ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින්, ආනයන අමුද්‍රව්‍යවල මිල කෘත්‍රිමව ඉහළ දමා ලාභය විදේශයන්හි රඳවා ගැනීමේ දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳව අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අවධානයට යොමු කර ඇත.
මෙම තත්ත්වය “ඩොලර් පිටතට ගලා යාම සහ ආර්ථික ආරක්ෂාවට ඇති තර්ජනයක්” ලෙස හඳුන්වමින් ලංකා එක්සත් ව්‍යාපාරික සන්ධානය විසින් රජයට කළ කරුණු දැක්වීමකින් පසු, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා සලකා බලන බව දන්වා නිල වශයෙන් ලිපියක් නිකුත් කර තිබේ.
ලාභ හුවමාරුව යනු බදු ගෙවීම පැහැර හැරීම සහ විදේශ විනිමය නීතිවිරෝධී ලෙස රටින් පිට කිරීම සඳහා ව්‍යාපාරිකයන් විසින් භාවිතා කරන උපක්‍රමයකි. මෙය සිදුවන ආකාරය මෙසේය.
නිමි භාණ්ඩයක විකුණුම් මිල ඩොලර් 7 ක් යැයි උපකල්පනය කළහොත්, ඒ සඳහා වැයවන අමුද්‍රව්‍යවල සැබෑ පිරිවැය ඩොලර් 4 කි. එහෙත්, අඩු බදු අනුපාත පවතින රටක (lower-tax jurisdiction) පිහිටි අතරමැදි සමාගමක් හරහා එම අමුද්‍රව්‍ය ඩොලර් 5 කට ආනයනය කළ බවට ව්‍යාජ ලෙස ඉන්වොයිසි (invoiced) සකස් කරනු ලබයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස, කෘත්‍රිමව වැඩි කළ ඩොලර් 1 ක මුදලක් ආනයන ගෙවීම් යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාවෙන් පිටතට (offshore) මාරු කරනු ලැබේ. අවසානයේදී, සැබෑ ලාභය ඩොලර් 3 ක් වුවද, මෙම වංචාව හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ බදු ගෙවිය යුතු වාර්තාගත ලාභය ඩොලර් 2 ක් දක්වා පහත වැටෙන අතර ඩොලර් 1 ක ලාභයක් විදේශීය සමාගමකට බැර වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් ද මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඇත. ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ හුවමාරු මිලකරණය (transfer pricing) සහ ලාභ හුවමාරුව (profit shifting) ආශ්‍රිත අවදානම් පිළිබඳව සාකච්ඡා කර ඇති බව අදාළ වාර්තා පෙන්වා දෙයි. ආනයනික යෙදවුම් අධිප්‍රමාණ කිරීම (overvaluation of imported inputs) හරහා මෙම ලාභ හුවමාරුව සිදුවිය හැකි එක් ප්‍රධාන යාන්ත්‍රණයක් බව එමගින් පෙන්වා දී තිබේ.
මෙය හුදෙක් සුළු පරිමාණයේ වංචාවක් නොව සමස්ත ආර්ථිකයම කඩාවට්ටන දැවැන්ත අපරාධයකි. ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටෙග්‍රිටි (Global Financial Integrity – GFI) ආයතනයේ වාර්තාවලට අනුව වෙළඳාම සම්බන්ධයෙන් සිදුවන ව්‍යාජ ඉන්වොයිස් සැකසීම් (Trade misinvoicing) හේතුවෙන් ආසියානු කලාපයට දැවැන්ත ප්‍රාග්ධනයක් අහිමි වෙමින් පවතී.
2013 සිට 2022 දක්වා දශකය තුළ ශ්‍රී ලංකාව සහ දියුණු ආර්ථිකයන් අතර වෙළඳාමේදී සිදුවී ඇති වටිනාකම් පරතරය ඇමරිකානු ඩොලර් මිලියන 24,426 ක් (ඩොලර් බිලියන 24.4 ක්) ලෙස ගණනය කර තිබේ.
දත්තවලට අනුව, මෙම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ සමස්ත වෙළඳාමෙන් 20.51% ක පමණ ප්‍රතිශතයක් මෙලෙස ව්‍යාජ ඉන්වොයිස් හරහා අහිමි වී හෝ වෙනත් අරමුණු සඳහා විකෘති වී ඇත.
මෙය සංවිධානාත්මක අපරාධකරුවන් විසින් වෙළඳාම පදනම් කරගත් මුදල් විශුද්ධිකරණය (TBML) සඳහා භාවිතා කරන ප්‍රධානතම මාර්ගයක් බව ද GFI වාර්තාව අවධාරණය කරයි.
ආනයනික අමුද්‍රව්‍ය සඳහා නියම කර ඇති මිල ගණන් සැබෑ වෙළඳපොළ මිලට (arm’s-length market prices) අනුරූප දැයි ස්වාධීනව තහවුරු කර ගැනීම සඳහා රේගුව, ආයෝජන මණ්ඩලය (BOI) හෝ වෙනත් විගණන යාන්ත්‍රණයන් ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් නොවීම මෙම අර්බුදය තවදුරටත් තීව්‍ර කර ඇති බව ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
