“ජයකොඩි නාඩගම සහ එහි අවලක්ෂණ දසුන” – සසංක පෙරේරා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සම්බන්ධයෙන් දැනට පවතින නඩුව, ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ඔහුගේ රජයට මහජනතාව හමුවේ ප්‍රබල මතභේදාත්මක කරුණක් බවට පත්ව ඇත. රජය හැකි සෑම ලෙසකින්ම තමන්ගේ ගජ මිතුරන් ආරක්ෂා කරන බව මේ වන විට සැකයකින් තොරව ඔප්පු කර තිබේ. ජයකොඩි මෙතෙක් වැරදිකරු බවට ඔප්පු වී නැත. ඇතැම් විට ඔහු වැරදිකරු නොවීමටච ද ඉඩ තිබේ. එහෙත්, මේ සිද්ධිය මහජනයා රජය පිළිබඳව ඇති පුළුල් පිළිගැන්ම මෙන්ම දූෂණය නොඉවසීම සම්බන්ධයෙන් රජයේ ප්‍රභල ප්‍රතිපත්තිය තව දුරටත් පිළිගන්නේ ද යන්න පිළිබඳ කාරණයක් ද වේ.

මෙම නඩුව පිළිබඳ අප දන්නා තොරතුරුවලට අනුව අදාළ සිදුවීමේ මූලය ඇත්තේ 2014 සිට 2016 දක්වා වූ කාල සීමාව තුලය. මේ අවදියේ රජයට අයත් ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස ජයකොඩි කටයුතු කළ සමයේ සිදුවූ බව කියන ක්‍රියා දාමයකට අදාළව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කළ චෝදනා මත පදනම්ව, 2026 මාර්තු 27 දින කොළඹ මහාධිකරණය විසින් ජයකොඩිට අධිචෝදනා භාර දෙන ලදී. ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලපෑම් කිරීම මගින් රජයේ භාණ්ඩාගාරයට රුපියල් මිලියන 8.86ක මූල්‍ය අලාභයක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

සැබැවින්ම, වරදකරු බව ඔප්පු වන තෙක් අමාත්‍යවරයා නිර්දෝෂී වේ. මේ ගැන ගැටළුවක් නැත. නමුත් මෙය හුදෙක් නීතිය හෝ නෛතික හා ආයතනික ක්‍රියාපටිපාටිය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව, සදාචාරය සහ සදාචාරාත්මක හැසිරීම මහජනයාට පෙනෙන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් ද වේ. එනම්, මෙය ‘මහජන දසුන’ පිළිබඳ ප්‍රශ්නයකි. වත්මන් රජයේ දූෂණ විරෝධී ව්‍යාපාරය පසුබිම් කරගෙන බලන කල, තම නඩුව විසඳන තෙක් ජයකොඩිට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තු කටයුතුවලින් ද විධිමත් ලෙස ඉවත් වීම ඉතා සරල දෙයකි. එය සිදු වූයේ නැත. එබැවින්, ඔහුගේ නඩුව අධිකරණය මගින් විසඳන තෙක් රජයටම ඔහුගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටීමට ද අවස්ථාව තිබුණි. එය ද සිදු නොවීය.

මෙහිදී පැහැදිලිව පෙනෙන වඩාත් අවාසනාවන්ත කරුණ වන්නේ, 1970 දශකයේ සිට ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ වගවීම යන ශිෂ්ට සම්පන්න හැදියාව මුළුමනින්ම තුරන් කර ඇති බැවින්, මෙවැනි ස්වේච්ඡා ක්‍රියාමාර්ගයක් මෙරට දැනට ක්‍රියාත්මක වන කිසිම දේශපාලන පක්ෂයකින් අපේක්ෂා කළ නොහැකි වීමය. මේ රජය පෙන්වා දී තිබෙන්නේ මේ අචාරධර්මීය නිශේධනීයත්වය තමන්ටත් පොදු බවය.

