JVP එක GMOA එක මෙල්ල කළේ කොහොමද ?

වෛද්‍ය විග්නේෂ් ආර්. විසිනි

දශක ගණනාවක් තිස්සේ ලංකාවේ බලවත්ම වෘත්තීය සමිතිය (Trade Union) ලෙස සැලකුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) යි. ඔවුන් තමන්ගේ සාමාජිකයන්ගේ වරප්‍රසාද වෙනුවෙන් සටනකට අවතීර්ණ වූ ඕනෑම අවස්ථාවක ජයග්‍රහණය ස්ථිර විය. කුමන දේශපාලන පක්ෂයක් බලයේ සිටියත් GMOA එක ගැන දෙපාරක් සිතුවේ, ඔවුන්ගේ ක්‍රියාමාර්ග නිසා රටේ සෞඛ්‍ය පද්ධතිය එක රැයකින් අඩපණ කළ හැකි බව රජයන් දැන සිටි බැවිනි.

අනෙක් අතට, ජනතා විමුක්ති පෙරමුණ (JVP) දීර්ඝ කාලයක සිට රටේ සෑම විරෝධතාවයකටම පාහේ පිටුපසින් සිටින “නිහඬ සහකරු” විය. වැටුප් ප්‍රශ්න, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධතා හෝ හමුදා විශ්වවිද්‍යාලවලට එරෙහි සටන් වේවා, JVP එක සැමවිටම එම අරගලවලට සහාය දුන්නේය. එහිදී ඉල්ලීම්වල සාධාරණත්වයට වඩා ඔවුන්ගේ දේශපාලන අරමුණ වූයේ රාජ්‍යය අස්ථාවර කරමින් පීඩනයක් එල්ල කිරීමයි.

කෙසේ වෙතත්, GMOA හි පරිහානිය ආරම්භ වූයේ JVP එක නිසා නොවේ. එය ආරම්භ වූයේ එම සංගමයේම ඇතැම් නායකයන් තමන්ගේ දේශපාලන අභිලාෂයන් (Political ambitions) වෙනුවෙන් සංගමයේ බලය පාවිච්චි කිරීමට පටන් ගත් විටය.

මීට හොඳම උදාහරණය වන්නේ හිටපු GMOA සභාපති අනුරුද්ධ පාදෙනිය මහතායි. ඔහු ප්‍රසිද්ධියේම රාජපක්ෂ පවුලට සහ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂට හිතවාදීව කටයුතු කළේය. දෛවෝපගත ලෙස, 2022 වසරේ ඇති වූ “අරගලය” හෙවත් දැවැන්ත ජනතා නැගිටීම හමුවේ ගෝඨාභය රාජපක්ෂට ධුරය අතහැර යාමට සිදු විය.

බොහෝ ශ්‍රී ලාංකිකයන්ට “අරගලය” යනු දේශපාලනික පිබිදීමකි. සාමකාමී මහජන ප්‍රතිරෝධයක ඇති ශක්තිය ලාංකිකයන්ට වැටහුණේ එවිටය. මහත්මා ගාන්ධිගේ “ලුණු සත්‍යග්‍රහයෙන්” පසු, සාමකාමී විරෝධය යනු සමාජ වෙනසක් සඳහා ඇති ප්‍රබලම මෙවලමක් බව ලෝකයම පිළිගත්තේය. අරගලය මගින් ලංකාවට මතක් කර දුන්නේද එම මූලධර්මයයි.

ඊට වෙනස්ව, GMOA එක සිය ප්‍රධාන ආයුධය ලෙස තෝරාගෙන තිබුණේ “වැඩවර්ජන” (Strikes) පමණි. ඇතැම් ක්ෂේත්‍රවලට වැඩවර්ජන ගැලපුනත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී එහි ඇති සදාචාරාත්මක ගැටලුව (Ethical dilemma) බරපතළය. වෛද්‍යවරු වැඩ වර්ජනය කරන විට, එහි වින්දිතයන් වන්නේ එම අරගලයට කිසිසේත්ම සම්බන්ධ නැති අහිංසක රෝගීන්ය.

මෙය මට මතක් කර දෙන්නේ මා තරුණ වෛද්‍යවරයකු ලෙස සිටියදී මුහුණ දුන් එක්තරා ශෝකජනක සිදුවීමකි. එක් තරුණ දැරියකට ඇයගේ කුඩම්මාගෙන් නිතරම ගුටි කෑමට සිදු විය. ඒ කුඩම්මා සහ ඇගේ ස්වාමිපුරුෂයා (පියා) අතර ඇතිවන ආරවුල් නිසාය. දරුවා කිසිදු වරදක් කර නොතිබුණත්, ඇය තවත් කෙනෙකුගේ කේන්තිය පිට කරන වින්දිතයා බවට පත් විය. වර්ජන නිසා සෞඛ්‍ය සේවා නතර වූ විට, අහිංසක රෝගියා පත්වන්නේද අර දරුවාගේ තත්ත්වයටමය.

අද වන විට GMOA එක සිය විශ්වසනීයත්වය (Credibility) පිළිබඳ දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. ඔවුන්ගේ මෑතකාලීන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග බලාපොරොත්තු වූ බලපෑම ඇති කිරීමට අපොහොසත් විය. නායකත්වය විසින් සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ වැනි දේශපාලනිකව දුර්වල වූවන්ගේ සහ මහානායක හිමිවරුන්ගේ සහාය පැතීමට පවා උත්සාහ කර ඇත. වරෙක රජයන් දණගැස්වූ සංගමයක් මෙලෙස කටයුතු කිරීමෙන් පෙනී යන්නේ ඔවුන් මේ වන විට කෙතරම් අසරණ (Vulnerable) වී ඇතිද යන්නයි.

වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ මහජන මතය (Public sentiment) වෙනස් වී තිබීමයි. දශක කිහිපයකට පසු පළමු වතාවට, සමාජ මාධ්‍ය ඔස්සේ වෛද්‍ය වැඩවර්ජනවලට එරෙහිව දැඩි මහජන විවේචන එල්ල වෙමින් පවතී. වර්ජන නිසා රෝගීන් පීඩාවට පත් වුවහොත් ජනතාවගෙන් එල්ල වන ප්‍රතිචාරය දරුණු විය හැකි බවට ඇතැම් සිවිල් කණ්ඩායම් අනතුරු අඟවා ඇත.

තවත් වැරදීමක් වූයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැනීමට තෝරාගත්ත “කාලය” (Timing) යි. “දිත්වා” සුළි කුණාටුවෙන් රටම පීඩා විඳිමින් සිටි මොහොතක වර්ජනයකට යාම ජනතාව සැලකුවේ ඉතා අසංවේදී, ආත්මාර්ථකාමී වැඩක් ලෙසය.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැඩි ස්ථාවරයක සිටිමින් ප්‍රකාශ කළේ රාජ්‍ය අංශයේ මීළඟ වැටුප් සංශෝධනය සිදුවන්නේ 2027 වසරේදී පමණක් බවයි. විරෝධතා දැක්වූවා කියා එම කාලසටහන වෙනස් නොවන බවට ඔහු කෙලින්ම පවසා ඇත.

දේශපාලන ඉතිහාසයේ උත්ප්‍රාසය (Irony) නම්, එදා විරෝධතා දේශපාලනයට උඩගෙඩි දුන් පක්ෂය අද බලයේ සිටිමින්, රටේ බලවත්ම වෘත්තීය සමිතියකට මුහුණ දී එය මෙල්ල කර තිබීමයි. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ බල තුලනය (Balance of power) සම්පූර්ණයෙන්ම වෙනස් වීමයි.

වරෙක අතිශය බලවත් වූ GMOA එක, අද මහජන මතය සහ දේශපාලන යථාර්ථයන් හමුවේ කොටු වී ඇත. මෙය තාවකාලික පසුබෑමක්ද නැතිනම් වෘත්තීය සමිති ඉතිහාසයේ ස්ථිර හැරවුම් ලක්ෂ්‍යයක්ද යන්න ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

නමුත් එක දෙයක් පැහැදිලිය: එක වර්ජනයකින් ආණ්ඩුවක් දණගැස්වීමට GMOA එකට තිබූ ඒ “රන් යුගය” දැන් අවසන් වෙමින් පවතී.

පරිවර්තනය – දසුන් සමීර වීරසිංහ

වෛද්‍ය විග්නේෂ් යනු කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික පවුලේ වෛද්‍යවරයෙකි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading