බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පැනවූ සිර දඬුවම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (23) නිෂ්ප්‍රභ කර තිබේ. ඒ අනුව ගලබොඩඅත්තේ ඥානසාර හට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර තිබේ.
තමන්ව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමිවිසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සහ ඒ හරහා ජාතීන් අතර පවතින සංහිඳියාවට බාධා වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමිට එරෙහිව නඩු පවරා තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, එල්ල වී තිබූ චෝදනාවලට ඥානසාර හිමිවැරදිකරු බව තීරණය කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මාස 9ක සිර දඬුවමක් නියම කර තිබූ අතර, මහාධිකරණයේ අද දින තීන්දුවත් සමඟ එම සිර දඬුවම තවදුරටත් බලාත්මක වේ.
