හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින ආකාරය සම්බන්ධයෙන් විශේෂ නිරීක්ෂණයක් සිදුකර නොමැති බවත්, එහි රඳවා සිටින සියල්ලන් සම්බන්ධයෙන්ම සිය නිලධාරීන් එහි ගොස් නිරීක්ෂණයන් සිදුකරන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා පවසයි.
ඔහු ඒ බව පැවසුවේ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින ආකාරය සම්බන්ධයෙන් එම කොමිසම වාර්තාවක් නිකුත් කර ඇති බවට ඔහුව උපුටා දක්වමින් සිදුකර ඇති මාධ්‍ය වාර්තා පිළිබඳ විමසීමේදීය.
සිය නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින පිරිස් ගැන අවසන් නිරීක්ෂණය සිදුකළේ මීට මාසයකට පමණ පෙර බවත්, සැකකරුවන් රඳවා සිටින කුටිවලට නිසි වාත්‍රාශයක් නොලැබීම පොදු තත්වයක් බවත්, එය සුරේෂ් සලේ රඳවා සිටින කුටියට පමණක් සීමා වූ දෙයක් නොවන බවත් පුංචිහේවා මහතා පවසයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සැකකරුවන් රඳවා සිටින කුටිවල තත්වයන් පිළිබඳ මෙතෙක් වාර්තාවක් නිකුත් කර නැති බව හා ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර නැති බවත්ය.
