ඇත්ත! රංග යක්ෂයාය..! ඩීල් එකකට යක්ෂයාව කැදෙව්වේ කපිලමය!

කපිල චන්ද්‍රසේන රංගව ජනතාව ඉදිරියේ වීරයෙක් කරන පිටපතක් ලීවේ ඇයි?

ඔහු හෙළි කළේ රංග එකම එක දෙබසකින් රාජපක්ෂලා ගැන ඇත්ත වමාරන තැනට රංග තමාව පත් කළ හැටිද?

තරිදු උඩුවරගෙදර

කපිල චන්ද්‍රසේන මාර්තු 19 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතාට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමේ රංග දිසානායක මහතා ගැන කියන්නේ ඇත්ත බව විශ්වාස කරන්නට මම ආසා කරමි. දැඩි සේ ආසා කරමි. ඒ කතාවේ වචනයක් පාසා හිතේ මවාගෙන මම විදිමි. කවදාහරි මේ රංග දිසානායක ගැන චිත්‍රපටියක් කරන්නට සිතමි.

කපිල චන්ද්‍රසේන මට ලියා දී ඇත්තේ ඒ චිත්‍රපටියේ ආරම්භක දර්ශනයයි.

දැන් බයියන් විශ්වාස කරන්නේ කපිල චන්ද්‍රසේනවය. මේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ගුවන් සමාගම වෙනුවෙන් ඩොලර් මිලියන දෙකක අල්ලස් ගනිමින් මහා පරිමාණ වංචාවක් කර සාක්ෂි සහිතව අතටම අසු වූ කපිල චන්ද්‍රසේනය. අප විශ්වාස කරන්නේ ඒ කපිල චන්ද්‍රෙස්න කියන කතාවය. මාත් මේ කතාව දෙස බලන්නේ ඔහුගේ කෝණයෙනි.

නිකමට කල්පනා කරන්න. කපිල චන්ද්‍රසේන කියන ආකාරයට ඔහු ප්‍රකාශය සටහන් කරමින් සිටින අතරතුර ඔහුව කැදවා ඇත. ඔහුව කැදවා ඇත්තේ බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලයේදී ඔප්පු වූ අපරාධයක් ගැන විමසන්නටය. එයාබස් සමාගමේ නියෝජිතයන් 2025 අවුරුද්දේ ලංකාවට ඇවිත්, සිදු වූ බවට සහතික දෙමින් ශ්‍රී ලංකාවේ රජයට තොරතුරු ලබා දී ඇති සිදුවීමක් ගැන විමසන්නටය. සිදුව ඇත්තේ කුමක්ද? කපිල චන්ද්‍රසේනගේ බිරිද ප්‍රියංකා නියෝමාලි විජේනායක නමින් තැනූ බෘනායි රාජ්‍යයේ බිස් සොලියුෂන්ස් නම් ව්‍යාජ සමාගමකට අයත් සිංගප්පූරුවේ ගිණුම් දෙකකට ආ ඩොලර් මිලියන දෙකකි. ඒ මුදලින් කොටසක් කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකුවේ ගිණුමකට ලැබී ඇත. ඊට අමතරව හොංකොංවල සහ ශ්‍රී ලංකාවේ ගිණුම්වලට ඒ මුදල් ගොස් ඇත. මේ කරුණු මාර්තු 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් වෙද්දී ඒ බොරු කියා කටේ කෙළ බිදක් හෙළන්නට කපිල චන්ද්‍රසේනගේ නීතිඥයන්ට නොහැකි විය. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, බ්‍රිතාන්‍ය සහ බෘනායි රාජ්‍යවලිනුත් සහයෝගය  ලබාගනිමින් සාක්ෂි ඉදිරිපත් කළ, මේ ගනුදෙනු සිදුවී ඇතැයි සියලු සහතික ලැබී තිබියදී මෙය බොරුවක් බව කියන්නේ කෙලෙසද?

එයාබස් සමාගමේ මව් සමාගම වන European Aeronautic Defence and Space Company NV  විසින් ප්‍රියංකා නියෝමාලිගේ ගිණුමට ඩොලර් මිලියන දෙකක් එව්වේ ඇගෙන් උපදේශන ලබාගත්තායැයි කියමිනි. එහෙත් ඇයගේ සමාගම කිසිම ආකාරයකින් උපදේශන දීමේ හැකියාවක්වත් දැනුමක්වත් තිබුණු අයෙකු නොවේ. ඇයට දුන්නේ අල්ලසක් බව එයාබස් සමාගම බ්‍රිතාන්‍ය අධිකරණය ඉදිරියේ පිළිගෙන යුරෝබිලියනයක වන්දියකුත් ගෙවා ඇත. ඉතින්, පහත කතාව ඉදිරිපත් කරනවා විනා නීතිඥයන් වෙන මොනවා කියන්නද?

ඒත් කමක් නැත! මේ කතාව කීම ගැන ස්තූතිවන්ත විය යුතුය.

චන්ද්‍රසේන මෙසේ කියයි.

‘විමර්ශන අංශය පිහිටා තිබු එම ගොඩනැගිල්ලේ 3 වන මහලෙන් පිටතට රැගෙන ගොස් විදුලි සෝපානයෙන් මා එම ගොඩනැගිල්ලේ 1 වන මහලට රැගෙන ගිය බවත්, මා සමඟ නිලධාරින් දෙදෙනෙකු ගිය බවත්, ඒ යන අතරතුර විදුලි සෝපානය තුළදී මා සමග ගිය එක් නිළධාරියෙක් “ඔය බයිලා කියලා හරියන්නෙ නැහැ. අපිට ඕන දේ කියන්න, ගැත්නම් ඇරෙස්ට් කරන්න වෙනවා යනුවෙන් ප්‍රකාශ කළ බවත්, එවිට මා සිද්ධ වුන දේ තමයි මම කියන්නේ. මම බයිලා කියන්නේ නැහැ” ලෙස ඔහුට ප්‍රකාශ කළ බවයි.‘

මෙය චිත්‍රපටියක පළමු දර්ශනයට ඉතා විශිෂ්ඨ වනු ඇත. අතටම හසු වූ වංචාකාරයෙකු ප්‍රකාශය ලියන අතරතුර යම් කෙනෙකු මුණගැසෙන්නට රැගෙන යයි. ඇත්තටම මේ කතාවට පසුබිම් කතාවකුත් තිබෙන බව කිව යුතුය. ඔය ප්‍රකාශය ලියන අස්සේ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නගේ කනිෂ්ඨ නීතිඥයෙකු වන උදාර මුහන්දිරම්ගේ සිට ඇත්තේ වෙනම මෙහෙයුමකය. මිනිහා අදාල විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. අබේසිංහට ඩිල් කතා කරන්නට ගොස්ය.

ඇත්තටම මේ චිත්‍රපටියේ අදාල නීතිඥවරයාගේ චරිතය කරන්නට සුදුසු හාස්‍ය නළුවෙකි. මෙවැනි පිටපතක හාස්‍ය නළුවෙකුත් සිටීම අපූරුය.

මේ ගැන උසාවියට කරුණු ඉදිරිපත් වූයේ මෙසේය.

” ස්වාමීනි… මෙම ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා කැඳවූ අවස්ථාවේදී මොහු සැකකරුවකු වශයෙන් නම් කර තිබුණේ නෑ. පසුව මේ ප්‍රකාශ සටහන් කර ගත්තේ සැකකරුගේ නීතිඥවරයා වන නීතිඥ උදාර මුහන්දිරම් මහතාගේ පෙනෙන මානයක සිටයි. එක්තරා අවස්ථාවක නීතිඥවරයා විමර්ශන භාරව කටයුතු කළ විමර්ශන නිලධාරී ගාමිණි අබේසිංහ මහතාගෙන් ඉල්ලීමක් කලා. ඒ තමා මේ සිද්ධිය ගැන දන්න සියල්ල ප්‍රකාශ කිරීමට සූදානම් මේ පුද්ගලයාව සාක්ෂිකරුවෙකු ලෙස නම් කරලා සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට නොගන්නවා නම් කියලා. ඊට අදාළව දිවුරුම් ප්‍රකාශයක් සකස් කර තිබෙන බවත් එහි පිටපතක් තමන්ගේ ජංගම දුරකථනයේ තිබෙන බවත් නීතිඥවරයා ප්‍රකාශ කර තිබෙනවා. පසුව නීතිඥවරයා එම දිවුරුම් ප්‍රකාශයේ අත්සන් නොකළ පිටපත වට්ස් ඇප් මාර්ගයෙන් විමර්ශන නිලධාරියාගේ ජංගම දුරකථනයට යවා තිබෙනවා. එදින දහවල් 12.43 ට තමයි එය වට්ස්ඇප් මාර්ගයෙන් යවා තිබෙන්නේ.”

මේ කියන වට්ස්ඇප් පණිවිඩයේ ස්ක්‍රීන්ෂොට් එකද අධිකරණයට සාක්ෂ්‍ය වශයෙන් ඉදිරිපත් කරන ලදී.

whatsapp මාර්ගයෙන් එවූ එම ලේඛනයේ අවසන් ඡේදයේ “ශමින්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකර ජයරත්න යන අය සහ තවත් අය” යනුවෙන් සඳහන් කර තිබෙන බව පෙන්වා දුන් අල්ලස් කොමිසමේ නිලධාරියා එහි සඳහන් තවත් අය කවුද? කියා ප්‍රකාශ කිරීමට සූදානම් බව සැකකරු විසින් ප්‍රකාශ කර තිබෙන බවත් පැවසීය.

ඔය තියෙන්නේ කපිල චන්ද්‍රසේනට වැරදුණු තැනය.

පසුව මෙම කරුණු සහකාර අධ්‍යක්ෂ සුමේන්ද්‍ර වෙත දැනුම් දුන් අතර විමර්ශන නිලධාරී අබේසිංහ සැකකරු සමඟ සුමේන්ද්‍ර මහතාගේ කාර්යාලයට ගිය බවත් අධිකරණය වෙත අල්ලස් කොමිසම කියා තිබුණි. අදාල සිදුවිම් පෙළ ගැන සුමේන්ද්‍ර මහතාත් මහේස්ත්‍රාත්වරයා වෙත දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එය මාධ්‍යවලට ලීක් කරන්නට හැකියාවක් අල්ලස් කොමිසමට නැත.

දැන් නැවත අපේ මේ නාටකීය දර්ශන පෙළේ ප්‍රධාන පාත්‍රයා දෙස හැරෙමු. ඊළගට කියන කොටස අපගේ මේ චිත්‍රපටියේ වීරයා එන්ටර් වෙන දර්ශනයයි. මෙය හිතේ සිනමාත්මකව මවාගන්න. කපිල තෙමේ සිය දිවුරුමේ මෙසේ කියයි.

‘මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් පසු මා එම ගොඩනැගිල්ලේ 1 වන මහලේ පිහිටි හිස් කාමරයක් තුළට රැගෙන ගොස් මා හට වාසි වීමට සැලැස්වු ‍බවත්, කාමරයට ඇතුලුවන අවස්ථාවේදී තවත් නිලධාරියෙකු එකී කාමරයේ දොර අසල සිටි බවත්, මා සමග ගිය නිලධාරීන් දෙදෙනාද මා වාඩිකර එම කාමරයෙන් පිටත දොර ළඟ රැඳී සිටි බවත්, ඉන් ස්වල්ප වේලාවකට පසු සුදු අත් දිග ෂරට් එකක්. කළු කලිසමක් සහ කළු ටයි පටියක් පැළැඳ සිටි අල්ලස් හා දූෂණ විමරශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රංග දිසානායක මහතා මා සිටි කාමරයට පැමිණි බවත්, එවිට මා සිට ගත් බවත්. ඔහු කාමරයට පැමිණෙන විටම මාගෙන් මාව දන්නවා නේද’ කියා ඇසූ බවත්, මම එවිට “ඔව් සර යනුවෙන් පැවසූ බවත්, ඔහු මා අසල වූ පුටුවේ වාඩිවී මා හට වාඩි වන ලෙස දැවූ බවයි.‘

