කඳුළින් ලියැවුණු නොයෙලියාගේ මරණයේ අයිතිය සහ අසංවේදී ලෝකයකින් සමුගත් සංවේදී ආත්මයක මොරගැසීම…

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරින් ඇසෙන මේ පුවත හුදු මරණයක් සම්බන්ධ සංවේදී පුවතක් පමණක් නොවේ. එය මානව හිමිකම්, පුද්ගල නිදහස සහ වෛද්‍ය විද්‍යාවේ සදාචාරාත්මක සීමාවන් පිළිබඳව ලොව පුරා දැවැන්ත සංවාදයක් යළිත් අවදි කළ සංවේදී කතාවකි. එම සාරයන් වත්මන් ලෝකයේ කෙතරම් වලංගු දැයි මනුෂ්‍යත්වයේ ශිෂ්ටත්වයේ සීමාවන් පිළිබඳව මොනවට පැහැදිලි කරයි. 25 හැවිරිදි නොයෙලියා කැස්ටිලෝ , වසර දෙකක දැඩි නීතිමය සටනකින් පසු ඊයේ (26) ගෞරවාන්විතව සමුගැනීමේ අයිතිය එසේත් නැත්නම් ස්වේච්ඡා මරණය භාවිත කරමින් මෙලොවින් සමුගත්තාය.

නොයෙලියාගේ ජීවිතය උඩුයටිකුරු වූයේ මීට වසර කිහිපයකට පෙර ඇය මුහුණ දුන් බිහිසුණු ලිංගික අපයෝජනයක් සමඟිනි. ඉන් අනතුරුව ඇය දැඩි මානසික බිඳවැටීම් සහ සුව කළ නොහැකි ස්නායු ආබාධ තත්ත්වයන්ට ගොදුරු වූවාය. ඇය විඳි කායික පීඩාව කෙතරම්ද යත්, එදිනෙදා ජීවිතයේ කුඩා හෝ කාර්යයක් කිරීම පවා ඇයට දරාගත නොහැකි වේදනාවක් ගෙන දුන්නේය.

සිරුර සිරගෙයක්

“මට දැන් සාමකාමීව මෙයින් සමුගෙන වේදනාව නතර කරගන්න අවශ්‍යයි, එපමණයි,” යනුවෙන් කැස්ටිලෝ ඇගේ මරණයට දින කිහිපයකට පෙර ස්පාඤ්ඤ පුවත් නාලිකාවක් වන Antena 3 සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.

ඇගේ මෙම තීරණය සහ විශේෂයෙන්ම එම සම්මුඛ සාකච්ඡාව විකාශය වීමත් සමඟ ස්පාඤ්ඤය තුළ වේගයෙන් සමජගත් වූ අතර මේ සම්බන්ධයෙන් දැඩි සංවාදයක් ඇති විය. ඇගේ තීරණයට සහය දුන් පිරිස මෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට පණිවිඩ එවමින් ස්වේච්ඡා මරණය තෝරා නොගන්නා ලෙස ඉල්ලා සිටි පිරිස අතර ද මෙම සිදුවීම සහ අයගේ තීරණය සම්බන්ධ පුවත වේගයෙන් පැතිරී ගියේය.

නොයෙලියා වරක් ප්‍රකාශ කළේ, ඇයගේ සිරුර ඇයටම සිරගෙයක් වී ඇති බවයි. “මට අවශ්‍ය වන්නේ පීඩාවන්ගෙන් මිදී සාමකාමීව සමුගැනීමට පමණයි,” යන ඇයගේ අවසන් ප්‍රකාශය තුළ ගැබ්ව තිබුණේ වසර ගණනාවක පීඩිත ආත්මයක මොරගැසීමයි.

තම දෙමාපියන් වෙන්වීමෙන් පසු, වයස අවුරුදු 13 සිට ගෙවුණු කිසිදු සතුටක් නැති අතෘප්තිමත් පවුල් පසුබිම ඇගේ මෙම තීරණයට මූලික හේතුව වූ බව කැස්ටිලෝ එම සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කර ඇත. කැස්ටිලෝ කලක් විශේෂ අධීක්ෂණ රැකවරණ මධ්‍යස්ථානයක ගත කර ඇති අතර, එහිදී ඇය Obsessive-Compulsive Disorder සහ ආන්තික පෞරුෂ දුබලතාවයෙන් Borderline Personality Disorder පෙළෙන බවට හඳුනා ගෙන ඇත.

