ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් බලහත්කාර ශ්‍රම භාවිතයට සම්බන්ධ කරමින් ලෝකයේ ආර්ථිකයන් හැටකට පැනවීමට යෝජනා කර ඇති නව තීරු බදු ක්‍රියාමාර්ගය හමුවේ ශ්‍රී ලංකාව මේ වන විට දැඩි සහ තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වටයකට අවතීර්ණ වී සිටී.
ශ්‍රී ලංකාවට මෙහිදී ඍජුව චෝදනා එල්ල කර නැතිවත් තීරු බදු පනවා ඇත.
මෙයට ප්‍රතිචාර දැක්වීම සඳහා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු මෙරට ප්‍රධාන වාණිජ මණ්ඩල රැසක් ඇමෙරිකානු බලධාරීන් සමඟ සෘජු සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම, ලංකාව තුළ කිසිදු ආකාරයක බලහත්කාර ශ්‍රම භාවිතයක් සිදු නොවන බව පවසමින් රජය මෙම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අතර, ඇමෙරිකාවේ මෙම යෝජනාවට එරෙහිව නිල වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිත දේශීය ප්‍රතිචාර වාර්තාව මේ වන විට කෙටුම්පත් කරමින් පවතී. ඇමෙරිකානු රජය ලබා දී ඇති කාලසීමාවට අනුව එළඹෙන ජූලි මස විසිහතරවනදාට පෙර ශ්‍රී ලංකාව මෙම නිල විරෝධතාව සහ පැහැදිලි කිරීම වොෂින්ටනය වෙත භාර දිය යුතු ය.
මෙම අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වන වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලෙන්දිරරාජා මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ තීරු බදු මෙතෙක් පනවා නොමැති අතර අවසන් තීරණයක් ප්‍රකාශයට පත් වන දිනයක් පිළිබඳව මෙතෙක් අනාවැකි පළ කළ නොහැකි බවයි. ශ්‍රී ලංකාව මේ වන විට ඇමෙරිකාව සමඟ මෙම ගැටලුව පිළිබඳව මෙන්ම ද්විපාර්ශ්වික කලාපීය වෙළඳ ගිවිසුම් සහ අන්‍යෝන්‍ය නොවන තීරු බදු සහන පිළිබඳව ද අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් තහවුරු කරයි.
දත්තවලට අනුව දෙදහස් විසිහය වසරේ පළමු මාස හතර තුළ පමණක් මෙරට ප්‍රධාන අපනයන බෝගයක් වන තේ අපනයනය සියයට හයකින් සහ ඇඟලුම් අපනයනය සියයට හතකින් පහත වැටී ඇති පසුබිමක මෙම තත්ත්වය තවත් බරපතළ වේ.
ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ෂිහාම් මරික්කාර් මහතා පෙන්වා දෙන්නේ ඇමෙරිකාවට යවන මෙරට අපනයනවලින් බහුතරයක් ඇඟලුම් ක්ෂේත්‍රයට අයත් වන බවත්, එම දේශීය සමාගම් බොහොමයක් ජාත්‍යන්තරව පිළිගත් සදාචාරාත්මක වෙළඳ සහතික ලත් ආයතන බවත්ය.
ලංකාව තුළ බලහත්කාර ශ්‍රමයක් නොමැති බව සහතික කිරීමට මෙරට ආයතන සතුව ප්‍රමාණවත් සාක්ෂි පැවතුණ ද, ඇමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය මෙහිදී ප්‍රශ්න කරන්නේ අවසන් නිෂ්පාදනයේ සමස්ත අගය දාමයයි. එනම්, ලංකාවෙන් අපනයනය කරන ඇඟලුම් සඳහා වෙනත් රටවලින් ආනයනය කරනු ලබන රෙදිපිළි හෝ වෙනත් අමුද්‍රව්‍ය සපයන විදේශීය කර්මාන්තශාලාවල ද බලහත්කාර ශ්‍රමය භාවිත නොවන බවට සහතිකයක් ඇමෙරිකාව අපේක්ෂා කරයි. සරලව කිවහොත් ඇමෙරිකාව අපට එල්ල කරන චෝදනාව චීනයෙන් යෙදවුම් ආනයනය කිරීමය.