රංග දිසානායක කතා කරනවා දැක ඇති අය ඔහුගේ පෞරුෂය දන්නවා විය යුතුය. රංගගේ චරිතය දිනෙක රගපාන වීරයා කවුරුන් වුණත් ඒ පෞරුෂය ඇතිව මේ දෙබස කිව යුතුමය. වසර හයකට පසු රංග නම් වූ යක්ෂයා තමා ඉදිරිපිට සිටිනවායැයි කපිල චන්ද්‍රසේනට දැනෙන්නට ඇත. රංගව දුටුපසු ඔහු වෙව්ලා යන්නට ඇත. ඔහු මෙසේ විස්තර කරයි.

‘මා ප්‍රකාශ කර සිටින්නේ මෙම නඩුවේ සිද්ධිමය කරුණු සම්බන්ධයෙන්ම අපරාධ පරීක්ෂ දෙපාරතමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු B 14363/19 අංක දරණ නඩුවේ සැකකරුවෙකු වූ මා හට ඇප ප්‍රධානය කිරීමේ නියෝගය කරන ලද්දේ චරිතමාන අධ්‍යක්ෂක ජනරාල්වරයා වන රංග දිසානායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරනු ලබන අවදියේදී බවත්, ඒ අනුව මම ඔහුව දන්නා බවත්. ඔහු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් වූ පසු රූප වාහිහියෙන්ද මා ඔහුව දැක ඇති බවයි.‘

ටීවී එකෙන් රංගව දකිද්දී තමන්ට බඩු බනිස් බව කපිල චන්ද්‍රසේනට හිතුණා විය හැක. රාජපක්ෂලා ආණ්ඩුව කළ සමයේදී බ්‍රිතාන්‍ය අධිකරණයක මේ එයාබස් ගනුදෙනුව ඔප්පු වුණත් ටික දිනක් අත්අඩංගුවට ගෙන කරුණු ඉදිරිපත් කිරීම හැර විමර්ශකයන් කිසිවක් නොකළ බව කපිල දනී. රංග ඉදිරියේ ඒ සෙල්ලම් හමාර බවත් කපිල දනී.

‘මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් අනතුරුව එකී රංග දිසානායක මහතා තරර්ජනාත්මක ස්වරයෙන් මා අමතා ” මේ ඔයාගෙ අන්තිම චාන්ස් එක, මීට සති දෙක තුනකට කලින් මේ වගේම කෙනෙක් ආවා, තමුනුත් දන්නව ඇතිනෙ කවුද කියල. දන්නේ නැත්නම් මම කියන්නම්, ඒ කෙහෙළියග නඩුවේ කෙනෙක්. මිහිහට මම වාන්ස් දෙකක් දුන්නා, ගත්තෙ නෑ, මිනිහට ඉන්ඩයිට්මට් දෙන දවසට කලින් මිනිහා එල්ලිලා මැරුණා, තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා, මහ එකාගෙ නමයි. පොඩ් එකාගෙ නමයි කියනවා, අනික තමුන්ගේ වයිෆ් ගැන” යනුවෙන් පැවසූ බවත්, එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත්, එවට ඔහු ඇයි තේරුනේ නැද්ද, මහින්දයි, නාමලුයි ගැන කියනවා. මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරලම දාන්න. ඒක මං කරනවා. මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දා ගන්න තැනට මම වැඩ කරනවා” යනුවෙන් තරජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි.‘

මේ අකුරක් නෑර විශ්වාස කිරීමට මම නම් සූදානම්ය. මගේ චිත්‍රපටිය වෙනුවෙන් කපිල ලියා දී ඇති මේ දර්ශන පෙළට අනුව රංග කීවේ කපිලව මරනවා කියා නොවේ. කෙහෙළියගේ සිදුවීමේ ජීවිතය නැති කරගත් සාක්ෂිකරු විමර්ශයකයන්ට වරින් වර විවිධ ප්‍රකාශ දී තිබේ. අන්තිමේ ඔහුට එරෙහි කරුණු හෙලි වෙද්දී ඔහු මැරුණා හෝ මැරුවා විය යුතුය.

මතක තබාගන්න! මේ තර්ජනය සම්පූර්ණයෙන් අසත්‍ය බව අල්ලස් කොමිසම පවසයි. මෙය ලියූ පිටපතක් බව පවසයි. ඒත් කමක් නැත. මම මේ පිටපත රසවිදිමි. මන්ද යත්, රංග සීයට සීයක් පිරිසිදු වීරයෙකු ලෙස දකින්නට මට ඕනෑ නැත. රංග යක්ෂයෙක් ලෙස දකින්නට කපිල වැනි අතටම හසු වූ හොරෙකු ලෑස්ති නම් එවැනි අයට රංග යක්ෂයා සේ පෙනෙනවාට මා නම් කැමතිය.

කපිල මෙසේ කියයි.

‘මා ප්‍රකාශ කර සිටින්නේ ඉන්පසු මා සමග පැමිණි නිලධාරීන් දෙදෙනා නැවතත් මා 3 වන මහලට රැගෙන යන අතරතුර ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් මාගේ නීතිඥවරයාගෙන් උපදෙස් ලබා ගැනිමට අවශ්‍ය බව එම නිලධාරීන්ට දැනුම් දුන් විට “ඔයා ප්‍රකාශෙ දෙන ගමන්නේ තාම ඉන්නේ, ඒ හින්දා ඉවර වෙනකන් නීතිඥ මහත්තයා හම්බවෙන්න දෙන්න බැහැ” යනුවෙන් පැවසු බවයි.

මා ප්‍රකාශ කර සිටින්නේ ඉහත තර්ජනය කිරීම හේතුවෙන්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් රූපවාහිනියේ සිදු කරන ලද කතා ඇසීමෙන් ඔහු හරිදේ කරන කෙනෙකු යැයි මාගේ සිතේ ඇදී තිබු ප්‍රතිරූපය නැති වී ගිය බවත්, අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සිදු කරන ලද බලපෑම සහ තර්ජනය හේතුවෙන් මා බයට සහ තැති ගැන්මට ලක් වු බවත්, මා හටද මාගේ ජීවිතය එපා කරවා මා හටද එල්ලී මිය යාමට තරම් මාගේ සිතට දරාගත නොහැකි පීඩනයක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් වරයා විසින් එල්ල කරනු ඇති බවට වු බය නිසා මාගෙන් ප්‍රකාශය ලබා ගත් නිලධාරියාට අවශ්‍ය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේද, මාගේ බරිදගේද නම් ඇතුලුව එම ප්‍රකාශය ලබා දුන් බවයි.

මා ප්‍රකාශ කර සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ පාරර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම් සහ ඔවුන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී යම් බලපෑමක් සිදු කළ බව හෝ යම් අයුතු දායකත්වයක් දැක්වු බව හෝ යම් මුදලක් ලබා ගත් බව සහ මාගේ බිරිඳගේ දායකත්වයක් තිබු බවට මාගේ ප්‍රකාශයේ කුමන හෝ ස්ථානයක අඩංගු වේ නම්, එම කරුණු මා ස්වේච්ජාවෙන් සිදු කරන ලද්දක් නොව. එම කරුණු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ බිය ගැන්වීම සහ තර්ජනය කිරීම මත ඇති වූ මරණ බය ප්‍රයෝජනයට ගගිමන් මාගේ ප්‍රකාශය ලබා ගන්නා ලද නිලධාරියා විසින් ලබා ගන්නා ලද කරුණු වන බවයි.‘

නිකමට සිතන්න! කපිලගේ කතාව අනුව රංග කර ඇත්තේ කපිල ඉදිරිපිට පෙනී සිටීම සහ එකම එක දෙබසක් ඩිලිවර් කිරීම පමණි. එතැනින් පසු මහින්දලාගේ, නාමල්ගේ සහ බිරිදගේ නම් කියන්නට තරම් කපිල බිය වී තිබේ. කපිලට රංග යක්ෂයාය.

ඔව්! රංග යක්ෂයාය. රංග වීරයෙකු නොවේ. සුමට කෙනෙකු නොවේ. ඉතා බිහිසුණු කෙනෙකි. යක්ෂයෙකි. කපිල චන්ද්‍රෙස්න වැනි හොරුන්ට ඔහු යක්ෂයෙකි. ඔහු බිය විය යුතුය. බිය වී හොරකම්වලට සම්බන්ධ සියලුදෙනාගේ නම් ගම් ඒ බියෙන්ම හෙළි කළ යුතුය.

මතක තබාගන්න. රංග දිසානායක ගැන ප්‍රකට කතාවක් ඇත. ඔය අල්ලස් කොමිසමට ඉස්සර ප්‍රභූන්ව කැදවද්දී ඒ ප්‍රභූන් බලගතු නීතිඥයන්ව අල්ලනවාලු. ඒ නීතිඥයන් සිය සේවාදායකයන් කැටුව මුලින්ම ඇවිත් අධ්‍යක්ෂ ජෙනරාල්ව මුණගැසුණාලු. ඔහුගේ කාර්යාලයට ගොස් තේ එකක් බී සුහද සාමිචියක නිරත වූ පසුවලු, ප්‍රකාශය ලියන්නට විමර්ශන නිලධාරියා ළගට යන්නේ. ඉතින් විමර්ශන නිලධාරීන්, එලෙස පැමිණෙන සේවාදායකයන්ට බිය වෙනවාලු.

එහෙත් රංග දිසානායක පත් වූ පසු එලෙස ප්‍රකාශ දෙන්නට පෙර ඩීජීව සොයා ආ අයට හමුවෙන්න දුන්නේ නැහැලු. ‘ප්‍රකාශය දී යන්න, මාව හමුවෙන්න ගේන්න එපා‘ කියා කීවාලු. මේ ගැන ඇතැම් ජ්‍යෙස්ඨ නීතිඥවරුන් මැසිවිලි නැගුවාලු.

එහෙව් පසුබිමක- නම්ගම් සියල්ල හෙළිකරමින් දිවුරුම් පෙත්සමක් දෙන බවත්, එසේ කළොත් තමන්ගේ සේවාදායකයාව සැකකරුවෙක් නොකරන ලෙසත් කපිලගේ නීතිඥ උදාර මුහන්දිරම් කී මොහොතේ  ඔවුන් ඕඅයිසී අබේසිංහට දී ඇත්තේ ඒ නිළදාරියාට තීන්දුවක් ගත නොහැකි ඩීල් එකකි. පනත අනුව තීන්දුව ගැනීමට බලය ඇත්තේ රංග දිසානායකයට. ඉතින්! උදාර මුහන්දිරම්ගේ නීතිඥයා කතා කළේ deal with the devil හෙවත් යක්ෂයා සමග ගනුදෙනුවකි.

මේ දර්ශනයේ හාස්‍යමය චරිතය වන නීතිඥ හාදයා මරු හාදයෙකි. මිනිහා වැඩේ කතා කොට කෑම කන්න ගොස්ය.

ඒ මොහොතේ රංග දිසානායක නම් යක්ෂයා කපිල චන්ද්‍රෙස්න හමුවට ඇවිත්ය. ඒ සල්ෆර් ගද කපිලට දැනී ඇත. බියටම තමන් දැන සිටි සියල්ල කියැවී ඇත. දැන් ඒ වචන ආපසු හරවන්නට බැරි වී ඇත. කපිල! ඔබ යක්ෂයා සමග ගනුදෙනු කළ පසු රාජපක්ෂ දෙවිවයන්ගෙන් ඔබට සමාවක් නොලැබෙනු ඇත. ඔබ බියවී ඇත්තේ එයටය. දැන් හරිගස්වාගන්න හදන්නේ එයය.

ඇත්තය! හොරුන්ගේ කෝණයෙන් රංග යක්ෂයාය. රංග වීරයෙකු නොවේ. ප්‍රතිවීරයෙකි. ඔහු කපිලට කීවායැයි කියන්නේ ඔහු අධිකරණ සේවයෙන් අල්ලස් කොමිසමට ආවේ සුද්ද කරලාම යන්නට බවය.

ජනතාව එය සමරනු ඇත. ජනතාව පතන්නේ රංග යක්ෂයා වනු දැකීමටය.

එහෙත් මතක තබාගන්න. මාර්තු 12 වැනිදා අල්ලස් කොමිසමට ගිය වෙලේ යක්ෂයාව ඩීල් එකකට කැදෙව්වේ කපිලමය.

Author

1 Comment

  • ලංකාවට එන IMF දුත කන්ඩායම, ලංකාවේ ඩොලර් වලින් කාල බිල සැප අරන්, ලංකාවේ සියලු සම්පත් විකුනන්න කියලා, අපේ හුන්ඩුවෝ එහෙයි ස්වාමිනි කියලා, උන් ට ඔලුවේ *න්න දෙනවා. තු නොදකින්.ඇයි haniffa ධම්මික පෙරේරා වැනි ව්‍යාපාර ජාවැරම්කරුවන් ට, රටින් පිට හංගපු ඩොල්ලර් පාවිච්චි කරලා, තෙල් ආනයනය කරන්න දෙන්නේ? ඔවුන්ට කියන්න ඒ සල්ලි වහාම ලංකාවට ගේන්න නැත්නම් හිරේ දානවා කියලා.ජාවාරම් එපා ඇයි රුසියාවෙන් goverment to government තෙල් gas ගේන්න බැරි? ඇයි ලංකාවේ රුපියල් හෝ රූබල් වලින් ගෙවන්න බැරි?kumara Jayakody, KT Udayanga Hemapala, Mayura Neththikumara, Rajakaruna මොවුන් සියලු දෙනා හිරේ සිටිය යුතුයි.ඇයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි ලංකාවේ සල්ලි වලින් සවර්ධනය කරන්න බැරි? ඇයි ඒවා විකුණුවේ?මේ වෘත්තීය සමිති කාරයෝ අමු හොරු, මුන් රාජ්‍ය ව්‍යවසාය කඩා වැට්ටුව. මුන් ඉල්ලා අස් විය යුතුයි.ජාතික බෞතික සැලැස්ම ගැසට් එක අහෝසි කරන්න. ජාතික බෞතික සැලසුම් දෙපාර්තමේන්තුව වහන්න. විදෙස් යුද කදවුරු ඇමෙරිකාව ඉරානේ ඊශ්‍රේල් නිසා විනාශ වෙන හැටි පේනවනේ, අපේ රටේ මේවා දැම්මොත් අපි ඉතුරු වෙයි ද AKD හුන්ඩුවා සහෝදරයා, කරුණාකර තමන් අත්සන් කල ගිවිසුම්, කුණු බක්කියට දමන්න. මිනිස්සු මේවා ක්‍රියාත්මක කරන්න දෙන්නේ නෑ. IMF එකෙන් ගැලවෙන්න.2/3පාර්ලිමේන්තු බලය හොද දේකට පාවිච්චි කරන්න.AKD සහෝදරයා තමුන්ගෙන් ඉන්දියාව අමරිකා හා ඔවුන්ගේ ගොට්ටෝ,චිනේ වැඩ අරන් ඉවර නිසා, තමුන් ව ඕනෑම වෙලාවක ජංගි අරගලයක් තුලින් ඉවත් කර රනිල් ගේන්න බැරි නෑ. ඒ නිසා කරුණාකර රට වෙනුවෙන් මේවයින් ඉවත් වෙන්න.

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading