සුගීෂ්වර වෙනුවෙන් කතා කරපු, සර්වජනයේ නලින් පතිරණටයි දෙරණටයි මිලියන 500ක එන්තරවාසි දෙකක්!

තමන්ට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින්, සර්වජන බලය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නීතිඥ නලින් පතිරණට සහ එම ප්‍රකාශය මූලිකත්වය දෙමින් විකාශය කළ දෙරණ මාධ්‍ය ජාලයට ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සිරිල් ඇන්ටන් පෙරේරා මහතා විසින් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසි 02ක් යොමු කර තිබේ.

නීතිඥ සම්පත් යාලෙවත්ත මහතා මාර්ගයෙන් 2026 ජුනි 22 දිනැතිව මෙම එන්තරවාසිය යොමු කර ඇත.

එහි සඳහන් වන පරිදි 2026 ජුනි 19 දින හෝ ඊට ආසන්න දිනයකදී නලින් පතිරණ මහතා විසින් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ ඇන්ටන් පෙරේරා මහතා රජයේ සේවයේ නියුතුව සිටියදී එකවර ආයතන තුනකින් වැටුප් ලබාගෙන ඇති බවයි.

සමාජ සේවා අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි ලෙසත්, ඕස්ට්‍රේලියානු කිරි ගව ව්‍යාපෘතියේ ප්‍රධාන ගණකාධිකාරි ලෙසත්, දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ උපදේශකවරයෙකු ලෙසත් කටයුතු කරමින් පෙරේරා මහතා මෙම වැටුප් ලබාගත් බවට එහිදී චෝදනා එල්ල වී තිබිණි.

කෙසේ වෙතත් මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ තනතුර සඳහා කැබිනට් තීරණයක් අනුව ඔහුට හිමි වූයේ රුපියල් 21,527.50ක මාසික දීමනාවක් පමණක් බවත් පෙරේරා මහතා වෙනුවෙන් එන්තරවාසිය යොමු කළ නීතිඥවරයා මෙහිදී පෙන්වා දී ඇත. එමෙන්ම කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරි ලෙස කටයුතු කළ කාලය තුළ එම ව්‍යාපෘතියේ සේවය කළ අනෙකුත් අමාත්‍යංශයේ නිල නිලධාරීන්ට මෙන්ම දීමනාවක් ලැබුණු බව ද මෙහිදී පෙන්වා දී ඇත.

සුගීෂ්වර බණ්ඩාර නමැති අයකු සම්බන්ධයෙන් පෙරේරා මහතා කිසිදු පැමිණිල්ලක් සිදු කර නොමැති බවත්, නලින් පතිරණ මහතා සිදු කළ ප්‍රකාශය ද්වේශ සහගතව හා සිය කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් බවත් එන්තරවාසිය මගින් පෙන්වා දී ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු මෙන්ම වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරිවරයකු වන ඇන්ටන් පෙරේරා මහතා, 1992 වසරේ සිට ක්‍රීඩා දෙපාර්තමේන්තුව සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඇතුළු ආයතන රැසක ප්‍රධාන ගණකාධිකාරි ධුරය දරා ඇති කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි. ඔහු 2020 වසරේදී විශ්‍රාම ලබා ඇති අතර, 2024 වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කරන ලදි.

නලින් පතිරණ මහතාගේ ප්‍රකාශය හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් දින 07ක් ඇතුළත ගෙවන ලෙසත්, එය විධිමත් ලෙස කරුණු සොයාබැලීමකින් තොරව0 ප්‍රචාරය කිරීම හේතුවෙන් දෙරණ මාධ්‍ය ජාලයට රුපියල් මිලියන 500ක මුදලක් දින 07ක් තුළ ගෙවන ලෙසත් එසේ නොමැති නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාළ එන්තරවාසිය මගින් දැනුම් දී තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading