2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ විදේශ පාඨමාලාවකට යැවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (03) උදෑසන අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (03) නියෝග කර තිබේ.
ඒ අනුව සැකකරු වසන්ත කරන්නාගොඩ ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කර තිබේ.
මීට අදාළ යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිනි වික්‍රමසිංහ මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, 1995 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුළ නිලධාරීන් පස් දෙනෙකු ශිෂ්‍යත්ව ක්‍රමවේදය යටතේ මෙම පාඨමාලාව සඳහා යවා ඇති නමුත් යෝෂිත රාජපක්ෂ සහභාගි වූ පාඨමාලාව වෙනුවෙන් පමණක් රුපියල් 6,284,218.61ක අධික මුදලක් රජයෙන් වැය කර ඇති බවත් සැකකරුගේ මෙම ක්‍රියාව හේතුවෙන් රජයට එකී සම්පූර්ණ මුදලම පාඩු වී ඇති බවයි.