මෙසේ ඉල්ලා අස්නොවීමේ නීති විරෝධීත්වයක් නොතිබිය හැකි වුවද, එමගින් රටට ඉදිරිපත් කරන ප්‍රසිද්ධ දසුන නම් කෙලෙසින්වත් ‘පාරිශුද්ධ’ නොවේ. මෙමගින් මුළුමනින්ම පාහේ බිඳ වැටී, යන එන මං නැතිව සිටින අප රටේ සුන්බුන් විපක්ෂයට අනවශ්‍ය සටන් පාඨ සපයා දීමක් සිදු වී ඇති අතර, තවමත් රජයට හිතැතිව සිටින සහ රජය බලයට පත් කිරීමට නොමද සහායක ලබා දුන් ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් කනස්සල්ලට පත්කිරීමට ද හේතු වී ඇත.

දූෂණය කිසි ලෙසකින් හෝ නොඉවසීමේ ප්‍රතිපත්තිය ගැන කතා කිරීමේදී ජනාධිපතිවරයා සහ රජයේ නායකයින් ඓතිහාසිකව කේන්ද්‍රීය හඬක් නැගූ පිරිසකි. පසුගිය ආණ්ඩුවල අතිවිශාල දූෂණ පිටු දැකීමේ දැඩි උනන්දුව වත්මත් රජයට අති-විශාල බලයක් ලබා දීමේ මහජන අභිලාශයේ ප්‍රධාන පදනමකි. එහෙත් ජයකොඩිට එරෙහි අධිචෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රසිද්ධ ප්‍රතිචාර සහ රජයේ සිටින ඔහුගේ සගයන්ගේ ප්‍රතිචාර දෙස බැලීමේදී පැහැදිලි වන්නේ, ඔවුන් නෛතික හා ආයතනික ‘ක්‍රියාපටිපාටියට අනුකූල වීම’ (procedural adherence) යන කාරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

මෙය වැදගත් කරුණකි. අවාසනාවන්ත කරුණ වන්නේ, මීට අමතරව, තාවකාලිකව අමාත්‍යවරයා වහාම ඉවත් කර නඩුව විසඳීමට ඉඩ දී සහ වඩා වැදගත් ලෙස, මහජන විශ්වාසය තහවුරු කිරීමටත්, පැහැදිලිවම පෙනෙන තෙක් මානයේ අනාගතයක් නොමැති විපක්ෂයට අනවශ්‍ය සටන් පාඨ අහිමි කිරීමටත් ඔවුන් ක්‍රියා කර නැති වීමය. මිතුරන් සම්බන්ධ කාරණාවලදී සදාචාරය සහ මහජන දසුන, නැතහොත් යමක් සමාජයට පෙනෙන ආකාරය වටහා ගැනීමට තමන්ට ඇති නොහැකියාව ජනාධිපතිවරයා සහ රජය නැවත වරක් ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කර දී ඇත.

එසේ වුවද, මෑත කාලයේදී රටේ දූෂණ මට්ටම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව අප පිළිගත යුතුය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ‘දූෂණ අවබෝධතා දර්ශකය’ පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාවේ දූෂණ දර්ශකය 2024 වසරේ 121 වැනි ස්ථානයේ සිට 2025 වසරේදී 107 වැනි ස්ථානය දක්වා අඩුවීමක් පෙන්නුම් කර ඇත.

එමෙන්ම, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ, ඝෝටාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යුගයන්ට සාපේක්ෂව, වත්මන් රජය මේ දක්වා ‘අධිකරණයේ ස්වාධීනත්වය’ සඳහා වැදගත් අවකාශයක් නිර්මාණය කර ඇති බව ද පැහැදිලිය. එනම්, නෛතික ක්‍රියාවලීන්ට ඇඟිලි නොගසා සිටීමය.

රජය සිය ස්ථාවරය ඉදිරිපත් කර ඇත්තේ ද පැහැදිලිවම මෙම සන්දර්භය තුළය. එනම්, රජයේ සක්‍රීය කැබිනට් අමාත්‍යවරයෙකුට එරෙහිව රාජ්‍ය කොමිසමක් මගින් අධිචෝදනා ගොනු කර ඇති අවස්ථාවක වුවද, අධිකරණයෙන් අමාත්‍යවරයාට ඇප ලබා දී තිබුන ද ඔහුගේ නඩුව විභාග කිරීම සඳහා 2026 මැයි මස මුල දිනයක් නියම කර තිබීමය. මෙයින් හැඟවෙන්නේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බව යන්න ඔවුන්ගේ තර්කයයි. මෙහි සත්‍යයක් තිබෙන බව ද අප පිළිගත යුතුය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය වෙනුවෙන් පොදු සමාජයේ පෙනී සිටින ප්‍රබල මතධාරීන් තර්ක කරන්නේ, අදාළ දූෂණ චෝදනාව මීට වසර දහයකට පෙර — එනම් ජයකොඩි අමාත්‍යවරයෙකු නොවූ හා වත්මන් රජයේ කොටස්කරුවෙකු නොවූ කාලයක — සිදුවූවක් බැවින්, එම ක්‍රියාවන් ඔහුගේ වර්තමාන කාර්යසාධනයට හෝ වත්මන් රජයේ අවංකකතත්වයට හෝ බලපෑමක් නොකරන බවයි.

මෙවැනි අන්ධ විශ්වාස, දේශපාලනික මෝඩකම් සහ පටු පක්ෂග්‍රාහීත්වය දිගුකාලීනව රජයට හානි කළ හැකි බවත්, දැනටමත් ජනතා අප්‍රසාදයට පත්ව ඇති පැරණි පාලන තන්ත්‍රවල ගොඩටම වත්මත් රජය ද ඇද දැමීමට එයට හැකියාව ඇති බවත් මේ ආධාරකරුවන් මෙන්ම රජය ද වටහා නොගැනීම සැබැවින්ම අවාසනාවන්තය.

මෙහි අවසාන, ශිෂ්ටසම්පන්න සහ එකම බුද්ධිමත් නිගමනය විය යුත්තේ, අදාළ අපරාධය කවදා සිදුවූවක්ද යන්න නොසලකා, මහාධිකරණයේ අධිචෝදනා ලැබීම යනු වත්මන් රජය නියෝජනය කරන ජාතික ජන බලවේගය විසින් ප්‍රවර්ධනය කරන ලද ‘අවංක බවේ උසස්ම ප්‍රමිතීන්’ යටතේ පුද්ගලයෙකු රජයේ තනතුරු දැරීමට නුසුදුස්සෙකු කිරීමට ප්‍රමාණවත් කරුණක් විය යුතු බවයි.

එනමුත්, මගේ අදහසට අනුව, මෙය නඩුව අවසන් වන තෙක් පමණක් රජය ගත යුතු අතුරු පියවරක් ලෙස තේරුම් ගත යුතුයි. මෙහි අවසානය තීරණය කළ හැක්කේ අදාළ නඩුවේ නිගමනය මත වේ.

නැවතත් කිව යුත්තේ, මෙය නීතිය හෝ නෛතික හා ආයතනික ක්‍රියාපටිපාටිය පිළිබඳ ප්‍රශ්නයක් නොව, සදාචාරය, දෘශ්‍යමාන බව හෝ මහජන දසුන සහ මහජන විශ්වාසය රැක ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් බවයි.

වත්මන් සිදුවීම දෙස බලන විට රජයේ මුල් කාලයේදී සදාචාරය සහ දෘශ්‍යමාන බව සම්බන්ධයෙන් වූ තවත් සිදුවීමක් සිහිපත් වේ. ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් තමන්ට ආචාර්ය උපාධියක් ඇති බවට කළ ප්‍රකාශ අසත්‍ය බව හෙළි වීමෙන් පසු, 2024 දෙසැම්බර් මාසයේදී එවකට කථානායක වූ අසෝක රන්වලට ඉල්ලා අස්වීමට සිදු විය.

ඔහුගේ උපාධි කතාව කෙලෙසින් බැලුව ද පැහැදිලි බොරුවක් විය. රන්වල පොරොන්දු වූ පරිදි තම උපාධි සහතික පත්‍ර මෙතෙක් අප කිසිවෙක්ට හෝ පෙන්වා නැත. එකල ඇති වූ දැඩි මහජන විරෝධය හේතුවෙන් ඔහුට කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූවත්, ඔහු තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.

ඒ සම්බන්ධයෙන් එවකට මා ඉදිරිපත් කළ තර්කය වූයේ, මැතිවරණ ක්‍රියාවලිය පුරාම සහ පසුව කථානායකවරයා ලෙසත් තම සුදුසුකම් පිළිබඳව ඔහු නොපැකිලවම බොරු කී නිසා, ඔහුව පාර්ලිමේන්තුවෙන් ද ඉවත් කළ යුතු බවයි.

නමුත් ඔහුව කථානායක ධුරයේ තබා ගැනීම විශාල මහජන අප්‍රසාදයකට හේතු වූ බැවින්, ඔහුට එයින් ඉල්ලා අස්වීමට කටයුතු සලසා, පාර්ලිමේන්තු අසුනේ පමණක් රඳවා ගනිමින් රජය තම සගයාව හැකි පමණින් ආරක්ෂා කළේය. එහිදී බලපෑ එකම පදනම වූයේ ජයකොඩි මෙන්ම ඔහු ද ‘ගජ මිතුරෙකු’ වීමයි.

පැහැදිලිවම, මෙම තර්කය මෙහෙයවනු ලබන්නේ ජෝර්ජ් ඕවෙල්ගේ ‘Animal Farm’ නවකතාව මගින් ලොවට දායාද කළ සදාකාලික සත්‍යයක් වන අදහසක් මගිනි. එනම්, “සියලු සතුන් සමාන වේ, නමුත් ඇතැම් සතුන් අනෙක් සතුනට වඩා වැඩියෙන් සමාන වේ” යන්නයි. වර්ථමානයේ පවතින බල දේශපාලනය හමුවේ, මෙය විශේෂයෙන්ම බලපාන්නේ අදාළ පුද්ගලයින් ජාතික ජන බලවේග රජය හා සම්බන්ධව සිටී නම්ය.

මේ සම්බන්ධයෙන් රජය පෙන්වා ඇති දැඩි අකර්මන්‍යත්වය සහ අතිශයින් දුර්වල මහජන ප්‍රතිචාරය මඟින්, රජය විසින්ම ප්‍රවර්ධනය කරන ලද ‘පද්ධතිමය වෙනස’ (system change) යන සටන් පාඨය කෙරෙහි තිබූ සාමූහික විශ්වාසය පළුදු කරන්නට පදනමක් සපයයි. ප්‍රතිපත්තියක් තමන්ට වාසිදායක අවස්ථාවලදී පමණක් පිලිගැනීමත්, ඒවා වාසිදායක නොවන අවස්ථාවලදී බැහැර කිරීමත් කෙසේවත් සදාචාරාත්මක කටයුත්තක් වන්නේ නැත.

රජය දැනුවත්වම, පහසුවෙන් වළක්වා ගත හැකිව තිබූ තවත් අපකීර්තිමත් අන්තයක් කරා තම සමස්ථ ව්‍යාපාරයම දක්කා ගෙන යන අතර, සදාචාරය පිළිබඳව මොනාකෝ රාජ්‍යයේ දෙවන ඇල්බට් කුමරු 2005 ජූලි මාසයේ කළ පහත සඳහන් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි: “මගේ රජයේ ප්‍රමුඛතා, එහි මහජන නියෝජිතයින්ගේ තීරණ හා සමස්ත රාජ්‍යයේම තීරණවල කේන්ද්‍රස්ථානය ලෙස සදාචාරය, අවංකභාවය සහ ආචාරධර්ම පවතිනු දැකීමට මම කැමැත්තෙමි.” එවන් කැමැත්තක් තම සගයන් සම්බන්ධයෙන් මේ රජයට ඇති බවක් නොපෙනේ.

(2026 අප්‍රේල් 6 වැනිදා ‘The Island’ පුවත්පතේ ‘NPP’s Orwellian Dystopia and the Jayakody Saga’ යන මැයෙන් පළවූ සසංක පෙරේරාගේ තීරු ලිපියේ සංස්කරණ සහිත සිංහල අනුවාදයකි)

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading