ඇමෙරිකාවේ නවතම තීරුබදු පැනවීමේ තීන්දුවක් සමඟ ගෝලීය සැපයුම් දාමය සහ ජාත්‍යන්තර වෙළඳපොළ දැඩි කැළඹීමකට ලක්ව තිබේ.
බලහත්කාර ශ්‍රමය (Forced Labor) භාවිත කරමින් නිපදවන භාණ්ඩ තම රටවලට ආනයනය කිරීම තහනම් කිරීමට සහ එම නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බව පවසමින්, ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ ප්‍රමුඛ පෙළේ ආර්ථිකයන් 60 කට අතිරේක තීරු බදු පැනවීමට ඇමෙරිකානු එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) නිල වශයෙන් යෝජනා කර ඇත.
ඇමෙරිකානු වෙළඳ නියෝජිත Jamieson Greer මහතා ප්‍රකාශ කරන්නේ බලහත්කාර ශ්‍රමය යොදාගන්නා සමාගම් නිසා ඇමෙරිකානු කම්කරුවන්ට අසාධාරණ ගෝලීය තරඟකාරීත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවයි.
“අපගේ වැදගත්ම වෙළඳ හවුල්කරුවන් බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ තම රටවලට ගලා ඒම නැවැත්වීමට පියවර නොගැනීම කිසිසේත්ම පිළිගත නොහැකියි. අප තවදුරටත් මෙම අසමතුලිතතාවයට ඉඩ තබන්නේ නැහැ” යනුවෙන් ඔහු දැඩි ප්‍රකාශයක් සිදු කර ඇත.
මෙම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව රටවල් කාණ්ඩ දෙකක් යටතේ බදු පැනවීමට අදහස් කරයි. කැනඩාව, මෙක්සිකෝව, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය වැනි බලහත්කාර ශ්‍රම ආනයන අර්ධ වශයෙන් හෝ පාලනය කිරීමට පියවර ගත් රටවලට 10% ක අතිරේක බද්දක් පැනවෙන අතර, එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව, ජපානය සහ ස්විට්සර්ලන්තය ඇතුළු අනෙකුත් රටවල් 54 කට 12.5% ක දැවැන්ත අතිරේක තීරු බද්දක් පැනවීමට යෝජනා වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආර්ථික ජීවනාලිය සහ වැඩිම විදේශ විනිමයක් උපයන ක්ෂේත්‍රය වන්නේ ඇඟලුම් කර්මාන්තයයි.
USTR වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව ඇමෙරිකාවට ඇඟලුම් අපනයනය කරන අතරතුරම, බලහත්කාර ශ්‍රම අවදානම ඉහළ මට්ටමක පවතින විදේශීය යෙදවුම් (Inputs) තම නිෂ්පාදන සඳහා බහුලව භාවිත කර ඇත.
විශේෂයෙන්ම, චීනයේ ෂින්ජියැන්ග් කලාපයේ බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන බවට සැකකෙරෙන කපු (Cotton), රෙදිපිළි මෙන්ම ලිතියම්-අයන් බැටරි සහ ඉලෙක්ට්‍රොනික උපාංග ශ්‍රී ලංකාව විසින් ආනයනය කරනු ලබයි. ඒ අනුව ඇමෙරිකාව දැන් අපට බලපෑම් කරන්නේ චීනයේ භාණ්ඩ ආනයනය සීමා කරන ලෙසටයි.
මෙම අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙරට තුළ මසා නිමකරන ඇඟලුම් (Downstream products) ඇමෙරිකානු වෙළඳපොළට යැවීම හරහා ඇමෙරිකාවේ පවතින උයිගුර් බලහත්කාර ශ්‍රම වැළැක්වීමේ පනත (UFLPA) වක්‍රව උල්ලංඝනය වන බව වොෂින්ටනයේ නිගමනයයි. 2022 සිට 2026 දක්වා කාලය තුළ ඇමෙරිකානු රේගුව (CBP) විසින් බලහත්කාර ශ්‍රම සැකය මත රඳවාගත් හෝ ප්‍රතික්ෂේප කළ ඇඟලුම් නැව්ගත කිරීම් සිදුකළ රටවල් අතර ද ශ්‍රී ලංකාව ප්‍රමුඛව සටහන්ව තිබේ.
මෙම නව 12.5% ක බද්ද ක්‍රියාත්මක වුවහොත් ඇමෙරිකානු වෙළඳපොළ තුළ ලංකාවේ ඇඟලුම් මිල ඉහළ ගොස්, බංග්ලාදේශය හෝ කාම්බෝජය වැනි සහනදායී ගිවිසුම් සහිත රටවල් සමඟ තරඟ කිරීමට නොහැකිව ලංකාවේ ඇඟලුම් ඇණවුම් මුළුමනින්ම අහිමි වීමේ අවදානමක් පවතී.
ඇමෙරිකාව මෙම සමස්ත ක්‍රියාවලිය “මානුෂීය සහ සදාචාරාත්මක මෙහෙයුමක්” ලෙස ලෝකය හමුවේ තැබුවද, මෙහි පසුපස ඇති සැබෑ දේශපාලනික සහ ආර්ථික අරමුණු දෙකක් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පසුගිය 2026 පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද හදිසි තීරු බදු (Emergency Tariffs) නීති විරෝධී බව පවසමින් අවලංගු කරන ලදී. මෙම තීන්දුවත් සමඟ ජනාධිපතිවරයාට අභිමතය පරිදි බදු පැනවීමට තිබූ බලය අහිමි විය. මෙම දේශීය දේශපාලන අර්බුදයෙන් ගැලවීමට සහ අහිමි වූ බදු බලතල නැවත ලබා ගැනීමට (rebuild its emergency tariffs) ට්‍රම්ප් පරිපාලනය විසින් 1974 වෙළඳ පනතේ ‘Section 301’ නැමැති නීතිමය සිදුර (Loophole) ඉතා සූක්ෂම ලෙස භාවිත කර ඇත. බලහත්කාර ශ්‍රමය මැඩපැවැත්වීමේ ලේබලය අලවා, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟහැර ලෝකයටම බදු ගැසීමට ඔවුන්ට දැන් අවස්ථාව ලැබී තිබේ.
මෙම බදු පැනවීම හරහා ඇමෙරිකාවට ඇතුළු වන සමස්ත ආනයනවලින් 99.40% ක්ම පාලනය කිරීමට වොෂින්ටනයට හැකියාව ලැබී ඇත. මෙහි ප්‍රධානතම ඉලක්කය චීනයයි. චීනය සෘජුව ඇමෙරිකාවට භාණ්ඩ අපනයනය නොකර ශ්‍රී ලංකාව, වියට්නාමය, තායිලන්තය වැනි ආසියාතික රටවල් හරහා තම අමුද්‍රව්‍ය ප්‍රති-අපනයනය කිරීම (Transshipment) හෝ සැපයුම් දාමයන් මිශ්‍ර කිරීම (Commingling) සිදු කරයි.
මේ හරහා චීනයේ කාර්මික අතිරික්ත ධාරිතාව (Excess Industrial Capacity) ලෝකය පුරා ව්‍යාප්ත වීම වැළැක්වීම ඇමෙරිකාවේ සැබෑ භූ-දේශපාලනික අරමුණයි.
ඇමෙරිකාවේ මෙම තීරණය තවමත් අවසානාත්මක නොවේ.
USTR ආයතනය විසින් මේ පිළිබඳව මහජන අදහස් දැක්වීම් සඳහා 2026 ජූලි 6 වනදා තෙක් කල් ලබා දී ඇති අතර, ජූලි 7 වනදා වොෂින්ටනයේදී විවෘත සාක්ෂි විමසීමේ ශ්‍රවණාගාර රැස්වීම් පැවැත්වීමට නියමිතය.
ඇමෙරිකානු වෙළඳපොළ අහිමි කර නොගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සංගම් වහාම ක්‍රියාත්මක වී, තමන් භාවිත කරන අමුද්‍රව්‍ය බලහත්කාර ශ්‍රමයෙන් තොර බව තහවුරු කෙරෙන විනිවිදභාවයකින් යුතු “සැපයුම් දාම ලුහුබැඳීමේ පද්ධතියක්” (Supply Chain Tracing System) හඳුන්වා දීමට පියවර ගත යුතුය.
එසේ නොමැති වුවහොත්, ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය ඇමෙරිකානු වෙළඳ යුද්ධයේ ගොදුරක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.
