මාධ්‍ය නිදහස සහ පුරවැසි අයිතිය උල්ලංඝනය කරමින් කතරගම ප්‍රාදේශීය සභා ගර්භයෙන් මාධ්‍යවේදියා පිටුවහල් කිරීමට තැත් කරයි!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චිගේ වාර්තාවකි

කතරගම ප්‍රාදේශීය සභාවේ අද (12) දින පැවැති මාසික සභා රැස්වීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී හසිත වීරසිංහ මහතාට, සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සභා ගර්භයෙන් නෙරපීමට තැත් කරමින් ඔහුගේ මාධ්‍ය රාජකාරියට දැඩි ලෙස බාධා කිරීමේ සිදුවීමක් වාර්තා වේ.

ප්‍රාදේශීය සභා පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් ඇති කරමින් සිදුවූ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් එකහෙළා විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර, ඔවුන්ගේ දැඩි මැදිහත්වීම මත එදිනට පමණක් රැඳී සිට සභා වාරය වාර්තා කිරීමට මාධ්‍යවේදියාට පසුව අවස්ථාව හිමිව තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ, අදාළ මාධ්‍යවේදියා විසින් ජනතාව නොමඟ යවන සුළු පුවත් දිගින් දිගටම පළ කිරීම හේතුවෙන් එලෙස නොකරන ලෙස තමන් ඉල්ලීමක් කළ බවයි. ඒ සමඟම තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ද ඊට විරෝධය පළ කළ නමුත්, පසුව ඔහුට දිගටම වාර්තාකරණ කටයුතුවල නිරත වීමට ඉඩ දුන් බව සභාපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, නීතිමය ප්‍රතිපාදනවලට අනුව මාධ්‍යවේදියෙකු පළ කළ වාර්තාවක් පදනම් කරගනිමින් සභා ගර්භයෙන් මාධ්‍යවේදියෙකු හෝ සාමාන්‍ය පුරවැසියෙකු නෙරපා හැරීමට සභාපතිවරයාට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට නෛතික බලයක් නොමැත.

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ පැහැදිලිවම දක්වා ඇත්තේ ප්‍රාදේශීය සභා රැස්වීම් පොදු මහජනතාව සහ මාධ්‍ය සඳහා විවෘත විය යුතු බවයි. සභාවේ ස්ථාවර නියෝග (Standing Orders) ප්‍රකාරව, සභාවේ කටයුතුවලට බාධා වන අයුරින් අශෝභන ලෙස හැසිරෙන අයෙකු සභා ගර්භයෙන් ඉවත් කිරීමට සභාපතිවරයාට බලය තිබුණද, සාමකාමීව මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදියෙකු කලින් පළ කළ පුවත් අත්තනෝමතික ලෙස විවේචනය කරමින් සභාවෙන් එළියට ඇද දැමීමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැත.

ප්‍රාදේශීය සභාව යනු පුද්ගලික දේපලක් හෝ ආයතනයක් නොවන අතර එය සමස්ත ප්‍රදේශයේම මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන, ජනතාවට වගකියන ප්‍රධානම රාජ්‍ය ආයතනයයි. එහි සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව දැනගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) සියලු පුරවැසියන් සතු වන අතර, එය අනාවරණය කිරීම මාධ්‍යවේදියාගේ වගකීමකි.

විෂයභාර මාධ්‍ය අමාත්‍යවරයා හරහා මාධ්‍යවේදීන්ට නිල අවසර ලබා දී ඇති පසුබිමක, මෙලෙස පොදු දේපලක් තුළ සිදුවන මහජන නියෝජිතයන්ගේ හැසිරීම් වාර්තා කිරීමට හරස් වීමට කිසිදු නිලධාරියෙකුට සාමාන්‍ය නෛතික බලයක් නැත. තමන්ට පක්ෂපාතී පුවත් පමණක් බලාපොරොත්තුවෙන් සිදුකරන මෙවැනි වාරණයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තියෙන් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ සහ මාධ්‍ය නිදහසේ මූලික අයිතිවාසිකම බිඳදැමීමකි.
මීට පෙරද කතරගම ප්‍රාදේශීය සභාවේ විවිධ ගැටුම්කාරී තත්ත්වයන් මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණද, එවකට සිටි පාලන අධිකාරීන් මෙවැනි ඒකාධිපති, අනීතික මාධ්‍ය වාරණයන්ට උත්සාහ කර නොතිබීම විශේෂත්වයකි. මාධ්‍යවේදියෙකු අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඊට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීම විවෘතව පවතිද්දී, මෙලෙස සමස්ත මාධ්‍ය නිදහසටම තර්ජනයක් වන පරිදි මැර බලයෙන් කටයුතු කිරීම මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි හෙළාදැකීමට ලක්ව ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading