වෙළඳ, ආයෝජන සහ ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් එස් පෝල් කපූර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඒ අනුව සහකාර රාජ්‍ය ලේකම් පෝල් කපූර් ජුනි 21 සිට 24 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පෞද්ගලික අංශයේ විධායක නිලධාරින් හා එක්සත් ජනපද සමාගම්වල නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
ද්විපාර්ශවික වෙළඳාම, ආයෝජන පුළුල් කිරීම, ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම හා කලාපයේ හවුල් ප්‍රමුඛතා ඉදිරියට ගෙන යෑම පිළිබඳව එම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් වන නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරය ඉන්දියානු සාගරයේ ප්‍රධාන හවුල්කරුවකු වන ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ඇමරිකාවේ සමෘද්ධිය සහ ආරක්ෂාව ඉදිරියට ගෙන යන හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැපවීම පිළිඹිබු කරන බවයි.