මේ හේතුවෙන්, ලංකාව තුළ ගැටලුවක් නොමැති වුව ද, බලහත්කාර ශ්‍රම අවදානමක් ඇති බවට හඳුනාගත් වෙනත් රටවලින් මෙරටට ගෙන්වන අමුද්‍රව්‍ය නිසා ශ්‍රී ලංකාව ද මෙම දඬුවම් බදු ලැයිස්තුවට ඇතුළත් වී තිබේ. කැනඩාව සහ මෙක්සිකෝව වැනි රටවල් දැනටමත් මෙවැනි සැපයුම් දාම නීතිමය රාමු සකස් කර ඇති අතර යුරෝපා සංගමය ද ඒ සඳහා කටයුතු කරමින් සිටී.
මෙය ඇමෙරිකානු එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් 1974 වෙළඳ පනතේ ‘Section 301’ යටතේ සිදුකරන ලද පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් බවයි. බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට සහ එය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ රටවල් 54 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කර ඇත.
මෙරටින් ඇමෙරිකාවට යවන සියලුම නිෂ්පාදන සඳහා සියයට 12.5 ක අතිරේක තීරු බද්දක් පැනවීමට වොෂින්ටනය යෝජනා කර ඇත්තේ ඒ පසුබිමේය.
පසුගිය වසර කිහිපය තුළ ඇමෙරිකානු රේගුව විසින් බලහත්කාර ශ්‍රම සැකය මත රඳවාගත් චීනයේ ෂින්ජියැන්ග් කලාපයේ කපු, ඇලුමිනියම් සහ ඉලෙක්ට්‍රොනික උපාංග වැනි අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාව ද තම නිෂ්පාදන සඳහා වක්‍රව ආනයනය කර ඇති බවට ඇමෙරිකාව චෝදනා කර ඇත.
ඇමෙරිකාවේ මෙවැනි පියවර පසුපස බලහත්කාර ශ්‍රමයට එරෙහි මානුෂීය මුහුණුවරකට වඩා ඇමෙරිකාවේ සැඟවුණු දේශපාලනික සහ උපායමාර්ගික අරමුණු පවතින බව පැහැදිලි ය.
පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් පනවන ලද හදිසි වෙළඳ තීරු බදු නීති විරෝධී බව පවසමින් අවලංගු කරන ලදී. එ
මඟින් අහිමි වූ බදු පැනවීමේ බලය නැවත ලබා ගැනීමට සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟහැරීමට ට්‍රම්ප් පරිපාලනය විසින් ‘Section 301’ විමර්ශනය උපක්‍රමශීලී මෙවලමක් ලෙස භාවිත කර ඇත.
අනෙක් අතට, මෙය චීනය සමඟ පවතින පුළුල් වෙළඳ යුද්ධයේම තවත් එක් දිගුවකි. චීනය සෘජුව ඇමෙරිකාවට භාණ්ඩ අපනයනය නොකර ශ්‍රී ලංකාව වැනි තුන්වන පාර්ශවීය ආසියානු රටවල් හරහා තම අමුද්‍රව්‍ය ප්‍රති-අපනයනය කිරීම සහ සැපයුම් දාම මිශ්‍ර කිරීම වැළැක්වීම වොෂින්ටනයේ සැබෑ භූ-දේශපාලනික උපායමාර්ගයයි. එබැවින්, මෙම බදු ප්‍රහාරයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාව වහාම ක්‍රියාත්මක වී තම අපනයන භාණ්ඩවල සමස්ත සැපයුම් දාමයේ විනිවිදභාවය තහවුරු කරන නීතිමය රාමුවක් සැකසීමටත්, ජූලි මස අවසානයට පෙර ඇමෙරිකාව සමඟ ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික එකඟතාවකට පැමිණීමටත් කටයුතු කළ යුතු ව තිබේ.