මගේ ලෝකය ඉතා අඳුරුයි…

ඇය තමා මුහුණ දුන් ලිංගික අපයෝජන සිදුවීම් තුනක් පිළිබඳවද රුපවාහිනී වැඩසටහනේදී අනාවරණය කර ඇත. ඉන් එකක් ඇගේ හිටපු සහකරුවෙකු අතින් සිදු වූ බවට පැවසෙන අතර, අනෙක් සිදුවීම රාත්‍රී සමාජ ශාලාවකදී පුද්ගලයන් දෙදෙනෙකු ඇයව දූෂණය කළ බවත්, තුන්වන සිදුවීම තරුණයින් තිදෙනෙකු සම්බන්ධ වූ මත්පැන් හලකදී සිදු වූ බවත් ඇය පැවසුවා තිබේ. ඇය මෙම කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිලි කර නොතිබූ අතර දෙවන සිදුවීමෙන් දින කිහිපයකට පසු, එනම් 2022 ඔක්තෝබර් මාසයේදී, ඇය සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ. එම උත්සාහයෙන් ඇය දිවි ගලවා ගත්තද, එහි ප්‍රතිඵලයක් ලෙස ඇය අර්ධ අංශභාග තත්ත්වයට පත්ව රෝද පුටුවකට සීමා වන්නට සිදුව ඇත.

මෙම තත්ත්වය ඇය ස්වේච්ඡා මරණය ගැන සලකා බැලීමට පෙළඹවූ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වී ඇත.

“මට නින්ද යාම ඉතා අපහසුයි, ඒ වගේම මගේ කොන්දේ සහ කකුල් වල දැඩි වේදනාවක් තියෙනවා,” කැස්ටිලෝ පැවසුවාය. නමුත් ඇය අවධාරණය කළේ මෙම පීඩාව කායික වේදනාවට පමණක් සීමා නොවූවක් බවයි. ස්වේච්ඡා මරණය ඉල්ලා සිටීමට පෙර, “මගේ ලෝකය ඉතා අඳුරුයි… මට කිසිදු ඉලක්කයක්, අරමුණක් හෝ කිසිවක් තිබුණේ නැහැ,” යැයි ඇය පැවසුවාය.

නීතිමය ගමන

ස්පාඤ්ඤය 2021 වසරේදී ස්වේච්ඡා මරණ නීතිගත කළ රටකි. කෙසේ වෙතත්, තරුණ වියේ පසුවන, ශාරීරිකව මෙන්ම මානසිකව පීඩා විඳින තැනැත්තියකට මේ සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩල සහ අධිකරණ පද්ධතිය තුළ දීර්ඝ විවාදයන් ඇති විය.

වසර දෙකක් පුරා ඇය තර්ක කළේ, ජීවත් වීමේ අයිතිය මෙන්ම ගෞරවාන්විතව මියයාමේ අයිතිය ද තමා සතු විය යුතු බවයි. ඇයගේ නීතිමය සටන ලොව පුරා සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ අවධානයට ලක් වූ අතර, එය ‘මරණය තෝරාගැනීමේ අයිතිය’ පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ සංවාදයක් නිර්මාණය කිරීමට සමත් විය.

ඇගේ ඉල්ලීම 2024 ජූලි 18 වන දින කැටලෝනියා සහතික කිරීමේ සහ ඇගයීමේ කොමිසම (Catalonia Guarantee and Evaluation Commission) විසින් අනුමත කරන ලදී. එම කොමිසම නිරීක්ෂණය කළේ ඇය සුව කළ නොහැකි සායනික තත්ත්වයකින් පසුවන බැවින් සහ එමගින් ඇති කරන දැඩි පරාධීනත්වය, වේදනාව සහ ආබාධිතව විඳින පීඩාවන් හේතුවෙන් ඇය සියලුම නීතිමය අවශ්‍යතා සපුරා ඇති බවයි.

