#Breaking මනුෂ්‍ය වර්ගයා පෘථිවියේ සිට අභ්‍යවකාශයේ ගමන් කළ වැඩිම දුර ආර්ටෙමස් 2 වාර්තා කරයි!

සඳුදා පස්වරු 1:57 ට (EDT), නාසා ගගනගාමීන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර් සහ ක්‍රිස්ටිනා කොක් සමඟ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් පෘථිවියේ සිට සැතපුම් 248,655 ක (කිලෝමීටර් 400,171) දුර සීමාව පසු කළහ. මෙය මීට පෙර 1970 වසරේදී ඇපලෝ 13 මෙහෙයුමේ ගගනගාමීන් වූ ජේම්ස් ලොවෙල්, ජෝන් ස්විගර්ට් සහ ෆ්‍රෙඩ් හේස් විසින් තබා තිබූ වාර්තාව අභිබවා යාමකි.

ඇපලෝ 13 යානය සඳ වටා ගමන් කරමින් 1970 අප්‍රේල් 15 වන දින පෘථිවියේ සිට කිලෝමීටර් 400,171 ක උපරිම දුරක් ගමන් කර තිබුණි. ආර්ටෙමස් 2 යානය අද දින එම සීමාව පසු කර යමින්, මනුෂ්‍යයන් රැගත් යානයක් විශ්වයේ ගැඹුරු අභ්‍යවකාශයට (Deep Space) ගිය වැඩිම දුර සනිටුහන් කළේය.

“අද මුළු මහත් මානව සංහතිය වෙනුවෙන්ම ඔබ ඒ සීමාවන් පුළුල් කරමින් සිටිනවා,” යැයි ශ්‍රී ලංකා වෙලාවෙන් අප්‍රේල් 6 වැනිදා රාත්‍රී 11:27ට මෙම වාර්තාව තැබූ මොහොතේ හූස්ටන් පාලන මධ්‍යස්ථානයේ සිටි කැනේඩියානු ගගනගාමී ජෙනී ගිබන්ස් යානයේ සිටින ගගනගාමීන්ට දන්වා සිටියාය.

ඊට පිළිතුරු දෙමින් යානයේ සිටි රීඩ් වයිස්මන් මෙසේ පැවසීය: “මානව වර්ගයා පෘථිවියේ සිට ගිය වැඩිම දුර ප්‍රමාණය අප පසු කරන මේ මොහොතේ, මානව අභ්‍යවකාශ ගවේෂණයේ අපට පෙර සිටි ගවේෂකයන් කළ අසාමාන්‍ය කැපකිරීම් සහ ජයග්‍රහණ අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. අපගේ පෘථිවිය වෙත නැවත පිටත් වෙන්න කලින් අපි මේ අභ්‍යවකාශයේ අදුරු අවකාශයට තවත් ගමන් කරන්නයි ඉන්නේ. අප මේ මොහොතට ළගා වෙන්නේ අපේම පරම්පරාවටත් ඊළග පරම්පරාවටත් අභියෝගයක් ලබා දෙන්නයි. මේ වාර්තාව වැඩිකල් පැවතිය යුතු නැහැ.”

මෙම ඓතිහාසික ගමන අතරතුරදී, සඳෙහි මතුපිට නිරීක්ෂණය කළ ගගනගාමීන් තමන් දුටු විශේෂිත ආවාට දෙකක් සඳහා නම් යෝජනා කළ බව පාලන මධ්‍යස්ථානය වෙත දන්වා තිබේ:

ඉන්ටෙග්‍රිටි යන නම එක් අදුරු ුආවාටයකට යොදා තිබුණි. එය ඔවුන් ගමන් කරන යානයේ ගෞරවය පිණිස පළමු ආවාටය නම් කර ඇත.

කැරල් යන නම අනෙක් නාමය විය. කණ්ඩායමේ සාමාජිකයෙකු වන Reid Wisemanගේ බිරිද සිහිපත් කරමින් දෙවන ආවාටය නම් කර තිබේ.

නවතම වාර්තා අනුව, ආර්ටෙමස් 2 යානයේ සියලුම පද්ධති ඉතා යහපත් මට්ටමින් ක්‍රියාත්මක වේ. යානය තුළ සිටින ගගනගාමීන් පෘථිවිය සමඟ සජීවීව සම්බන්ධ වෙමින් තමන් ලබාගත් අධි-විභේදන ඡායාරූප සහ දත්ත හුවමාරු කරමින් සිටිති. යානය සිය උපරිම දුර සීමාව පසු කිරීමෙන් අනතුරුව, නැවත පෘථිවිය බලා ඒම සඳහා අවශ්‍ය කක්ෂීය වෙනස්කම් සිදු කිරීමට නියමිතය.

1970 දී ඇපලෝ 13 මෙහෙයුම මෙම වාර්තාව පිහිටුවීමට සිදු වූයේ අහඹු ලෙස මතු වූ අත්‍යවශ්‍යතාවයක් නිසාය. මෙහෙයුමේ තුන්වන දිනයේදී, ඔවුන් පෘථිවියේ සිට සැතපුම් 205,000 ක් පමණ ඈතින් සිටියදී යානයේ ඔක්සිජන් ටැංකියක් පිපිරීමට ලක් විය. ගගනගාමීන් ආරක්ෂිතව ගෙන්වා ගැනීම සඳහා සඳෙහි ගුරුත්වාකර්ෂණය උපයෝගී කරගෙන සඳ වටා ගොස් නැවත පෘථිවියට ඒමට නාසා ආයතනයට තීරණය කිරීමට සිදු විය. එම හදිසි තීරණය නිසා ඔවුන් නොදැනුවත්වම මනුෂ්‍යයෙකු පෘථිවියේ සිට ගිය වැඩිම දුර පිළිබඳ වාර්තාවට හිමිකම් කීහ.

නාසා බලධාරීන් පවසන පරිදි, ආර්ටෙමස් 2 යානය පෘථිවියේ සිට සැතපුම් 252,760 ක (කිලෝමීටර් 406,778) උපරිම දුරකට ළඟා වනු ඇති අතර, එය අද රාත්‍රී 7:07 ට (EDT) සිදුවීමට නියමිතය. එනම් ශ්‍රී ලංකා වෙලාවෙන් අප්‍රේල් 7 වනදා (අඟහරුවාදා) පාන්දර 4:37 ට එසේ ළගා වනු ඇත.

මෙම මෙහෙයුම සාර්ථකව අවසන් වීමෙන් පසුව, මීළඟ අදියර ලෙස සඳ මත මිනිසුන් ගොඩබැස්වීමේ ආර්ටෙමස් 3 මෙහෙයුම සඳහා මාවත විවෘත වනු ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading