ලෝකයේ විවිධ රවෙල් වලට යම් යම් ආකාරයෙන් ඉහළ බදු පැනවීම් සිදුකරත්දී ඇමරිකාව ශ්‍රී ලංකාවට යම් විශේෂත්වක් කරමින් පෙර පනවා තිබූ බදු අඩු කිරීමට කටයුතු කිරීම අගය කරන බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා හමුවේ පැවසූහ.
ඉදිරියේදීත් ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට බදු සහන ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද උන්වහන්සේ කීහ.
මල්වතු මහනාමියන් මේ බව පැවසුවේ නව ඇමරිකානු තානාපති එරික් මේයර් (Eric Meyer) මහතා ඊයේ ( 23) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.
නව තානාපතිවරයා පිළිගනිමින් ධම්මපදය ඉංග්‍රීසි ග්‍රන්ථයක් ඒ මහතාට ලබාදුන් මල්වතු මහනාහිමියෝ ජීවිතය සාර්ථකව ගොඩ නගා ගැනීමට අවශ්‍යය බුදුන් වහන්සේ දේශනා කළ කරුණු රැසක් ග්‍රන්ථයේ අඩංගු යැයි පැවසූහ.
අනතුරුව තානාපතිවරයා අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දුටුවේය.
ඇමරිකාව හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් තිස්සේ මනා සම්බන්ධතාවක් පැවැති බවත් නව තානාපතිවරයා යටතේ එය තවත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහනාමියෝ ප්‍රකාශ කළහ.
මෙයර වසර 25 කට පෙර සංචාරකයෙකු ලෙස ලංකාවට පැමිණි අවස්ථාවේ මහනුවර දැක බලා ගැනීමටද ආ බවත් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පවත්නා සම්බන්ධතාව තවත් ශක්තිමත් කිරීමට තමන් කටයුතු කරන බවත් එරික් මේයර් මහතා කීය.
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට විශාල බලපෑමක් සිදුවූ බවත් එම අවස්ථාවේදී ඇමරිකාව ලබාදිය හැකි උපරිම සහය ශ්‍රී ලංකාවට ලබාදුන් බවත් තානාපතිවරයා පැවසුවේය.
මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරක්ඛිත නාහිමියන්ද සහභාගි විය.
ශ්‍රී දළදා මාලිගාවට පසුගියදා ගිය ඇමරිකානු තානාපතිවරයා දළදා සමිඳුන් උදෙසා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ සුහඳ පිළිසඳරකද යෙදුනේය.