නමුත් එම වසරේම අගෝස්තු මාසයේදී, ඇගේ පියා අන්ත ගතානුගතික ආගමික කණ්ඩායමක් වන ක්‍රිස්තියානි නීතිඥයින් ගේ උපදෙස් මත ඇයට මෙවැනි තීරණයක් ගැනීමට හැකියාවක් නොමැති බව පවසමින් මෙම ක්‍රියාවලිය නැවැත්වීමට නීතිමය සටනක් ආරම්භ කළේය.

“ඔහු මගේ තීරණයට ගරු කළේ නැහැ, කවදාවත් ගරු කරන එකකුත් නැහැ,” යනුවෙන් කැස්ටිලෝ ඇගේ පියා ගැන පැවසුවාය.

එතැන් සිට ඇගේ පියා විසින් ආරම්භ කරන ලද දීර්ඝ නීතිමය ක්‍රියාවලිය හේතුවෙන් නොයෙලියාගේ ස්වේච්ඡා මරණය මාස 20කින් අභියෝගාත්මක එකක් විය. නමුත් ඉන් අනතුරුව මෙම නීතිමය සටන බාර්සිලෝනා අධිකරණය, කැටලෝනියා මහාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සහ අවසානයේ යුරෝපීය මානව හිමිකම් අධිකරණය දක්වා අධිකරණ මට්ටම් පහක් ඔස්සේ ඇදී ගියේය.

“ඔහු පියෙකු බවත්, තම දියණියක අහිමි කර ගැනීමට ඔහු අකමැති බවත් මට තේරෙනවා,” යැයි කැස්ටිලෝ ඇගේ සම්මුඛ සාකච්ඡාවේදී මෙනෙහි කළාය. නමුත් ඇය සහ පියා අතර සමීප සබඳතාවක් නොතිබූ බැවින් ඇය මේ පිළිබඳව ව්‍යාකූලත්වයට පත්ව සිටින බවද පැවසුවාය.

තම ජීවිතය අවසන් කර ගැනීමේ අයිතිය වෙනුවෙන් සිය පියා සමඟද දීර්ඝ නීතිමය සටනක නිරත වූ ස්පාඤ්ඤ ජාතික තරුණිය නොයෙලියා කැස්ටිලෝ ඊයේ ස්වේච්ඡා මරණය මගින් වැළඳ ගත්තාය.

ඇය බොහෝ විට ආදරය විශ්වාස කරන්නට ඇත.

නොයෙලියාගේ නික්මයාම හුදු පෞද්ගලික තීරණයක් ඉක්මවා ගිය, අශිෂ්ට සමාජයක ශිෂ්ට මරණයක සෙවනැලි පිළිබඳ කෙරෙන බරපතල ප්‍රශ්න කිරීමකි.ඇය බොහෝ විට ආදරය විශ්වාස කරන්නට ඇත. ඇය බොහෝ විට ආදරය, ආදරයේ සාරයන් පිළිබඳව සහ මනුෂ්‍යත්වය කෙරෙහි දැඩිව විශ්වාස කරන්නට ඇත. එහෙත් ඒ විශ්වාසයම අවසානයේ ඇයව සදාකාලික නින්දක් කරා කැඳවාගෙන යන මාවත බවට පත්වීම පිරිමි සමාජක් තුළ ස්ත්‍රිය යනු හුදු පරිභෝජනය කර පසෙක දැමිය හැකි අජීවී වස්තුවක් ලෙස සලකන තාක්, මෙවැනි විනාශයන් සිදු වීම සාමාන්‍ය වේ. එසේම මේ යුගය යනු මෙවැනි සිදු වීම පිළිබඳව විකල්ප සිතීමක සහ සහකම්පනයේ sensor ගිය යුගයකි. තමන් මුහුණ දුන් බිහිසුණු අපයෝජනයෙන් පසු, ජීවත් වීමට වඩා ස්වේච්ඡා මරණය තුළ නිදහස සෙවීමට ඇයට සිදු වීම මගින් විද්‍යමාන වන්නේ අප ජීවත් වන ලෝකයේ ඇති ශිෂ්ටසම්පන්න බවේ බිඳවැටීමයි. ඇයගේ මෙම ‘ගෞරවාන්විත සමුගැනීම’, වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වූ සහ ස්ත්‍රීත්වයට නිසි ගෞරවය ලබා නොදෙන සමාජයක හෘද සාක්ෂියට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයක් බඳුය.

(විදෙස් මාධ්‍ය ඇසුරින්)

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading