ශ්‍රී ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් රජයේ 2025 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණන සමාලෝචනය නිකුත් කර ඇති අතර, එමගින් මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය තුළ රුපියල් බිලියන 2.67 ක ගිණුම් පරතරයක්, වාර්තා නොකළ විදේශ ණය සහ දත්ත වාර්තා කිරිමේ පුළුල් නොගැලපීම් අනාවරණය කර ඇත.
මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව, 2026 ජූනි මස වන විට ශ්‍රී ලංකාවේ මුළු මධ්‍යම රජයේ ණය ඇමරිකානු ඩොලර් බිලියන 98.96 ක් ලෙස සටහන් වේ.
විගණකාධිපතිවරයාගේ සමාලෝචනය මගින් සැලකිය යුතු පද්ධතිමය දුර්වලතා, ගිණුම්කරණ දෝෂ සහ දත්ත නොගැලපීම් ඉස්මතු කර දක්වා ඇත.
ණය කළමනාකරණ පද්ධතියේ (Debt Management System) තොග සහ ප්‍රවාහයන්ගේ (Stock and Flow) ආරම්භක ශේෂයන් අතර රුපියල් බිලියන 2.672 ක ශුද්ධ නොගැලපීමක් විගණකවරුන් විසින් සොයාගෙන ඇත.
භාණ්ඩාගාරයේ සහතික කිරීම් තිබියදීත්, 2025 වසර තුළ ලැබුණු විදේශ ණය මුදල්, රජයේ මූල්‍ය ප්‍රකාශන සහ ප්‍රධාන ණය කළමනාකරණ පද්ධතිය යන දෙකම මුළුමනින්ම මඟහැර යාමේ “ඉහළ අවදානමක්” පවතින බවට විගණකාධිපතිවරයා අනතුරු අඟවා ඇත. විදේශ ණය ගිවිසුම් හතරක් හරහා ණය ලබාදීම් රුපියල් බිලියන 2.01 කින් මූල්‍ය ප්‍රකාශනවල වැරදි ලෙස වැඩි කර දක්වා ඇත.
රජයේ ගිණුම්කරණයේදී හඳුනාගත් කිසිදු අනුරූපී භෞතික හෝ ප්‍රාග්ධන වත්කමකින් තොරව, රුපියල් බිලියන 518.3 ක අතිවිශාල විදේශ ණය ශේෂයන් ගිණුම් පොත්වල සක්‍රියව පවතී. 2024 දෙසැම්බර් 31 දිනට පෙර විදේශ ණය තුනක් හරහා වාර්තා වූ රුපියල් බිලියන 1.07 ක නොගැලපීමක් ද භාණ්ඩාගාරය විසින් තවමත් නිවැරදි කර නොමැත.
ක්ෂණික මූල්‍යකරණ මෙවලම (RFI) සහ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය ගිණුම්ගත කිරීමේදී ද නොගැලපීම් නිරීක්ෂණය විය.
ණය වියදම් සහ පොලී පිරිවැය නිවැරදි ගිණුම්කරණ කාලසීමාවන්ට ගණනය කර හෝ පවරා ඇත්ද යන්න පිළිබඳව විගණනයේදී ප්‍රශ්න කර ඇත.
Rebuilding Sri Lanka වැඩසටහන නීත්‍යානුකූලව ස්ථාපිත ව්‍යවස්ථාපිත අරමුදලක් නොමැතිව, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා යටතේ ඇති ගිණුමක් හරහා අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන බව විගණන කාර්යාලය විසින් පෙන්වා දී තිබේ.
අලුතින් පිහිටුවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ ණය සංරචකය ඩොලර් මිලියන 98,965 කි. මුළු විදේශ ණය ඩොලර් මිලියන 37,468 ක් ලෙස පියවා ඇති අතර, එය පෙර කාර්තුවට වඩා ඩොලර් මිලියන 195 ක නාමික අඩුවීමකි.
දත්ත හිඩැස් සහ විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන් රුපියල් බිලියන 518.3 ක වත්කම් නොගැලපීම් නිවැරදි කිරීම සඳහා, මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය විසින් ‘ණය පද්ධති සහ මූල්‍ය ප්‍රකාශන ඒකාබද්ධ කිරීම’ (Integration of Debt Systems and Financial Statements) නම් වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල නිත්‍යානුකූල අරමුදලක් ලෙස ක්‍රියාත්මක කිරීමට පසුබිම සකසමින් සිටී.
මෙය එම ගිණුම් සම්මත රජයේ ගිණුම්කරණ කේත යටතට ගෙන එන අතර කාලසීමා වාර්තාකරණ දෝෂ (period-cut recording errors) අවම කරයි.
(සන්ඩේ ටයිම්ස් වාර්තාවක් ඇසුරිනි.)
