ගැන කියා දුන්නේය. එක ඩිසිප්ලීන් එකක් වන්නේ පාපන්දුවල මූලිකම රීතිවලට අනුගත වීමෙනුත්, වෙහෙස වී ක්‍රීඩා කිරීමෙනුත් රැකගත යුතු විනයයි. උදාහරණයක් ලෙස පසුපෙළ ආරක්ෂක ක්‍රීඩකයෙකු ලෙස මට හැමවිටම කීවේ ප්‍රතිවාදී ක්‍රීඩකයා කකුලෙන් පෙන්වන කිසි හරඹයක් දෙස නොබලා බෝලය දෙසම අවධානය යොමු කරන ලෙසය. බෝලය රැකගන්නා ලෙසය. පාස් කරන්නේ කකුලේ ඇතුළ් පැත්තෙනි. පාස් එකකට යොදන බර තීන්දු කරන්නේ කොහොමද, ඉලක්කය තීන්දු කරන්නේ කොහොමද, කික් කරන්නේ කොහොමද? යනාදී සියල්ල අප ඉගෙනගන්නේ ඒ විනය හරිහැටි පුහුණුවීම තුළිනි. එයින් පසු ස්ට්‍රැටජි හැදීමත්, ඒවාට අනුව තරගය සෙල්ලම් කිරීමත් ඒ විනයේම කොටසකි.

දෙවැනි ඩිසිප්ලීන් එක යනු ශාරීරික හානි සිදු නොකර රැකගත යුතු විනයයි. ක්‍රීඩාවේ නීති නොකැඩීමේ විනයයි. එක ෆවුල් එකක් ඔබට පරාජය අත් කර දිය හැක. විශේෂයෙන්ම පාපන්දු යනු පන්දුව සමඟ කරන ගනුදෙනුවක් බව මතක තබාගත යුතුය. ප්‍රතිවාදියා සමඟ ශාරීරිකව ගැටීම නොව, පන්දුව පාවිච්චි කරමින් ගැටීමය පාපන්දුවල වැදගත්ම විනය.

පැරගුවේට මුලින් කී විනය උපරිමයෙන් තිබුණි. ඔවුන් ප්‍රංශයේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයන්ව මනාව මාක් කරමින්, කිසිදු හිඩැසක් නොතබා ආරක්ෂාව තහවුරු කර තිබුණි. එයට විශාල විනයක් අවැසිය. ඒ පළමු කී ජාතියේ විනයයි.

ඒත් පැරගුවේට දෙවැනි වර්ගයේ විනය නොතිබුණි.

ප්‍රංශය පරාජය කළ නොහැකි බලවේගයක් බව හැඟීයාම පුදුමයක් නොවේ. ඩෙම්බෙලේ, ඔලිසේ සහ ම්බාප්පේ තරම් ප්‍රබල ප්‍රහාරාත්මක ඉදිරිපෙළක් මේ වෙද්දී වෙන කිසිම කණ්ඩායමක නැත. ඩෙෂැම්ප්ස් සුපිරි පුහුණුකරුවෙකි. ඒ නිසාම අපි හැමෝම විශ්වාස කරන්නේ ප්‍රංශය මෙවර ලෝක කුසලානය ලෙහෙසියෙන් ජයගනු ඇති බවයි. අන් සියලු කණ්ඩායම්වලට වඩා ගව් ගාණක් ප්‍රංශය ඉදිරියෙන් සිටින බවයි. 1994 සිට 2002 දක්වා බ්‍රසීල කණ්ඩායම සිටියා වාගේ මෙවර ප්‍රංශ කණ්ඩායම නූතන දශකයේ අනෙකුත් සියලු කණ්ඩායම්වලට වඩා ඉහළින් සිටින බව බොහෝදෙනෙක් විශ්වාස කරති.

එහෙත් මේ තරගයේදී පැරගුවේ ලෝකයටම පෙන්නුවේ හරි ආරක්ෂක උපක්‍රම ඇත්නම් ප්‍රංශයට මුහුණදීම අසීරු නොවන බවයි. එය ඔවුන් ගෞරවණීය ලෙස කළා නම් හැමෝම අද ඔවුන්ට හිස නමන්නට ඉඩ තිබුණි.

මේ වෙද්දී ලෝකයේ හොඳම කණ්ඩායම ප්‍රංශය බව පැහැදිලිය. ඒ ගැන කිසි වාදයක් නැත. ඒත්, ලෝකයේ හොඳම කණ්ඩායම වුව පරාජය කළ හැක.

ලෝක කුසලානය ඇත්තටම දිනන්නේ ඇත්තටම කිව්වොත් ලෝකයේ හොඳම කණ්ඩායම වූ පමණින් කොවේ.

එසේනම් 54 දී පුස්කාස්ගේ හංගේරියාව දිනන්නට තිබුණි. 74 දී ටෝටල් ෆුට්බෝල් නෙදර්ලන්තය දිනන්නට තිබුණි. 1982 දී, 1998 දී සහ 2006 දී බ්‍රසීලය දිනන්නට තිබුණි.

ලෝක කුසලානය දිනන්නේ හොඳම කණ්ඩායම නොවේ. ලෝක කුසලානය දිනන්නේ ලෝක කුසලානය දිනන කණ්ඩායමයි. ඒ නිසා හොදම කණ්ඩායම හැදීම නොව, තරග ජයගැනීමය කළ යුත්තේ.

කෙසේ වෙතත් සියල්ල සාමාන්‍ය ලෙස සිදු වුණොත් ප්‍රංශය ලෝක කුසලානය දිනනු ඇති බව ලොවපුරා බහුතරයක් ප්‍රේක්ෂකයන්ගේ සාමාන්‍ය තර්ක බුද්ධියට වැටහෙන යථාර්තයයි. ඔවුන් තව තරග තුනකට මුහුණදෙනු ඇත. කොලොම්බියාව පැරදවීම සමහරු සිතන තරම්ම අසීරු නැත. තව සමහරු සිතන තරම් ලෙහෙසිත් නැත. ඊළගට ස්පාඤ්ඤය හෝ පෘතුගාලය හමු වනු ඇත. අවසන් තරගයේදී ආජන්ටිනාව, එංගලන්තය හෝ බ්‍රසීලය හමුවනු ඇත.

පැරගුවේ අද ගෙදර යන්නේ අප මුලින් කී දෙවැනි විනය, එනම් ක්‍රීඩාවේ නීති හා හැසිරීම් පිළිබඳ විනය නොතිබුණු නිසාය. ප්‍රංශය වඩා හොද කණ්ඩායම වූ නිසා පමණක් නොවේ. තරගය පුරාම පන්දුව පාලනය ප්‍රංශය සතුව තිබුණි. ඔවුන් සාර්ථක පන්දු හුවමාරු 552ක් කළ අතර පැරගුවේ කළේ 175ක් පමණි.

ෆැරන්හයිට් අංශක 100ක දැඩි උණුසුමක් මැද ෆිලඩෙල්ෆියා පිටියේ පැවති මේ තරගය ලෝක කුසලාන ඉතිහාසයේ දැනට ඇති තොරතුරු අනුව වැඩිම උෂ්ණත්වයක් හමුවේ ක්‍රීඩා කළ තරගය වේ. පැරගුවේ ක්‍රීඩකයන් හැසිරුණේ පාපන්දු ක්‍රීඩාවකට වඩා මල්ලවපොර තරගයකට ආවා සේය.

එය කිසිසේත්ම තරග ජයග්‍රහණය වෙනුවෙන් හේතුපාදක වූ උපක්‍රමයක් නොවේ. එය ඔවුන්ට පරාජය කැන්දූ උපක්‍රමයක් විය.

ඔවුන් නිතරම ප්‍රංශ ක්‍රීඩකයන් සමඟ ගැටුම් ඇතිකර ගත්හ. විශේෂයෙන්ම එම්බාපේට අනවශ්‍ය ලෙස ශාරීරික බාධා කිරීම්, පහරදීම් සහ විනිසුරු සමඟ දිගින් දිගටම තර්ක කිරීම් ඔවුන්ගේ දුර්වල මානසිකත්වය පෙන්වා දුන්නේය. 68 වැනි මිනිත්තුවේදී ප්‍රංශයේ ඩොව් ව දඬුවම් පහර කලාපයේදී පැරගුවේ ක්‍රීඩක ඩියේගෝ ගෝමස් විසින් බිම දැමුවේ ඒ අවිනය නිසාය. VAR තාක්ෂණයෙන් තහවුරු කළ ඒ දඬුවම් පහර ලබාදෙන විටත් පැරගුවේ ක්‍රීඩකයෙක් එය වළක්වන්නට දඬුවම් පහර ලපයේ තණකොළ සූරා දමමින් ළාමක වැඩ කළේය.

නමුත් එම්බාපේ කිසිදු කලබලයක් නොමැතිව 70 වැනි මිනිත්තුවේදී එම දඬුවම් පහර සාර්ථක කරගනිමින් මේ තරගාවලියේ තම 7 වැනි ගෝලයත් වාර්තා කරමින් ලයනල් මෙසී සමඟ වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ සම තත්ත්වයට පත්විය. තරගයෙන් පසු ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයත් පැරගුවේ කණ්ඩායමේ විනය කොතරම් පිරිහී ඇත්දැයි ලෝකයටම පෙන්නුම් කළේය.

කෙසේ වෙතත්, දැන් පැරගුවේට ගෙදර යන්නට සිදුවී ඇත. ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන අතර, ඔවුන්ට එහිදී මුහුණදෙන්නට සිදුවන්නේ කැනඩාව 3-0කින් පරාජය කරමින් ඉහළ මානසික මට්ටමක සිටින මොරොක්කෝවටය.

මේ අනුව අපට ඉතිරි වන ප්‍රධාන ප්‍රශ්නය මෙයයි: මෙවර ලෝක කුසලානය ප්‍රංශය දිනනු ඇතිද? අද පැරගුවේ පෙන්වා දුන් ආකාරයටම, ප්‍රබල ආරක්ෂක වළල්ලක් සහ නිවැරදි උපක්‍රමයක් ඇති කණ්ඩායමකට ප්‍රංශය පරාජය කළ හැකි බව දැන් පැහැදිලිය. ප්‍රංශයට පන්දුව රඳවා ගැනීමේ අතිවිශාල වාසියක් තිබුණද, ඔවුන්ගේ ප්‍රහාරකයන්ට තරගය පුරාම විවෘත අවස්ථාවක් නිර්මාණය කරගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.

ඉදිරියේදී මොරොක්කෝවට හෝ වෙනත් කිසියම් කණ්ඩායමකට ප්‍රංශයේ මේ නොනවතින ගමන නතර කළ හැකි වේවිද? පාපන්දු යනු අනපේක්ෂිත දේ සිදුවන ක්‍රීඩාවක් බව අප අමතක නොකළ යුතුය. ලෝක කුසලානය දිනන්නේ හොඳම කණ්ඩායම යැයි අප සිතුවත්, අවසානයේ එය දිනාගන්නේ ඒ තීරණාත්මක මොහොතේ නිවැරදිව සහ විනයකින් යුතුව ක්‍රීඩා කරන කණ්ඩායමයි!

Author

Related Posts